2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

එලොව මෙලොව දෙකම දකින ගමේ රේස් බුකී

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 515

එංගලන්තයේ අශ්වයන් ඔට්ටු ඇල්ලීම ජීවිතයේ කොටසක් කරගත්තවුන්ගේ කතාව අපූරුය. වර්තමානයේ තරමක් වියැකී ගියත් මීට දශක කිහිපයකට ඔබ්බේ නගරයේ පමණක් නොව ගම් නියම් ගම්වල පවා රේස් දමන්නෝ බහුල වූහ. රේස් බයි යාම නමින් ප්‍රකට වූ මෙම අතීත කතාවේ අක්මුල් විමසීමට අපි සැරසෙමු.

සිරිලක යමක් කමක් ඇති පවුල්වල තරුණ වැඩිහිටි බොහෝ දෙනකු කලකට ඉහතදී ඇබ්බැහි වී සිටි ප්‍රමුඛ සූදුව මෙයයි. ඒරොප්පේ තුරඟ තරගවලට ඔට්‍ටු ඇල්ලීම තමන්ට ඉහළ සමාජ තත්ත්වයක් ගෙන දෙන දෙයක් බව මෙකල බොහෝ සූදුවට හුරුවූවන්ගේ විශ්වාස විය. ඉහළ පහළ මධ්‍යම පාන්තිකයන් අතර රේස් බයි ජනප්‍රිය වූ මෙම යුගයේ රටේ තැන තැන රේස් බුකී මෙන්ම ශාඛා ඉදිවී තිබුණි. ගමේ කඩ මණ්ඩියේ අඳුරු මුල්ල කුඩාවට ඉදිවුණු බුකියේ කතා විමසා බැලිය යුත්තකි. නගරයේ ප්‍රධාන බුකීවලට වඩා මෙහි ගොඩනැගුණු සංස්කෘතිය වෙනස්ය. බුකියේ නිත්‍ය සමාජික පිරිසක් සිටියෝය. ඔවුන් ඔවුන් බොහෝ නිහඬ වියතුන් මෙන් පෙනී සිටි ගුප්ත චරිතය. තවත් පිරිසක් ගමේ චණ්ඩීන්ය. තවත් පිරිසක් ගමේ ලොකු පවුල්වල දෙවැනි පරම්පරාවේ කාබාසිනියා තුමන්ලාය.

සාමාන්‍යයෙන් ගමේ රේස් බුකියට හවස හයේ ක්ලෝසින් ටයිම් කිට්ටු වනවිට රොදබැඳීම ඔට්ටුකරුවන්ගේ සිරිතයි. රේස් කොළය සමඟ කරන විශාල අධ්‍යයනයකින් පසු ඔට්ටුකරුවෝ මෙසේ ගොඩවෙති. පැරැණි බුකිවල උදෑසනම රේස් කොළය අලවා ප්‍රදර්ශනය කිරීම සිරිතක් වී තිබේ. එසේම රේස් කොළය ගෙදර ගෙන ගොස් අධ්‍යයනය කිරීමද පැරැන්නන් අතර පැවති සිරිතකි. හරියටම ඔට්ටු දැමීමට නම් නිතර නිතර රේස් කොළේ බැලීම අනිවාර්යය. අශ්වයන් ගැන දැනුමක් ලැබෙන්නේ එවිටය. මෙම අධ්‍යයනයේ ප්‍රවීණයෝ දක්ෂ ජොකියන් ගැන මෙන්ම දිනන අශ්වයන් ගැන දනිති. රේස් බයි වල කප් ගැසූ සූදු කප්පිත්තන් අස්සයාගෙ පැටිකිරියද ජොකියොන්ගෙ පවුල්ද හොඳින් දන්නා බව ගමේ කොයි කවුරුත් අදද කියනුයේ ඒ නිසාය.

අප සමඟ කතාකළ පැරුණි ඔට්ටුකරුවන්ට රේස් කොළ බලා බෙට් දැමීමේ ප්‍රවීණතා අනුව ඔට්ටු දමන්නන් වර්ග කළ හැකිය. එදා ගමේ මෙන්ම නගරයේ ද සිටි සූදුකරුවන්ට මෙම වර්ග කිරීම අදාළ කරගත හැක. රේස් ඔට්ටුවෙන්ම දිවි ගැටගසා ගන්නා පිරිස මෙහි පළමු කාණ්ඩයයි. හිතුමතේ මුදල් වීසි නොකර ඔවුහු විසල් අධ්‍යයනයක් කොට අශ්වයෙක් තෝරගෙන ඔට්ටු අල්ලන්නෝ වෙති. දෙවැනි කාණ්ඩට අයත් වූවන් මේ ඇබ්බැහිය නිසා උමතු වූවන්ය. ඔවුනට මුදල් තමන්ගේද අනුන්ගේ ද කියා වගක් නැත. රේස් බයි රේස් යනු ඔවුන්ගේ ජීවිතයයි. රේස් බයි නිසා ඉඩකඩම් වතුපිටි පමණක් නොව බිරිඳ දරුවන් පවා අහිමි වූවන් ගැන අප අසා ඇති කතාවල සිටින්නේ මේ කාණ්ඩයට අයත් පිරිසය. අනෙක් කාණ්ඩ නම් ඉඳහිට ආසාවට ඔට්ටු දමන්නන්ය. මේ සියලුදෙනා තුළ ඇති පොදු ලක්ෂණය නම් වාසනාව ගැන ඇති දැඩි විශ්වාසයයි.

