2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

කතා කලාවේ “අමරදාස”ලා

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:31 236

දැන් එළඹී ඇත්තේ සාහිත්‍ය මාසයයි. සාහිත්‍ය යනු කුමක්ද යන්නට විවිධ භාෂාවලින් සුවහසක් විවරණ ලියා ඇත. සාහිත්‍ය යන්නට කෙටි නිර්වචනයක් තිබේ දැයි මම අන්තර්ජාලයේ ගූගල් මල්ලිගෙන් විමසා බැලුවෙමි. “ලියා තබන ලද කාර්යය සාහිත්‍යය.” එහි මුලින්ම කියා තිබේ. කලා කුසලතාව ප්‍රකට කෙරෙන නොනැසී පවතින ලිඛිත කෘති විශේෂයෙන් මේ ගණයට අයත් බව එහි කියන්නේ ඉන් අනතුරුවයි. මුවින් මුවට කියා පරම්පරා ගාණක් තිස්සේ ලොවට කියූ කතන්දරයක් පවා මේ අනුව සාහිත්‍ය ගණයට අයත් වන්නේ නැත. සාහිත්‍ය කෘතියක් වනුයේ එය ලියා තැබුවොත් පමණකි. ජීවිතයේ කටුක බවත් සොඳුරු බවත් අත්විඳි පුද්ගලයන් කියූ කතා මැක්සිම් ගෝර්කි අතින් කිහිපවිටකදීම ලෝකයේ ශ්‍රේෂ්ඨ කෙටිකතා බවට පත්ව තිබේ. ගෝර්කි ඉතාලියේදී ලියූ කෙටි කතා අතරට වැටෙන, (මසුන් මරන්නන්ගේ නියමය) නම් කතාව කියන්නේ ධීවරයෙකි. (මංගල්‍ය) නම් ගෝර්කිගේ කෙටි කතාව කියන්නේ හදිසියේ දුම්රියකට ගොඩවදින මහල්ලෙකි. (කාර්ලෝනි ගුලියාර්දි) නම් ගෝර්කිගේ කතාව කියන්නේ ද ජීවිත අත්දැකීම් විඳි මහළු ගැමියෙකි. ඒවා සාහිත්‍ය කෘති බවට පත්ව ඇත්තේ ගෝර්කි ඒවා ලියා තැබූ පසුවයි.

දක්ෂ කතාකරුවන්ගේ කතා කීදහසක් ලියා නොතැබීම නිසා මානවයාගෙන් සැඟවී යන්නට ඇත්තේදැයි මට සිතේ. කතා කියන්නට දක්ෂ බොහෝ අය මට ජීවිතයේදී බොහෝ වර මුණගැසී තිබේ. අපේ ප්‍රවීණ සිනමාවේදී, නාට්‍යවේදී ධර්මසිරි බණ්ඩාරනායක ඉන් එක් අයෙකි. දුරබැහැර නාට්‍ය දර්ශනවලට ගොස් දිවා ආහාරයට පෙර ලැබෙන විවේකයේදී ඔහු කී කතා ගෝර්කි වැන්නකුට අසුවුවහොත්, නැතිනම් ඔහුම ඒවා ලියා තැබුවහොත් ඒවාද හංස විලක්, තැන්වැනි යාමේ සිනමාකෘති හා සමාන මට්ටමේ අගයෙන් යුතු සම්භාව්‍ය කෙටිකතා වනු ඇත. ඔහුගේ පියාගේ රොලැක්ස් ඔරලෝසුවේ කතාව එවැන්නකි. සාස්තර ඇසූ චිත්‍රාගාර සේවකයාගේ බිරිඳගේ කතාව ද ඒ හා සමාන අගයකින් යුතුය. ඒවා ගැන උනන්දු වන අයෙක් වෙතොත් ධර්මසිරි අයියාවම (අප ඔහු ආදරයෙන් අමතන්නේ එසේය) උනන්දු කොට ඒ කතා අසා ගැනීම වටනේය. වසන්ත විට්ටච්චි ද කෙටි යාං හෑලි රසකොට කීමේ අති දක්ෂයෙකි. ක්ෂණිකව මුවට එන රසවත් වදන් කීමට ඔහු ඊට වඩා දක්ෂයෙකි. දැනට අවුරුදු දෙක තුනකට කළින් ඔහු කී එවැනි වදනක් නාට්‍ය ශිල්පීන් අතර ප්‍රචලිතය. ඒ කතාව කෙටියෙන් මෙසේය. තවත් මිතුරකු හා වසන්ත ගමනක් යන අතරතුර දෙදෙනාට දශක දෙකකට පමණ පෙර ඉතා ජනප්‍රියව සිටි ප්‍රවීණ රංග ශිල්පිනී ෆරීනා ලායි මුණගැසී තිබේ. ඇයගේ ශරීර ස්වරූපය දැන් ඉතා වෙනස්ය. තිදෙනා මුණගැසී කතා කරන අතර වසන්තගේ මිතුරා ෆරීනා ලායිට එසේ කියා ඇත. “ඔයා ඉස්සර ස්ලිම්. දැන් මුස්ලිම්” ක්ෂණික වදන් බිනීමේ දක්ෂයකු වූ වසන්ත එවිට පවසා ඇත. ෆරීනා ලායි ඇත්තෙන්ම ඉස්ලාම් ආගම අදහන තැනැත්තියකි. ආගමෙන් පැනවෙන තහංචි නොතකා ඇය සාර්ථක රංගන දිවියක නිරතව උන්නාය.

