2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

ජනාධිපතිවරණයේදී සුළු පක්ෂ මොනවද කරන්නේ?

 2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:31 177

ජනපතිවරණය සඳහා වන උණුසුම කෙමෙන් ඉහළ යන බව හැම අතින්ම පෙනෙන්නට තිබේ. රට පුරා ප්‍රචාරක තරගය ව්‍යාප්ත වෙමින් ඇති අතර බොහෝමයක් පක්ෂවල රුස්වීම් දිනපතා පැවැත්වෙන බවද දැකගන්නට තිබේ. ඉදිරි ජනාධිපතිවරණය නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසන් සභාව පසුගිය 18 වැනිදා නිවේදනය කළහ.

කොමිසමේ ප්‍රකාශවලට අනුව පෙනීයන්නේ ජනාධිපතිවරණය සඳහා විස්සකට ආසන්න තරගකරුවන් පිරිසක් ඉදිරිපත් වන බවය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට අනුව පක්ෂ දහයක් හා එක් ස්වාධීන අපේක්ෂකයෙක් ද ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකත්වය ඉල්ලා සිටිති. බොහෝ විට මෙම ජනාධිපති ධුර අපේක්ෂකයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමට හැකිය. එහෙත් ජනතා පෙළගැස්ම අනුව ජනාධිපතිවරණ තරගය ඇත්තේ දේශපාලන පක්ෂ දෙකක් හෝ තුනක් අතරය.
2018 මැතිවරණ - ඡන්ද හිමි නාම ලේඛනය මෙවර ජනාධිපතිවරණය සඳහා භාවිත කරන බවත් මේ වනවිට ප්‍රකාශයට පත්වි තිබේ. 2018 ඡන්ද හිමි නාමලේඛනය භාවිත කළ ද අලුත් ඡන්ද ලක්ෂ දෙකක් පමණ මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය දීමට සුදුසුකම් ලබන බව මැතිවරණ කොමිසම පෙන්වා දෙයි. මෙම අලුත් ඡන්ද ලක්ෂ දෙක ද මෙවර මැතිවරණයේ තීරණාත්මක සාධකයක් වීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇති බව දේශපාලන විචාරකයෝ ද සිය මත පළකර සිටිති. රටේ පවතින මැතිවරණ උණුසුම අනුව පෙනීයන්නේ ඡන්ද භාවිත කරන්නන්ගේ ප්‍රතිශතය ඉහළ යා හැකි බවය. 2018දී මෙරට ඡන්ද හිමි පුරවැසියන්ගේ ගණන එක්කෝටි පනස් නව ලක්ෂයකට මඳක් වැඩි විය.

මෙතෙක් පැවති සෑම ජනාධිපතිවරණයකටම වඩා මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය තියුණු මුහුණුවරක් ගන්නා බව දේශපාලන විශ්ලේශකයන්ගේ මතය වී ඇත. කිසිදු අපේක්ෂකයකුට 50% ඉක්ම වන ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට අසීරු විය හැකි බව ඔවුහු පෙන්වා දෙති. එමෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන සුළු පක්ෂවල හැසිරීම මෙවර මැතිවරණයේදී තීරණාත්මක සාධකයක් වනු ඇති බවට ද මේ වනවිට ජාතික දේශපාලන කාලයේ විවිධ මත පළවෙමින් තිබේ. 
මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 70කි. මෙයින් බහුතරයක් දේශපාලන පක්ෂ සුළු ජාතික පක්ෂ වේ. සුළු ජාතික පක්ෂ යනු මෙරට සුළු ජාතික ජනයා නියෝජනය කිරීම සඳහා පිහිටුවා ගත් පක්ෂ වේ. උතුරේ දෙමළ දේශපාලන පක්ෂ, නැගෙනහිර මුස්ලිම් හා දෙමළ දේශපාලන පක්ෂ මෙන්ම වතුකරයේ දෙමළ ජනයා නියෝජනය කරනා දේශපාලන පක්ෂ මේ අතර ප්‍රධානය.

