2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

පොඩි වෙළෙඳුන් පිටින් යැවූ පිටි මිලේ ජරමරය

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 55

තිරිඟු පිටි මිල කිලෝවක් රුපියල් 5.50කින් ඉහළ නැංවීමට සමාගම් ගෙන තිබූ තීරණය රටේ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය. මෙම තත්ත්වය තවත් තීව්‍ර වූයේ පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ද ඉහළ යාම හේතුවෙනි. මේ හේතුවෙන් රටේ දුප්පත් පාරිභෝගිකයන් විශාල අසාධාරණයකට ලක් වූ බවට චෝදනා නැගිණි.

මෙයට ප්‍රතිකර්මයක් වශයෙන් පාරිභෝගික සේවා අධිකාරිය වැඩි මිලට තිරිඟු පිටි සිල්ලරට අලෙවි කරන වෙළෙඳුන් වැටලීමට පටන් ගත් අතර පසුගිය දින දෙක තුන තුළ එවැනි වෙළෙඳුන් 150 ක් පමණ නීතියේ රැහැනට කොටුකර ගත් බවට ද වාර්තා කෙරුණි. කෙසේ වුවද මෙම වැටලීම් හුදු සංදර්ශන පමණක් වූයේ හිතුවක්කාර ලෙස පාලන මිලට වැඩියෙන් තිරිඟු පිටි මිල ඉහළ නැංවූ ආනයන සමාගම් දෙකට එරෙහිව පියවර නොගෙන සුළු වෙළෙඳුන් පමණක් ඇල්ලීම නිසාය.

කෙසේ වුවද පසුගිය 10දා පැවැති ජීවන වියදම් කමිටුවේදී ප්‍රිමා සමාගමේ නියෝජිතයන් වැඩි කළ පිටි මිල පහළ හෙළීමට එකඟ වූ බව ඇමැති හැරිසන් කියයි. තිරිඟු පිටි සඳහා මිල සූත්‍රයක් සකස් කර එය ක්‍රියාත්මක කරන තුරු තිරිඟු පිටි මිල අඩු කරන ලෙසට ජීවන වියදම් කමිටුව විසින් කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගෙන ප්‍රිමා සමාගමේ නියෝජිතයා මිල අඩු කිරීමට එකඟ වී ඇතැයි වාර්තා විය.

ප්‍රිමා සමාගම හිතුමතේ තිරිඟු පිටි මිල ඉහළ නැංවීම පිළිබඳ කෘෂිකර්ම, වාරිමාර්ග සහ ධීවර කටයුතු අමාත්‍ය හා ජීවන වියදම් කමිටු සභාපති පී. හැරිසන් ප්‍රීමා සමාගමට තදින් දොස් පවරා ඇති අතර වහාම මිල අඩු කළ යුතු බව පවසා තිබේ. මිල වැඩි කිරීම පිළිබඳ ලිඛිත වාර්තාවක් සති තුනක් ඇතුළත සපයන ලෙස අමාත්‍යවරයා සමාගමට නියෝග කර ඇති බවද සැල විය.

තිරිඟු පිටි මිල අඩු කළහොත් රුපියල් දෙකකින් ඉහළ නැංවූ පාන් ගෙඩියේ මිල ද අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසා තිබේ. පිටි මිල අඩු කළ බව තමන්ට මෙතෙක් දැනුම් දී නොමැති අතර එය දැනුම් දුන් වහාම මිල අඩු කරන බව ඔහු කීය.

කෙසේ වුවද ප්‍රිමා සමාගම මිල අඩු කිරීම ඉවත් කර ගැනීම නිසා මෙම ප්‍රශ්නය විසඳුණේ යැයි යමකු තීරණය කළහොත් එය සාවද්‍යය. එයට හේතුව මෙය තාවකාලිකව ගත් පියවරක් පමණක් නිසාය. පසුගිය ජූලි මාසයේදීද පිටි මිල කිලෝව රැපියල් 8කින් ඉහළ දමා ජීවන වියදම් කමිටුවේදී යළිත් අඩු කිරීමට සමාගම් එකඟ වූ බව අපට මතකය. එහෙත් මාස 2-3 ක් තුළදී සමාගම යළිත් ඒ වරද කර තිබේ. ඒ තත්ත්වය මත හෙට අනිද්දා යළිත් මිල වැඩි නොවේදැයි කාට නම් කිව හැකිද? එයට විවිධ හේතු ඉදිරිපත් කරන්නට සමාගම්වලට හැකියාව ඇත. වගකිව යුත්තන් සිදුකළ යුත්තේ මහජන විරෝධතා හමුවේ අතීසාරයට අමුඩ ගැසීම නොව මෙයට ස්ථිරසාර විසඳුමක් දීමය. යළිත් වරක් පිටි මිල වැඩි වීමට පෙර මෙය කළ යුතුව ඇත. එසේම බේකරි හිමියන්ට තම ව්‍යාපාරවලට මුහුණපාන්නට සිදුව ඇති දුෂ්කරතා පිළිබඳ කරුණු ද සලකා බලා එම කර්මාන්තය නගාසිටුවා පාරිභෝගිකයාට ද සහනයක් සලසා දීමට කටයුතු කිරීම රජයේ වගකීම වෙයි.