අපට හමුවූ පැරණි සූදුකරුවකුට අනුව අශ්ව රේස්වලට ඔට්ටු ඇල්ලීමට හුදු වාසනාව පමණක් මදිය. අධ්‍යයනයකින් අවබෝධ කොට ගතයුතු, උපකල්පනය කළයුතු තත්ත්වයක් මෙහි ඇත. ඔහුට අනුව ඕනෑම මෝඩයකුට ඔට්ටු දැමිය හැකිමුත් දිනීමට නොහැකිය. පරාජය කල්තියා හඳුනාගෙන ක්‍රියා කළ හැකි චක‍්‍රයක් මෙහි වෙයි. එහෙත් එයින් මිදෙන්න සූදුවට හුරු වූ පසුව බොහෝදෙනාට නොහැකි වෙයි. මෙය දවසට එක්වරක් පමණක් සිදුකරන කටයුත්තක් නිසාවෙන් රේස් බයි යාම සාධාරණීකරණය කිරීමට අදද මෙම පැරණි සූදුකරු උත්සාහ කරයි. ඔහුට අනුව ඔට්ටු දැමීමට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. එය කිසිදා ලෝකයෙන් තුරන් නොවේ.

කොච්චර වින් ගැහුවත් අතේ සතේ නොරැඳීම ගමේ සූදුකරුවන්ගේ ස්වභාවයයි. ඔට්ටුවක් වැඩ කළ විට තවත් ලොකු චිට් එකක් දැමීම මේ අයගේ සිරිත වී ඇත. කාට හරි කීයක් හරි දී ඒමේ පුරුද්ද වින් ගැසූ ඔට්ටුකරුවන් තුළ පැවත ඇත. එසේම දූ දරුවන්ට බිරිඳට හොඳට සැලකීමටද වින් ගැසූදාට රෙස් බයි යන්නන් අමතක කර නැත. හැමදාම බණින බිරිය ද එදිනට හොඳ වන බව අපට කීවේ රේස් බයි ජීවිතය කර ගත්තෙකි. රහමෙර සහ සූදුව එකට ඈඳාගෙන ජීවත් වූ චරිත එදා ගමේ ජීවත් වී තිබේ. ඔවුන් වින් ගැසූවිට වැඩිපුර සිදුකර ඇත්තේ බීපු ණය බේරීම සහ යාළු මිත්‍රාදීන්ට බොන්නට අරන් දීමයි.

ගම් මට්ටමේ තිබූ බුකියක සිදුවූ වංචාවක් ගැන අපට කීවේ පැරණි රේස් බයිකරුවෙකි. මෙකල සබ් බුකිකරුවෝ පොඩි පොඩි මුදල්වල චිට් ප්‍රධාන බුකියට නොයවා ළඟ තබාගෙන ඇත. ඒ එම චිට්වල ගාන තමන්ට ලාබ ලෙස තබා ගැනීමේ අරමුණිනි. එහෙත් වරක් එසේ රඳවාගත් ලොකු චිට් එකක් වැඩකර ඇත. එය ගමේ සිටි ගණන්කාරයකුගේය. තරමක ලොකු ත්‍යාග මුදල ගෙවීමට බුකීකරුවාට සිදුවිය. නමුත් ඔහු සතුව එවන් මුදලක් තිබී නැත. ඔට්ටු හිමියා බුකීකරුව මරණ බවට දිවුරා තිබේ. අවසානයේ බුකී කරුට මරණයෙන් ගැලවීමට ගේ දොර පවා විකිණීමට සිදුව තිබිණි. සැබෑවටම ඔට්ටු හිමියා වෙත ත්‍යාග මුදල බුකිකරැවා විසින් පසුදා ගෙවිය යුතුමය. එය මෙම සූදුවේ අන්‍යෝන්‍ය විශ්වාසයි. එම නිසා ත්‍යාග මුදල මිස තුණ්ඩුව යැව්වා ද නැද්ද යන්න සූදුකරුවාට අදාළ නොවන්නකි.

පරදින්න පරදින්න ඔට්ටු ඇල්ලීම සූදුකරුවාගේ ස්වාභාවයි. එය නොතිත් ආශාවකි. ගමේ බුකිය ගැන අප සොයා බැලූ කතාවලින්ද හෙළිවන්නේ ඒ සත්‍යයි. එහෙත් අද වනවිට තරුණ පරපුර මේ රේස් බයි සංස්කෘතියෙන් වෙන්ව සිටී. එය හොඳ ප්‍රවණතාවයකි. අද ගමේ බුකී නැත. නගරයේ විදුලි ආලෝක ධාරාවලින් ඒකාලෝක වන බුකී නම් තිබේ. පැරණි පරපුරේ ශේෂයන් තවම ඒවා තුළ දැකගත හැකිය. තාරැණ්‍යය එංගලන්තයේ රේස් නොව ක්‍රිකට් වෙනුවෙන් ඔට්ටු අල්ලනු ඔබ එහි ගියහොත් දැකගත හැකිවනු ඇත. රටේ තවත් සූදු බොහෝ නිර්මාණය වී තිබේ. ඒවායේ යටිපෙළ බොහෝවිට දැවැන්ත ව්‍යාපාරිකයන් සිටින බව රහසක් නොවේ. කෙසේ නමුත් සූදුව නම් එදත් අදත් පරිහානියේ ලක්ෂණයකි. බුදුන් දවස දාදු කෙළියේ සිට අද කැසිනෝව දක්වා සූදුවේ ආනිසංස එකමය.

► චමිඳු නිසල්
සේයාරූ I අන්තර්ජාලයෙන්