මේ වනවිට ප්‍රධාන පක්ෂ සම්බන්ධයෙන් මතුවී ඇති එක් යථාර්ථයක් වන්නේ කිසිම පක්ෂයකට තනි පක්ෂයක් වශයෙන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වීමය. මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රාහී අපේක්ෂකයා කවරකු වුවත් ඔහු ඡන්ද ලක්ෂ 65 සිට 70 දක්වා ලබාගත යුතුව ඇත. එබඳු ඡන්ද සංඛ්‍යාවක් ලබාගත හැකි තනි පක්ෂයක් අප රටේ මේ වනවිට නැති බව පසුගිය මැතිවරණ ප්‍රතිඵල දෙස බලනවිට පෙනී යයි. මෙය අද ඊයේ ඇති වූ තත්ත්වයක් නොව දැනට දශක තුන හතරක සිට පැවත එන තත්ත්වයකි. 

මෙවර ජනාධිපතිවරණයේ ඉටුකර භූමිකාව සම්බන්ධයෙන් උතුරේ දෙමළ සුළු ජාතික පක්ෂ, නැගෙනහිර මුස්ලිම් මෙන්ම දෙමළ සුළු ජාතික පක්ෂ සහ කඳුකරයේ සුළු ජාතික පක්ෂ නියෝජනය කරන නියෝජිතයන් කිහිපදෙනෙකුගෙන් අපි මත විමසීමක් කළෙමු.

මහින්ද මහත්තයාගේ අපේක්ෂකයා තමයි අපේ තේරීම
ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද

මේ පාර අපේ පක්ෂයේ ඡන්ද සංඛ්‍යාව වැඩිවෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා. උතුරේ වැසියන් මෙවර ජනාධිපතිවරණයේදී නිවැරදි තීරණයක් ගනී කියලා තිස් වසරක යුද්දේ නිමා කරලා මෙරටට සාමය උදාකර දීපු මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ගෝඨාභය රාජපක්ෂ මහතාට අපි අපගේ සහයෝගය ලබා දෙන්නේ තවම ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත්කරලා නැතත් අපි අපගේ සාහය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන්න තීරණය කරලා තියෙනවා.

මේ අපගේ දෙමළ ජනතාවගේ ගැටලුවලට ඔවුන් විසඳුම් ලබාදෙයි කියන විශ්වාසය අපිට තියනවා. බොහෝ උතුරේ ද්‍රවිඩ දේශපාලන පක්ෂ ජනතාව ගැන නෙවෙයි තමන් ගැන හිතලා තමයි පක්ෂවලට සහය පළ කරන්නේ. නමුත් අපි ජනතාවගේ සුභ සිද්ධිය ගැන බලලා තමයි මේ තීරණය ගන්නේ. අපි විශ්වාස කරනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිතුමා විසින් ඉදිරිපත් කර ඇති එම අපේක්ෂකයා අපට අපගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙයි කියලා.

වතුකරයේ ජනතාවට එජාපෙ රජය විශාල සේවයක් කළා
කම්කරු ජාතික පෙරමුණ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් තිලකරාජා

එක්සත් ජාතික පෙරමුණු රජයක් යටතේ අපි වතුකරයේ ජනතාවට විශාල සේවයක් ඉටුකරලා තියනවා. ඒ නිසා තවදුරටත් ඒ වැඩකටයුතු ඒ ආකාරයෙන්ම කරගෙන යාමට මේ ජනතාව අපිට සහයෝගය ලබාදෙයි කියන විශ්වාසය අපිට කියනවා. තවමත් එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද කියලා තීරණයක් අරගෙන නැහැ. ඔවුන් නිසි වෙලාවට මෙම ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහැකි අපේක්ෂකයකු ඉදිරිපත් කරයි. එසේ ඉදිරිපත් වන අපේක්ෂකයා කවුරු වුණත් අපි පක්ෂයක් ලෙසට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයාට සහය ලබාදෙනවා. තවමත් අපි ඔවුන් සමඟ සාකච්ඡා පවත්වා අපගේ යෝජනා ඉදිරිපත් කරලා නැහැ. ඔවුන් විසින් ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කළ පසු ඔහුත් සමඟ තමයි අපි සාකච්ඡා කරන්නේ.

