2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

අනුහස්ගේ නිර්මාණ දැක්ම

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 87

මම පළමුවරට තමයි නිර්මාණ ඇතුළත් කර ප්‍රදර්ශනයක් පවත්වන්නේ. මෙම ප්‍රදර්ශනයේ විශේෂත්වය තමයි කලා අංශ ගණනාවක නිර්මාණ එකම ප්‍රදර්ශනයක ඇතුළත් වීම, චිත්‍ර, මූර්ති, ග්‍රැෆික්, පිටකවර ඇතුළු ක්ෂේත්‍ර එහි ඇතුළත් වෙනවා. ඒ වගේම අද සම්පූර්ණයෙන් පරිගණකයෙන් පුවත්පත්, පොත්වල පිටු සැලසුම් කරන පරම්පරාව අතීතයේ ඒවා අතින් කළ ආකාරය ගැන ද දන්නෙ නැහැ. ඒ ගැන අවබෝධයක් ලබාදීමටත් මෙහි ඉඩ වෙන්කර තිබෙනවා.

ඒ වගේම දශක කිහිපයකට පෙර ඇපල් කොම්පියුටර් භාවිතයෙන් නිර්මාණ කළ ආකාරය ගැනත් ප්‍රදර්ශනයේදී අවබෝධයක් ලබාගත හැකියි. ග්‍රැෆික් නිර්මාණකරණයේ යෙදෙන අයට හා එම ක්ෂේත්‍රය ගැන උනන්දුවක් දක්වන කාටත් මෙම ප්‍රදර්ශනය ප්‍රයෝජනවත් වේවි.* අප සමඟ එලෙස අදහස් දැක්වූයේ කලා ශිල්පී අනුහස් මහවලගේය.

අනුහස් මහවලගේ පුවත්පත් කිහිපයක චිත්‍ර ශිල්පියකු ලෙසත්, ඡායාරූප ශිල්පියකු ලෙසත්, රූ රටා සැලසුම් ශිල්පියකු ලෙසත්, ලේඛකයකු ලෙසත් වෘත්තීය ජීවිතයේ නිර්මාණ ශිල්පියෙකු ලෙස වසර 35ක අත්දැකීම් සපිරි කලාකරුවෙකි. රෑපවාහිනී වෙළෙඳ දැන්වීම් හා ටෙලිනාට්‍ය රැසකට විවිධ අංශවලින් දායක වූ ඔහු ග්‍රන්ථ රැසකට කවර මෙන්ම මුද්‍රිත නිමැවුම් රුසක් හැඩ කළ නිර්මාණකරුවෙකි.

ඔහු ජනාධිපතිවරුන් සිව්දෙනෙකුගේ ප්‍රකාශන හා ග්‍රන්ථ ගණනාවකුත්, මුදල් අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජාතික වශයෙන් වැදගත් ප්‍රකාශන හා ග්‍රන්ථ රැසකුත් නිර්මාණය කිරීමට ඍජුවම දායක වී ඇති කලාකරුවෙකි

තිස් පස් වසරක නිර්මාණ දිවියේ මුද්‍රිත සාක්ෂි වශයෙන් ඉදිරිපත් කළ හැකි පුවත්පත්, ග්‍රන්ථ, සඟරා හා පොත් කවර, පුවත්පත් දැන්වීම් වැනි ජාතික මට්ටමේ තෝරාගත් නිර්මාණ සිය ගණනක් සමඟ පුවත්පත්වල පළවූ රේඛා චිත්‍ර, දියසායම්, ඇක්‍රලික්, පැන්සල් භාවිතයෙන් කළ සිතුවම් 100ක්, පුවත්පත් සඟරාවල මුල්කවර සැරසූ ඡායාරූප හා මෑතකදී කළ මූර්ති කිහිපයක්ද මෙම ප්‍රදර්ශනයේදී දැකගත හැකිය.

ඔහුගේ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනය ඔක්තෝබර් 19, 20 දෙදින තුළ පෙ.ව. 9.00 - ප.ව. 6.00 දක්වා කොළඹ 7 ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. අනුහස්ගේ අත්දැකීම් හා සංකල්ප මුසුකර පෙළගැස්වූ කෙටියෙන් පවසමි ග්‍රන්ථය එළිදැක්වීමද ඔක්තෝබර් 18 සවස 4.00ට පදනම් ආයතනයේදී සිදුකෙරේ. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ආචාර්ය සරත් අමුණුගම සහභාගි වන අතර, මහාචාර්ය ආරියරත්න ඇතුගල, මහාචාර්ය සේන නානායක්කාර, ජනාධිපති නීතිඥ සරත් කෝන්ගහගේ, දිලිප් ජයවීර යන විද්වතුන් කෙටි දෙසුම් පැවැත්වීමට නියමිතය.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00