මිල වැඩි කළ පසු ආනයන සමාගම් තිරිඟු පිටි අලෙවි කළේ කිලෝව රුපියල් 92.50 ක් වශයෙනි. එසේ වුවද පිටි කිලෝවක පාලන මිල වන්නේ රුපියල් 87 කි. රුපියල් 92.50ට ලබාගන්නා පිටි කිලෝවක් පාලන මිල වූ රුපියල් 87ට අලෙවි කරනවා නම් ලාභයක් තබා කිලෝවකට රුපියල් 5.50ක අලාභයක් විඳීමට සිල්ලර වෙළෙඳුන්ට සිදුවේ. එසේ නම් එවැනි අලාභයක් සමඟ පිටි අලෙවි කිරීමට ඉදිරිපත් වන සිහි මොළේ ඇති වෙළෙන්ඳකු සිටිය නොහැකිය. අනිත් අතට වෙළෙන්ඳා ළඟට තිරිඟු පිටි එන විට ඒ සඳහා ප්‍රවාහන ගාස්තු ද, ගොඩබෑම සඳහා කම්කරු ගාස්තු ද එයට එකතු වේ. සිල්ලර වෙළෙඳසල් සඳහා ජල විදුලි ආදී ගාස්තු ද, ආදායම් බදු හා විවිධ ගාස්තු ද ගෙවිය යුතුය. එයට අමතර වශයෙන් වෙළෙඳාමේ ලාභය ද භාණ්ඩ මිලට එකතු වෙයි. මේ ආදී විවිධ පිරිවැය නිසා පිටි කිලෝව රුපියල් 95-100 අතර විවිධ මිල ගණන්වලට අලෙවි කිරීමට වෙළෙඳුන් කටයුතු කිරීම ගැන වරද පැටවිය නොහැකිය. ඒ නිසා මේ මුළු වරදම ගමේ සිල්ලර වෙළෙන්ඳා පිට පටවා අත පිසදා ගැනීමට බලධරයන්ට නුපුළුවන.

මිල වැඩි කිරීමට හේතු වශයෙන් සමාගම් පවසනුයේ ලෝක වෙළෙඳපොළේ තිරිඟු ඇට මිල ඉහළ යාම, නැව් හා කම්කරු ගාස්තු වැඩිවීම සහ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වීම ආදී කවදත් පවසන කරුණුය. මෙම හේතු පිළිබඳ සමාලෝචනයක යෙදීම ද අවශ්‍ය බව පෙනෙන්නට තිබේ.

කෙසේ වුවද මිල පාලනයට යටත් කළ කුමක් හෝ වැඩි මිලට විකිණීම වරදකි. සමාගම් එය දැන දැනත් නිතරම මේ වරද කරන බව පෙනේ.
වර්ෂ 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පනතේ 18 (2) වගන්තිය සමඟ කියැවෙන අංක 60(4)අ වගන්තියේ ඒ බව මෙසේ ද දැක්වේ.
“යම් භාණ්ඩයක් හෝ සේවාවක් ප්‍රජාවගේ හෝ ඉන් කොටසකගේ හෝ ජීවිතවලට අත්‍යවශ්‍ය වන බව ඇමැතිවරයාගේ මතය වන අවස්ථාවක මිල අධිකාරියේ පූර්ව අනුමැතියකින් තොරව එම භාණ්ඩවල හෝ සේවාවල තොග සහ සිල්ලර මිල වැඩි කළ නොහැකි අතර, එසේ කිරීම අධිකරණයකින් දඬුවම් ලැබිය හැකි වරදකි.”

ඒ අනුව තිරිඟු පිටි නිෂ්පාදන අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙසට 2004 මැයි මස 26දා ලංකාණ්ඩුවේ අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබිණි. එම ගැසට් පත්‍ර නියෝග අදට ද වලංගු වෙයි.