මුස්ලිම් ප්‍රජාවගේ ගැටලුවලට විසඳුම් දියහැකි නායකයෙක් ඕනෑ
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙයියඩ් අලි සහීර් මවුලානා

මුස්ලිම් ජනතාවට ප්‍රශ්න රාශියක් මේ වෙනකොට තියනවා. පසුගිය 21 වැනිදා මෙරටට එල්ල වූ පාස්කු ප්‍රහාරයක් සමඟම බොහෝ දෙනා මුස්ලිම් ඇමතිවරුන් සිය තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු බවට පැවසුවා. ඒ පරීක්ෂණවලට සහය පළකරලා අපගේ ඇමතිවරුන් ඒ අමාත්‍යය ධුරවලින් ඉවත්වුණා. එක් අන්තවාදීන් පිරිසක් එල්ල කළ ප්‍රහාරයක් නිසා තමයි මේ තත්ත්වය ඇති වුණේ . ඒ වගේම නැගෙනහිර මුස්ලිම් ජනතාව මේ වනවිට බොහෝ පීඩා විඳිනවා. ඇතැම් ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක්වත් ස්ථාපිත කරලා නැහැ. මේ ඉදිරි ජනාධිපතිවරණයේදී අපගේ මුස්ලිම් ප්‍රජාවගේ ගැටලුවලට විසඳුම් ලබාදිය හැකි නායකයකු එක්ක තමයි අපි අපගේ ගමන යන්න තීරණය කරලා තියෙන්නේ. කෙසේ වෙතත් අපි මේ වනවිටත් සහය දක්වන එක්සත් ජාතික පක්ෂය තවමත් ජනාධිපතිවරණ අපේක්ෂකයකු නම් කරලා නැහැ. කෙසේ වෙතත් එළඹෙන සතිය තුළ ඒ සම්බන්ධව අවසන් තීරණයක් ප්‍රකාශයට පත්කරනු ඇති බවට අපි විශ්වාස කරනවා. ඉන් අනතුරැව අප පක්ෂය සාකච්ඡා කරලා තීරණයක් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

උතුරේ ජනතාව ඉන්නේ කනගාටුවෙන් 
ඉලංකෙයි තමල් අරැසුකච්චි පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ. සරවනපවන්

උතුරු පළාතේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට මෙතෙක් බලයේ සිටි කිසිවෙක් කටයුතු කළේ නැහැ. උතුරු පළාතේ බොහෝ ද්‍රවිඩ ජනතාව තමන්ගේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබීම නිසා ඉතා කනගාටුවෙන් තමයි ඉන්නේ. මීට පෙරත් බලයට පත්වූ ජනාධිපතිවරු උතුරේ ජනතාව ගැන ඉතා අඩු සැලකිල්ලක් තමයි දැක්වූයේ. තවම අපි අපගේ ජනාධිපතිවරණ සහය ලබාදෙන්නේ කාටද කියලා තීරණයක් අරගෙන නැහැ. ජනතා විමුක්ති පෙරමුණ හා පොහොට්ටු පක්ෂය විතරයි තමන් ජනාධිපති ධුර අපේක්ෂකයන් ප්‍රකාශයට පත්කර තියෙන්නේ. ප්‍රධාන වශයෙන් ඒ වගේම තවම ස්ථිර දිනයක් ප්‍රකාශයට පත්කරලත් නැහැ. ජනාධිපතිවරණයට මේ උතුරේ දමිළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන ඉල්ලීම් ඉටුකළ හැකි අයකුට අපි අපගේ සහය ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.

