2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

කේන්ද්‍රයෙන් සිකුරා ලබලා දැයි කියවන්න

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 2083

විවාහය ජීවිතයක දෙවන උපත ලෙස සැලකේ. ඒනිසාම සාර්ථක විවාහ ජීවිතයක් ගතකරන අයට මුළු ජීවිතයම සුන්දරව හා සතුටෙන් ජීවත් වීමේ භාග්‍යය උදාවෙයි. යමෙකුගේ විවාහ ජීවිතය අසාර්ථක වේද ඔහුගේ මුළු ජීවිතයම අගාධයට වැටෙයි. ඒ නිසා විවාහයේදී කේන්ද්‍ර පමණක් නොව එකිනෙකාගේ හැසිරීම්, රැචි අරැචිකම් සහ අදාළ පවුල් පසුබිම් පිළිබඳව ද සැලකිලිමත් වියයුතු වෙයි.

අපේ රටේ විවාහ ක්‍රම දෙකකට සිදුවෙයි. ඒ යෝජිත විවාහ සහ ප්‍රේම සබඳතා මත සිදුවන විවාහ වශයෙනි. සංස්කෘතියට ගරුකරන බොහෝ දෙනා යෝජිත විවාහයකට ඉඩ සලසාගෙන විවාහයෙන් පසු එකිනෙකා හඳුනාගෙන සාර්ථක පවුල් ජීවිත ගත කරන බව පෙනේ. අපේ රටේ අතීතයේ විවාහ බොහෝමයක් යෝජනා මත සිදුව ඇති අතර ඒවායින් අසාර්ථකවී ඇත්තේ අතලොස්සක් පමණකි. අද වැඩිපුර සිදුවන්නේ ප්‍රේම සම්බන්ධතා මත සිදුවන විවාහ වන අතර ඒවාද විවිධ හේතු නිසා අසාර්ථක වන අවස්ථා තිබේ.

කෙනෙකුගේ ඡන්ම කේන්ද්‍රයේ ග්‍රහයන් පිහිටා ඇති ආකාරය අනුව ඔහුගේ හෝ ඇයගේ විවාහය සිදුවන්නේ යෝජනාවක් මගින් හෝ නොඑසේ නම් ප්‍රේම බැඳීමකින් ද යන්න පැවසීමට පුළුවන. ඕනෑම කෙනෙකුගේ කේන්ද්‍රයේ පස්වැනි කොටුව විවාහයකදී වැදගත් වෙයි. මෙම පස්වැන්න ආදරය, ප්‍රේමය නිරෑපණය කරන ස්ථාන වෙයි. එකොළොස් වෙනි භාවය මිතුරැ ඇසුර, මිතුරැ සම්බන්ධතා ආදිය නිරූපණය කරයි. ග්‍රහයන් අතරින් සිකුරැ ග්‍රහයා ආදරයට ප්‍රේමයට අධිපති ග්‍රහයා ලෙස සැලකේ. කෙනෙකුට සිකුරා ලබලා දැයි පවසන්නේ විවාහයකට ළංවූ විටය. කෙනෙකුගේ සිත ඇසුරු කරන ග්‍රහයා සඳුය. සඳුගෙන් පෙම් සිතුවිලි ජනිත වෙයි. මේ නිසා අයකු ප්‍රේමයට සහ යෝජිත විවාහයට පෙළඹීම පිළිබඳ කේන්ද්‍රයේ පහ සහ එකොළොස්වන ස්ථාන සලකා බැලිය යුතුවෙයි. ග්‍රහයන් අතරින් සඳු හා සිකුරු ප්‍රධානය.

කෙනෙකුගේ කේන්ද්‍රයේ පස්වැන්න පාපීන්ගේ පීඩාවට පත්වෙන්නේ නම් ප්‍රේම සබඳතා බිඳ වැටෙණු ඇත. විවාහ දෙදරා යයි. එසේ වුවද සඳු සිකුරැ යෝගවී 11 වැන්නේ සිටින විට පෙම් සබඳතා ඇති වී ඒවා ස්ථිර වෙයි. මෙම යෝගය ගුරුගේ දෘෂ්ටියට හසුවූ විට උගත්, ධනවත් අයෙකු සමඟ විවාහ ගිවිස ගනී. මෙහිදී 7 වැන්නාධිපති ප්‍රබලවී 7 වැන්නේම සුබ තත්ත්වයෙන් පිහිටි විට පෙම් සබඳතා තුළින්ම යුග දිවියට පිවිසීමට හැකිවෙයි.