කෙසේ වුවද මේ නීති ගැන නොසලකා විජාතික තිරිඟු පිටි සමාගම් මිල වැඩි කිරීම අද ඊයේ සිදුවූවක් නොවේ. මෙයට පෙර වසරවල ද එය කර ඇත. 2007 වසරේ බන්දුල ගුණවර්ධන වෙළෙඳ වාණිජ හා පාරිභෝගික කටයුතු අමාත්‍යවරයාව සිටියදී දෙවරක්ම අනවසරයෙන් මිල ඉහළ නංවා තිබිණ. මෙයට එරෙහිව රජය සමාගම්වලට නඩු පැවරූ බව පැවසුවද, සිදු වූ ප්‍රතිඵලයක් දක්නට නොමැත. ඒ අතර ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රිස් පෞද්ගලික සමාගම හෙවත් ප්‍රිමා සමාගම 2007 මැයි මස 07දා රජයට එරෙහිව ද නඩු පවරා තිබිණ. 2007 අප්‍රේල් 15දා පැනවූ මිල පාලනය කිරීමේ නියෝගය බල රහිත කරන ලෙස මෙම නඩුවෙන් සමාගම ඉල්ලා තිබුණි. ඔවුන් කියා තිබුණේ මෙලෙස පිටි මිල පාලනය කිරීමෙන් තමන් පාඩු ලබන නිසා ව්‍යාපාර කටයුතු නවතා දැමීමට සිදුව ඇති බවය. කෙසේ වුවද ඔවුන්ගේ ඉල්ලීමට අධිකරණය අවසර දුන් බවක් දැනගන්නට නැත.

කෙසේ වුවද ප්‍රිමා සහ සෙරන්ඩිබ් සමාගම්වලට ඇති තිරිඟු පිටි ඒකාධිකාරිය බිඳීම සඳහා බන්දුල ගුණවර්ධන වෙළෙඳ ඇමැතිව සිටි සමයේ, එනම් 2007 වසරේ දී ලෝක වෙළෙඳපොළෙන් මිල ගණන් කැඳවීමට ද කටයුතු කර තිබුණි. දැනට ලංකාවට ආනයනය කරන පිටිවලට වඩා ප්‍රමිතියෙන් ඉහළ පිටි ආනයනය කර ඒවා සහන මිලට සතොස මගින් අලෙවි කිරීමේ සැලසුමක් ගැන ද ඒ දිනවල කතාබහ කෙරුණි. එහෙත් එය ක්‍රියාත්මක වූ බවක් දැනගත නොහැකි විය.

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ වෙළෙඳ ඇමැතිවරයාව සිටි 2004 – 2005 සමයේ දී විදේශ සමාගම්වල ඒකාධිකාරිය බිඳීම සඳහා පිටි ආනයනය කිරීමට වෙනත් සමාගම්වලට ද අවසර දුන් නමුත් එය ප්‍රයෝජනයට ගෙන පිටි ආනයනය කළ සමාගමක් ගැන දැනගත නොහැකි විය. එයට හේතුව වන්නේ ලෝක වෙළෙඳපොළේ මිල අනුව ඒවා ආනයනය කර පාලන මිලට බෙදා හැරීමෙන් විශාල ලාභයක් ලබාගත නොහැකි වීමය.

කෙසේ වුවද 2007 වසර ආශ්‍රිතව තිරිඟු පිටි වෙනුවට සහල් පිටි ජනතාවට පුරුදු කරන වැඩපිළිවෙළක් රජය පටන්ගෙන තිබුණු බව අපට මතකය. සහල් පිටි, තිරිඟු පිටිවලට වඩා ප්‍රමිතියෙන් හා ගුණයෙන් ඉහළ බවට ද වෙළෙඳ අමාත්‍යාංශය ප්‍රචාරය කර තිබුණි. අත්හදා බැලීමක් වශයෙන් සහල් පිටිවලින් පාන් සහ බේකරි නිෂ්පාදන තැනීම ආරම්භ කර තිබුණු අතර වොක්සෝල් වීදියේ සතොස ඉදිරිපිට සහල් පිටි පාන් නිෂ්පාදනය කර අලෙවි කිරීමට කටයුතු යොදා තිබුණි.