පාක්ෂිකයන් සමඟ කතා කර තීන්දුවක් ගන්නවා
ලංකා කම්කරු කොංග්‍රසයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තු සිවලිංගම්

තවමත් අපි පක්ෂයක් ලෙස තීරණයක් අරගෙන නැහැ. මෙවර ජනාධිපතිවරණයේදී කාටද සහය දක්වන්නේ කියලා ඉදිරි සතිය තුළ අපි අපගේ පක්ෂය තුළ සිටිනවා සාමාජිකයන් සමඟ කතාබහ කර ඉන් අනතුරුව අපගේ සහය දැක්වීම පිළිබඳ තීරණයක් ගන්නවා. විශේෂයෙන්ම වතු කම්කරුවන් වෙනුවෙන් පසුගිය රජය විශේෂ වැඩපිළිවෙළවල් රාශියක් ක්‍රියාත්මක කළා. ඒ ජනතාවට සහය දෙන අපේක්ෂකයකුට සහය දක්වන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

තීන්දුව ගන්නේ එජාපෙ අපේක්ෂකයා එක්ක සාකච්ඡාවෙන් පස්සේ
ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර්

එළැඹෙන ජනාධිපතිවරණයේදී අපගේ පක්ෂයේ සහය එක්සත් ජාතික පක්ෂයට අපි ලබාදෙනවා. ඒ වගේම මේ එජාපය පිහිටුවීමට යන සන්ධානයේ නායකත්වය සහ ලේකම් ධුරයත් ජනාධිපති අපේක්ෂක ධුරයත් එක්සත් ජාතික පක්ෂයට ලැබිය යුතුයි කියන මතයේ අපි ඉන්නවා. 

තවමත් එක්සත් ජාතික පක්ෂය ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු නම්කර නැහැ. බොහෝ දුරට ඉදිරි සතිය තුළ එජාපයේ ජනාධිපතිවරණය අපේක්ෂකයා නම් කරයි කියන විශ්වාසය අපිට තියනවා. එසේ නම් කරන ලද අපේක්ෂකයා සමඟ සාකච්ඡා කරලා අපි එජාපයෙන් ඉදිරිපත්වන අපේක්ෂකයාට අපගේ සහය ලබාදෙනවා. 

මුස්ලිම් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට සේවය කරන නායකයෙක් ඕනෑ
සමස්ත ලංකා මක්කල් කොංග්‍රස් නියෝජ්‍ය සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් නවවි

තවමත් ඉදිරි ජනාධිපතිවරණය පවත්වන නිශ්චිත දින වකවානු ප්‍රකාශයට පත්කරලා නැහැ. කොහොම වුණත් එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන එම ජනාධිපති අපේක්ෂකයා සමඟ සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ නැගෙනහිර වගේම රට පුරා සිටින මුස්ලිම්වරුන්ට විවිධ ප්‍රශ්න ගැටලු ගොඩනැගිලා තියනවා. ඒ මුස්ලිම් ජනතාවට වගේම සමස්ත ශ්‍රී ලංකික ජනතාවට සේවය කරන ජනාධිපති ධුර අපේක්ෂකයකු තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. තවමත් අපි සාකච්ඡා කරලා නැහැ එජාපයේ අපේක්ෂකයා නම් කළ වහාම අපි ඔහුත් සමඟ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.

එජාප අපේක්ෂකයා නම් කළාම සාකච්ඡා කර බලනවා
දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්දිරන් කෝඩේස්වරන්

ඉදිරි ජනාධිපතිවරණයේදී අප සහය ලබාදෙන්නේ කාටද කියලා තවමත් තීරණයක් අරගෙන නැහැ. කෙසේ වෙතත් මේ ජනාධිපතිවරණ දිනට ප්‍රකාශයට පත්කළ පසු සහ එජාපයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කළ පසු අපි ඔවුන් සමඟ සාකච්ඡා කරලා එජාපයට සහය දක්වන්න තීරණය කරනවා. 