සඳු, බුධ, කුජ යන ග්‍රහයන් පස්වැන්නේ සිටින විට යොවුන් වියේ පටන්ම පෙම් සබඳතා පවත්වා ගෙන ගොස් විවාහයට පත්වනු ඇත. එහෙත් එම විවාහය සාර්ථක ද අසාර්ථක ද යන්න එකවර කිවනොහැකිය. මෙහිදී විවාහය සිදුවන්නේ ඒ අවස්ථාවේ බලවත්ව සිටින ග්‍රහයාට අනුවය. හත්වැන්නේ අධිපතියා පස්වැන්නේ සිටින විට කිසිදු බාධාවකින් තොරව පෙම් සබඳතා පවත්වාගෙන ගොස් විවාහවීමට හැකිවේ. කේන්ද්‍රයේ 10-11 ස්ථානවල ගුරැ බලවත්ව සිටින විට පෙම් සබඳතා මල්ඵල දරා විවාහ වී යහපත් යුගදිවියක් ගතකිරීමට හේතුවෙනවා ඇත.

පස්වැන්නේ අධිපතියා හත්වැන්නාධිපති සමඟ යෝග වීම, පුර සඳුගේ දෘෂ්ටියට පත්වීම සැමවිටම ප්‍රේම සබඳතාවලට නතුවන පිහිටීමකි. එසේ වුවද පස්වැන්නාධිපති හෝ සඳු සිකුරැ යෝග බලයේ සිටියදී රාහු, අඟහරැ ආදී පාප ග්‍රහයන් එකට එක්වූ විට හෝ ඒවායේ දෘෂ්ටි ලැබුණුවිට එවැනි පෙම් සබඳතා ස්ථිර වන්නේ නැත.

එසේම විවාහ ඉතාම භාග්‍ය සම්පන්න වීමට ද ග්‍රහ පිහිටීම බලපායි. හත අධිපතියා සිව්වැන්නට යාම ද සිව් වැන්න අධිපති එකොළොස් වැන්නට යාමද විවාහ ඉතාම භාග්‍යවන්ත වීමට හේතුවේ. එවැනි ග්‍රහ පිහිටීම් තිබූ විට තම තමා පැතූ අයුරින් විවාහ සිදුවෙයි. එම විවාහ සාර්ථක ස්ථිර විවාහ වේ. මෙවැනි අයට තම පෙම්වතා හෝ පෙම්වතිය හමුවන්නේ තම නිවෙසේදී නැතිනම් අතරමඟදී හෝ වාහනයක ගමන් කරන විටද වියහැකිය. එසේ නැතිනම් මංගල උත්සවයකදී හෝ වෙනත් සාදයකදී ද හමුවීමට ඉඩ ඇත.

එසේම හත්වැන්න අධිපති සිව්වැන්නේ හිමිකාරයා වන විටෙකදී එය පෙර ආත්මයක සිට එන බැඳීමක් බව පෙන්නුම් කරයි. මෙලෙස දැඩිව එන සැබැඳියාව කිසිම බලවේගයකට වෙනස් කළ නොහැකිය. මෙවැනි බලගතු දෙපළක් විවාහ වුවහොත් ඉදිරි ජීවිතයට සියලු යස ඉසුරින් පිරි ඉතාම සාර්ථක එකක් වනවා ඇත.

සිව් වැන්නාධිපති හා හත්වැන්නාධිපති සුබ ග්‍රහයන් බවට පත්වී එකිනෙකා දර්ශනය කරමින් සිව්වැන්නේ පහළ වුවහොත් එයද ඉතාම සාර්ථක විවාහයක් වෙයි. ඔවුන් අතර බැඳී සෙනහස හා ප්‍රේමය දිවි ඇතිකාක් එලෙසම පවතී. හත අධිපතියා තිර රුසක නම් ස්ථිර ආලයෙන් ජීවිතාන්තය දක්වා සමගි සම්පන්නව ගත කළ හැකි යුග දිවියක් නිර්මාණය වෙයි.

යොවුන් වියේ පටන්ම පාසල් පෙම්වතුන්ව සිටි විවාහයට පත්වන්නෝද සිටිති. මෙසේ වන්නට නම් සඳු, බුධ, කුජ යන ග්‍රහයන් තිදෙනා පස්වැන්නේ සිටිය යුතු වෙයි. එසේ වුවද විවාහය සිදුවන්නේ බලවත්ව සිටින ග්‍රහයාට අනුවය. හත්වැන්න අධිපතියා පස්වැන්නේ සිටි විටකදී විරුද්ධතාවලින් තොරව ආදර සම්බන්ධතා දිගටම පවත්නා ගෙන ගොස් විවාහයට එළඹෙනවා ඇත. කෙසේ වුවද දහය එකොළොහ සහ ස්ථානවල ගුරු සිටින විටදී සියලු බාධක දුරුකර පෙම් සටනින් ජය ලබා දෙදෙනා එකතුවීමට හැකිවෙයි. 

කෙසේවුවද කුමන කුමන ග්‍රහයන් ගැලපුනද විවාහ ජීවිත සාර්ථක වීමට එකිනෙකාගේ අවබෝධය වැදගත් බව අවධාරණය කළයුතුය.

 විශේෂ ජ්‍යෙතිෂවේදියකු විසිනි. 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00