එහෙත් සහල් පිටි නිෂ්පාදන ජනතාව අතර ප්‍රචලිත වූයේ නැත. ප්‍රමිතිය අතින් සහල් පිටි නිෂ්පාදන තිරිඟු පිටිවලට වඩා පහළ මට්ටමක තිබුණි. පාන් ගෙඩි පවා තද ගතියක් සහ අමිහිරක් තිබූ අතර පාරිභෝගිකයන් එම නිෂ්පාදන මිලදී ගැනීමට රුචියක් දැක්වූයේ නැත. එනිසාම රජයේ එම ප්‍රයත්නය ද එතරම් දුරට ප්‍රසාරණය වූයේ නැත. එසේම එකල පැවැති සහල් මිල අනුව පිටි නිෂ්පාදනය කිරීමේ පිරිවැය ඉහළ ගිය නිසා සහල් පිටිවල තිරිඟු පිටි සමඟ තරග කිරීමට නොහැකි විය.

කෙසේ වුවද අද වන විටද ජනතාව පාන්වලට හා කෙටි කෑමවලට වැඩි කැමැත්තක් දක්වන බව පෙනෙන්නට තිබේ. පාන් බත්වලට පමණක් දෙවැනි වන ආහාරයක් බවට පත්ව ඇත. වතු ශ්‍රමිකයන්ගේ ප්‍රධාන ආහාරය බවට පත්ව ඇත්තේ ද තිරිඟු පිටිවලින් තනන රොටි ආදියයි. ඒ නිසා තිරිඟු පිටිවලට ආදේශකයක් සොයනවාට වඩා ජනතාවට පහසු මිලට පාන් පිටි මිලට ගැනීමට ක්‍රමයක් සකස් විය යුතුව ඇත. ඒ සඳහා මිල සූත්‍රයක් තනන බව රජය කියයි. එසේ වුවද තෙල් මිල සූත්‍රය මෙන් තිරිඟු පිටි මිල සූත්‍රයෙන් ජනතාවට වින්නැහියක් නොවිය යුතු බව පැවසිය යුතුය.

පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ

“තිරිඟු පිටි මිල වැඩිකර ඇති බවට මුලින්ම පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කළේ අපියි. ඊට පසුව තමා පාරිභෝගික සේවා අධිකාරිය වැටලීම් ආරම්භ කළේ. එසේ වුවත් අපේ අදහස නම් මේ විදියට ගමේ කඩවල සිල්ලර වෙළෙඳුන් පිටි වැඩි මිලට වික්කා යැයි වටලා ඉදිරි පියවර ගැනිල්ලෙන් මෙම මිල වැඩි කිරීම පාලනය කළ නොහැකි බවයි. මෙය ආඳා වලිගයෙන් අල්ලනවා වගේ අසාර්ථක ප්‍රයත්නයක්. වෙළෙඳුන් පිටි නිෂ්පාදනය කරන්නේ. ඔවුන්ට පිටි ලැබෙන්නේ ප්‍රිමා සහ සෙරන්ඩිබ් සමාගම්වලින්. ඒ සමාගම් වැඩි මිලට අලෙවි කරන පිටි තොග වෙළෙඳුන්ගෙන් තමා සිල්ලර වෙළෙඳුන් මිලට ගන්නේ. ඉතින් එහෙම ගන්නා පිටි සිල්ලර වෙළෙඳුන් ලාභයක් තබාගෙන පාරිභෝගිකයාට අලෙවි කරනවා. ඉතින් මේ අය ඇල්ලීමෙන් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. අධිකාරිය කටයුතු කළ යුත්තේ අනවසරයෙන් මිල ඉහළ නැංවූ ප්‍රධාන සමාගම්වලට එරෙහිවයි. එහෙම නොකර සිල්ලර වෙළෙඳුන් අච්චර, මෙච්චර ඇල්ලුවා යැයි පාරම්බෑමෙන් වැඩක් වෙන්නේ නැහැ.

මේ තත්ත්වය දිගටම තිබුණොත් රටේ පිටි හිඟයක් ඇතිවෙයි. එයට හේතුව සිල්ලර වෙළෙන්ඳන් පිටි අලෙවි කිරීම ප්‍රතික්ෂේප කිරීමයි. අනිත් අතට තිරිඟු පිටි කියන්නේ එච්චර ලොකු ලාභයක් තබාගෙන අලෙවි කරන භාණ්ඩයක් නොවෙයි. ඒ නිසා පිටි අලෙවි නොකිරීමෙන් වෙළෙඳුන්ට එතරම් අලාභයක් වෙන්නේ නැහැ.

