2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

දොරමඬලාව කඳුගැටය මත කෝපි බංගලාව Coffe Bungalow

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 92

වසර 159 පැරැණි කෝපි වැවිලිකරුවන්‍ට අයත් වූ කෝපි බංගලාව මහනුවර දොරමඬලාව වනයට ඔබ්බෙන් කඳුගැටයක පිහිටන්නකි. සමකාලීන යටත්විජිත තේජසින් පොහොසත් වූ කෝපි බංගලාව ඉතිහාසයට හා පරිසරයට ආදරය කරන සංචාරකයන් වශීකරවන සංචාරක ගමනාන්තයක් බවට පත්ව තිබේ. ඒ කාලයාගේ ඇවෑමෙන් සුඛෝපභෝගී සංචාරක හෝටලයක් බවට පත්වීමෙනි.

තේ වලටත් මත්තෙන් ලංකාවට පැමිණි කෝපි 1880 ගණන්වල මුල් භාගයේ පාලනය කළ නොහැකි රෝග නිසාවෙන් විනාශ වී ගියත් කෝපි බංගලාව වෙත ඇවිද යන මගෙහි අතහැර දැමූ කෝපි වතු තවමත් දක්නට හැක. බ්‍රිතාන්‍ය කෝපි වැවිලිකරුවන් 1860දී පමණ භාවිත කළ H iron කෝපි ඇඹරුම් යන්ත්‍ර 2ක් අදටත් කෝපි බංගලාවේ දක්නට හැකිය.

කෝපි බංගලාව යනු යටත්විජිත වාස්තු විද්‍යාත්මක ශෛලියෙන් නිර්මාණය වූ වටිනා ස්ථානයකි. පෞරාණිකත්වය ආරක්ෂා කරගනිමින්ම Deluxe Rooms 2ක්, Suits 3ක්, Grand Suits 2ක් ඇතුළු නවීන් පන්නයේ පහසුකම් සියල්ලෙන්ම අංග සම්පූර්ණ හෝටලයක් බවට කෝපි බංගලාව පරිවර්තනය වී තිබේ. පුස්තකාලය සහ ප්‍රධාන අවන්හල බංගලාව දෙපස පිහිටයි. බංගලාව අවටින් අතීත රජවරුන් ස්නානය කළ රාජපිහිල්ල නම් ස්ථානයද ජෛව විද්‍යාත්මක වටිනාකමකින් යුත් රක්ෂිතයක්ද පිහිටයි. කලක් ජෝර්ජ් කීට් නම් ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියාගෙ බිරිඳ වූ රූත් කීට් හටද අයත් වූ බව කියන බංගලාව 19 ශතවර්ෂයේදී සශ්‍රීක කෝපි උද්‍යානවලින් වටවී තිබෙන්නට ඇත.

දේශීය ගෘහස්ථ ආහාරවල සිට අව්‍යාජ බ්‍රිතාන්‍ය ආහාර දක්වා මෙන්ම Western, Eastern, Chinese ආහාර වර්ගද කෝපි බංගලාවේදී ඔබට රසවිඳින්නට හැකිවනු ඇත. ඔවුහු ඔබට සුවිශේෂී කෝපි වලින් සංග්‍රහ කරන්නටද අමතක නොකරති. ඔබේ ඉල්ලීම අනුව නුවර නගරයේ කෝපි බංගලාවටම අයත් Gilbert Fine Dining Restaurant and Bar අවන්හලක්ද වේ.

ඇම්බැක්කෙ දේවාලය, ගඩලාදෙණිය, ලංකාතිලකය, දළදා මාලිගය, Railway Museum, Craft Village, Botanical Garden, පින්නවල ආදී සංචාරක කේන්ද්‍රස්ථාන වෙත පහසුවෙන් ළඟා වියහැකි සංචාරක නවාතැනක් ලෙස කෝපි බංගලාව නම් කළ හැක.

එසේම විනෝදාත්මක සහ ත්‍රාසජනක ක්‍රියාකරකම්වලට කැමති සංචාරකයන්ටද කඳු හා වනාන්තරවලින් වටවූ මේ ප්‍රදේශය පාරාදීසයක් වනු නියතය. මධුසමය ගතකරන අපූරු නවාතැනකි. කාර්යබහුල ජීවිතයේ මොහොතක් නිස්කලංකව විඳින්නට කෝපි බංගලාව සැබැවින්ම හොඳම සංචාරක නවාතැනක් බව කිවයුතූය.

සනත් වීරසූරිය