දැනට රූපවාහිනියේ ප්‍රචාරය වන (සුදු ඇඳගෙන කළු ඇවිදින්) ටෙලි නාට්‍යයේ අවසන් කතාංග කිහිපය බලද්දි අතිදක්ෂ ලෙස කතා කියන්නකුගේ කතා කිහිපයක් මගේ මතකයට ආයේය. අවුරුදු 15කින් පමණ ටෙලි නාටකයක් බලන්නට උනන්දු නොවූ මා සුනිල් කොස්තා නිර්මාණය කළ එම නාට්‍යයේ චරිතයන්ගේ හැසිරීම හා සිදුවීම් දෙස මගේ ජංගම දුරකථනයෙන් කතාංග 97ක් පුරා නැරඹීමි. එම ටෙලි නාට්‍යයේ සාර්ථකත්වය ගැන වෙනම කතා කළ යුතුය. ගැමි ගතිය තුරන්ව ගොස් ඇති කොළඹ තදාසන්න ප්‍රදේශයක තවමත් වාසය කරන ගැමියකුගේ කතාවක් එම ටෙලිනාට්‍ය බලද්දි මගේ මතකයට එන්නේ වෙනත් හේතුවක් නිසාය. එම හේතුව පසුව හෙළිකරන නියායෙන් එකී කොළඹ තදාසන්නයේ ගැමියාගේ කතාව මම පළමුව කියන්නෙමි.

මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් සිය විචාර ග්‍රන්ථවල සම්ප්‍රදායික සිංහල ගැමියා ගැන නොයෙක් විස්තර කියා තිබේ. ඔහු පවසන ආකාරයට සම්ප්‍රදායික සිංහල ගැමියා උදේ හවා පන්සිල් ගන්නා බොදු බැතියෙන් හිත පුරවාගෙන ඉන්නා අයකු නොවේ. තලගොයි පස්සේ එළවාගෙන ගොස් ඔවුන් පොළොවේ ගසා මරා කන්නට ද වරෙක සිංහල ගැමියා මැලි නොවූ බව හෙතෙම සඳහන් කර ඇත. මේ කතාවට මූලික වූ තැනැත්තා ද වඳ වී ගිය එවැනි ගැමියන්ගේ අවසන් පුරුකක් කියා මට සිතේ. ඔහු තවමත් ජීවත්ව ඉන්නා බැවින් ඔහුගේ සැබෑ නම වෙනුවට වෙනත් නාමයක් මම යොදාගන්නෙමි. ගම්වල නම් ද වෙනස් කර යොදමි. උත්තම පුරුෂ දෘෂ්ඨිකෝණයෙන් යුතු කතාවේ මම යනු මා නොව කතාව කී තැනැත්තාය. කතාවේ එන අමරදාසට නම මා යෙදුවේ අලකලංචි බොහෝවකින් පසු නොමැරී ඉන්නට ඔහු වාසනාව ලබා ඇති නිසාය.