අද රටේ ජනතාවගෙන් 80% ක් පමණ තිරිඟු පිටි ආහාරයට ගන්නවා. ඔවුන් කන හැම කෙටි කෑමකම තිරිඟු පිටි අඩංගුයි. විශේෂයෙන් වතුකරයේ ජනතාවගේ ප්‍රධාන ආහාරය බවට පත්වෙලා තියෙන්නේ තිරිඟු පිටියි. ඒ නිසා තිරිඟු පිටි මිල ඉහළ යාම ඔවුන්ගේ ජීවිතවලට අහිතකර ලෙස බලපානවා.”

මේ පිළිබඳව විමසූ විට පාරිභෝගික සේවා අධිකාරියේ උසස් නිලධාරියකු (ඔහු නම සඳහන් නොකරන ලෙස ඉල්ලීමක් කළේය.) පැවසුවේ, මෙම ප්‍රශ්නයේ දී තමන්ට ව්‍යාපාරිකයන්ගේ ද සහාය අවශ්‍ය බවය. ව්‍යාපාරිකයන් ආනයනකරුවන්ගේ පාර්ශ්වය ගෙන ස්වකීය ලාභය ගැන පමණක් සිතා කටයුතු කරන්නේ නම් මෙම ගැටලුවට විසඳුමක් දීමට නොහැකි බව ඔහු කියයි.

“අද පවතින තත්ත්වය නැති කිරීමට නම් වැටලීම්වලින් පමණක් සෑහීමකට පත් වන්නට බැහැ. හැමදාම හැම කෙනෙක්ම වටලලා, නඩු දැමිල්ල ප්‍රායෝගිකව දුෂ්කරයි. ඇතැම් වෙලාවට සිල්ලර වෙළෙඳුන් තොග වෙළෙඳුන් දෙන බිල්පත ඉදිරිපත් කරලා වරදෙන් ගැලවෙන්න උත්සාහ කරනවා විය හැකියි. එහෙත් පාලන මිල සහිත භාණ්ඩයක් වැඩි මිලට ගැනීම ද වරදක් බව ඔවුන් අවබෝධ කරගත යුතුයි. නඩු දැමීමේදී දෙපාර්ශ්වයකට නඩු වැටෙනවා. අදාළ සමාගම්වලට ද නඩු දමනවා. විකුණන සිල්ලර වෙළෙඳුන්ට ද එරෙහිව නඩු දමනවා. යම් විදියකින් සිල්ලර කඩයට තිරිඟු පිටි ආවේ කොහොමද කියලා අනාවරණය කර ගන්නට අපොහොසත් වුණොත් එවැනි අවස්ථාවල නඩු වැටෙන්නේ සිල්ලර වෙළෙඳුන්ට පමණයි. කොහොම වුණත් හැමදාම වැටලීම් කරලා වෙළෙන්ඳන් උසාවි දමලා දඩ ගහනවා වෙනුවට මෙතැන දී අවබෝධයෙන් කටයුතු කළ යුතු වෙනවා.”

ඔහු වැඩිදුරටත් පැවසුවේ 10දා පැවැති ජීවන වියදම් කමිටුවේදී ආනයන සමාගම් මේ වැඩි කළ මිල මුලින් තිබූ මිලට අඩු කරන්නට එකඟ වූ බවයි. මෙයට පෙර ද ජූලි මාසයේ රුපියල් 8කින් මිල වැඩි කළ විට ජීවන වියදම් කමිටුව ගත් තීරණය පරිදි වැඩි කළ මිල යළි අඩු කිරීමට සමාගම් තීරණය කර තිබේ. එපරිදිම මෙවර ද එම සමාගමේ සුබවාදී ප්‍රතිචාරයක් දැක්විය යුතු බව ඔහු කීය. කෙසේ වුවද වර්තමාන තත්ත්වය පිළිබඳ නිරීක්ෂණය කර රුපියල් අගය අඩුවීම වැනි කරුණු ගැන ද සලකා බලා තිරිඟු පිටි මිල තවමත් මුල් තත්ත්වයේ තිබිය යුතුද යන්න තීරණය කිරීම වඩා සුදුසුය යන්න ඔහුගේ අදහස විය. සමාගම් ද තම ලාභයේ යම් ප්‍රමාණයක් පාරිභෝගිකයාට සහන සැලසීම සඳහා යොදා ගැනීමට නම්‍යශීලී විය යුතු කාලය එළැඹ ඇතැයි ද ඔහු පැවසීය.

යසවර්ධන රුද්රිගූ