විශේෂයෙන්ම දමිළ වැසියන්ට තියන සියලු ප්‍රශ්නවලට විසඳුමක් ලබාදෙන අපේක්ෂකයකුට අපි සහය දෙනවා.

උතුරට දකුණට එකට සලකන නායකයෙක් අවශ්‍යයි
දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානය (ප්ලොට්) පාර්ලිමේන්තු මන්ත්‍රී සිද්ධාර්ථන් ධර්මලිංගම්

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන ප්‍රධාන පක්ෂ තුනෙහි අපේක්ෂකයන් සමඟ සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපගේ මෙම දෙමළ ජනතාවගේ ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන ජනාධිපතිවරණ අපෙක්ෂකයකුට අප සහය ලබාදෙනවා. උතුරේ වැසියන්ට මෙන්ම දකුණේ වැසියන්ට එක සමානව ජනතා අභිලාෂයන් සඳහා ඇහුම්කන් දෙන නායකයකු තමයි මේ රටට අවශ්‍යවන්නේ. ප්‍රධාන පක්ෂ දෙකක් මේ වනවිටත් අපෙක්ෂකයන් නම් කරලා තියනවා. 
 එජාපයෙන් විතරයි තාමත් අපේක්ෂකයකු නම් කර නැත්තේ මේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් සියලු දෙනා නම් කළ පසු ඔවුන් සමඟ සාකච්ඡා කරලා අපගේ ගැටලුවලට විසඳුම් ලබාදෙන අයකුට අපි සහය දෙනවා. 

පොහොට්ටු අපේක්ෂකටයි අපේ සහාය
ඊළාම් මහජන විප්ලවකාරී පෙරමුණ නායක උතුරු නැගෙනහිර හිටපු පළාත් ප්‍රධාන අමාත්‍ය වර්ධරාජා පෙරුමාල්

30 වසරක් පුරා පැවති යුද්ධය අවසන් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වයට නම් කරන ලද ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙවර ජනාධිපතිවරණයේදී සහය ලබාදෙනවා. මෙම රජය උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් කිසිවක් කළේ නැහැ. මේ උතුරු නැගෙනහිර වැසියන්ට සිය බලාපොරොත්තු ඉටුකර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතාත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා.

මෙලෙසින් ප්‍රධාන දේශපාලන පක්ෂ ද මෙම සුළු ජාතික දේශපාලන පක්ෂවල සහයෝගය ලබාගැනීමට විවිධ පොරොන්දු දෙන බව සියලු දෙනා දන්නා කරැණකි. ඊළඟ පරම්පරාව ඉලක්ක නොකරන ඊළඟ මැතිවරණය පමණක් ඉලක්ක කරන ඇතැම් දේශපාලන නායකයන්ට අවශ්‍ය වන්නේ මොනයම් ක්‍රමයකින් හෝ බලය ලබා ගැනීමටය.

කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරණය රටේ අනාගතය සම්බන්ධයෙන් හැරවුම් ලක්ෂයක් සනිටුහන් කර ඇති බවට බොහෝ දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. කුමන අර්ථයකින් ගත්තද දැන් එළඹෙමින් තිබෙන්නේ මෙරට හත්වැනි විධායක ජනාධිපති ලෙස සුදුසු පුද්ගලයකු තෝරාගැනීමේ අවස්ථාවය. මේ සීමිත කාලය තුළ රටේ සාමය හා නීතිය ආරක්ෂා කිරීම රජයේ වගකීම වෙයි. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලට ඉඩනොතැබිය යුතුසේම ජන මතය විකෘති කිරීමට ද ඉඩනොතැබිය යුතුය. එවිට මහජන ඕනෑඑපාකම් මුදුන්පත් වනසේ නායකයකු පත්කර ගත හැකිය.

 සටහන - හසිත් අංජන