“ඔන්න දවසක් අමරදාස දවල් එකොළහට විතර ඇවිල්ලා අපේ අම්මගෙන් බත් ඉල්ලුවා.”

“නෝනා බත් ටිකක් ඕනා”

“පොඩ්ඩක් ඉන්න අමරදාස තවම බත ලිපේ“ අපේ අම්මා කිව්වා.

“එහෙම බෑ දැන් ඕනා”

“පොඩ්ඩක් ඉවසලා ඉන්න. තව ටිකකින් බෙදලා දෙන්නම්”

“ශ්‍රී ලංකා දේශ්! උඹද මමද ලොක්කා!” අමරදාස එහෙම කියන්නේ තරහා ගියාමයි. එහෙම කියලා උන්දැ ළඟ තිබුණු පොල් කොටේකට පයින් ගැහුවා. අමරදාස එතන ඇදගෙන වැටුණා. කකුල පුරාම පොල් කීරි. උන්දැගෙ කකුලෙ පොල් කීරි ඇදලා අයින් කරන්න වුණේ මටයි.

අමරදාස කාටත් උදව් පදව් කරගෙන ගමේ හිටියේ. පොඩි අලකලංචියකින් පස්සෙ මිනිහගේ කල්පනාව පොඩ්ඩක් අවුල් වුණා. මම ඕලෙවල් පාඩම් කරන කාලේ රූක අපේ ගේ එහා පැත්තේ දඩි බිඩි දඩි බිඩි ගාලා කවුදෝ දුවන සද්දයක් ඇහුණා. මම ටිකක් බය වුණා.

“ඔය අර කාලකන්නියා. ඉත්තෑවෝ පස්සෙ දුවනවා” අපේ තාත්තා එහෙම කිව්වේ.

අමරදාසගේ නරුම වැඩ අපේ තාත්තා ගණන්ගත්තෙ නෑ. “ඕකගෙ හැටිනෙ ඔය” අපේ තාත්තා අමරදාසගේ වැඩ ඉවසාපු විහිදට ගමේ හැමෝම අමරදාසගෙ වැඩ ඉවසුවා.

ඉත්තෑවෝ, කළවැද්දෝ විතරක් නෙවෙයි අමරදාස දියබරි වුණත් උයාගෙන කෑවා. පහේ ජාති එහෙම යහමින් දාලා එව්වා උයනකොට ගම පුරාම සුවඳ. අමරදාස දියබරි අල්ලලා හම ගහලා වැටේ එල්ලලා වේලුවා. අව්ව තියෙන කාලෙට උන්දැගෙ වැටේ රෙදි පටි වගේ දියබරි කරෝල වේළුණා. බයිට් හිඟ කාලෙට බොම්බිලි කරෝල වාගේ එව්වා තමා කෑවේ. වත්තෙ පිටියෙ වැඩ අඩු වුණාම හොරෙන් හොරෙන් කසිප්පු වෙළඳාමටත් අමරදාස හවුල් වුණා.

ඔහොම ඉඳිද්දි කැබිලිතිගොල්ලෑව පැත්තේ පිඹුරො ඉන්න කතා වගයක් පත්තරවල පළවෙන්න ගත්තා. පිඹුරු මස් කෑල්ලක රහ බලන්න ආසාව අමරදාසගෙ හිතට ආවේ අන්න එතකොටයි.

“මල්ලි යමුද කැබිලිතිගොල්ලෑව පැත්තේ” ගමේ හිටිය කොල්ලො දෙතුන්දෙනෙකුගෙනුත් අමරදාස අහලා තිබුණා. කවුරැත් කැමති වෙලා නෑ.

එක දවසක් පාන්දරින්ම නැගිටලා මිනිහා කැබිලිතිගොල්ලෑවෙ ගියා. දවසක් දෙකක් එහෙ නතර වෙලත් ඉන්න ඇති. මිනිහට අහුවෙලා තිබුණෙ පිඹුරු පැටවු දෙන්නෙක්. ඉතින් පිඹුරු පැටවු දෙන්නත් පෝර කවරෙක දාලා ඒකෙ කට ගැටගහගෙන අමරදාස කොළඹ බස් එකේ නැග්ගා. බස් එක තේ බොන්න නවත්තලා ඩ්‍රයිවර් මහත්තයා ආපහු සීට් එක ළඟට ආවම එක පාර කෑ ගැහුවා එතන පිඹුරු පැටියෙක් ඉන්නවා දැකලා. සර්පයෙක් සීට් එක යටට රිංගුවා කියලා එතන එක කාලගෝට්ටියයි. අමරදාස හිමීට පෝර මල්ල අතර අරන් බැලුවා. පෝර මල්ලෙ කට ලිහිලා එක පිඹුරු පැටියෙක් මල්ලෙන් බේරිලා ගිහිල්ලා. පෝර මල්ලෙ කට තදින් ගැටගහලා අමරදාස අනිත් පිඹුරු පැටියව බේරගෙන ගෙදර ගෙනාවා.

අමරදාස ගෙදර ඇවිල්ලා පොඩි කූඩුවක් හදලා පිඹුරු පැටියව ඒකට දැම්මා. ටිකක් ලොකු වෙනකල් ඌව හදන්න තමා අමරදාස හිතාගත්තේ.

දැන් ඉතින් අමරදාස බොහොම උනන්දුවෙන් පිඹුරු පැටියව දවස ගාණේ කන්න දිදී හදනවා. ඌට නිතර බිත්තර එහෙමත් කන්න දෙනවා. ටික දවසක් යනකල් ඔහොම කන්න දිදී හැදුවත් අමරදාසගේ හිතට හරි නෑ.

“බලන්නකො මල්ලි මූ ලොකු වෙන්නෙ නෑනේ. මූට කුකුල් මසුත් කන්න දෙනවා මම”

කුකුල් මස් කීවාට අමරදාස පිඹූරු පැටියට කන්න දුන්නෙ කුකුල් මස් කඩයේ ඉවතලන සුන්බුන්.

දවසක් හැන්දෑවෙ මඳ පවනෙ සැලෙන ගානට අමරදාස බීලා හිටපු වෙලාවක අමරදාස අර කූඩුවෙ හිටපු සතාව එළියට අරගෙන ඌ හම ගහලා සුද්ද කරලා පිහලා අරගෙන උගේ රහ බැලුවා. උගෙ හම පස්සෙ ගන්න හිතාගෙන කොහේදෝ වැළලුවා.

දවසක් දෙකක් ගත වෙනකොට අමරදාස ලේ වමනෙ දාන්න ගත්තා. උන්දැ නතර වුණේ ඉස්පිරිතාලේ දැඩිසත්කාර ඒකකයේ. අමරදාසගේ විස්තර අහපු දොස්තර මහත්තයා කාපු සතාගේ හම ගේන්න කිව්වා. සතාගේ හම හොයලා ගෙනත් පෙන්නුවේ කරෝලිස්. ඒකා පිඹුරු පැටියෙක් කියලා ඇති කරලා කාලා තියෙන්නේ පොළොන් තඩියෙක්. දොස්තරවරුන්ට පිං සිද්ධ වෙන්න අමරදාසගේ ජීවිතේ බේරුණා. මිනිහගේ කල්පනාව නැති වෙන්න ගත්තෙ ඊටපස්සෙ තමයි.”

සුදු ඇඳගෙන කළු ඇවිත් ටෙලි නාට්‍ය නරඹන විට මට මේ කතාව මතක් වන්නේ එය අපිට කීවේ එහි දොස්තර මහතාගේ චරිතයට පණදෙන සමිත නිසාය. සමිත සුමීෂ්වර වෘත්තියෙන් නීතීඥවරයෙකි. අසංක සායක්කර නිර්මාණය කළ “මම කෙළින් මිනිහෙක්” නාට්‍යයේ ඇමැතිවරයාගේ චරිතය ද රඟපෑවේ ඔහුය. ලිංගික උත්තේජන පෙති වැඩි මාත්‍රා ගණනක් වැරදියට පෙවීම නිසා අමාරුවේ වැටුණු ඇමැතිවරයාගේ චරිතය ඔහු (මම කෙළින් මිනිහෙක්) නාට්‍යයේ අපූරුවට නිරූපණය කළේය.

මෑතකදී කැලණිය විශ්ව විද්‍යාලයේ නාට්‍ය අංශයෙන් බිහිවුණු අනුරාධ සුබසිංහගේ (ඉන්ද්‍රජාලික පෙම්වතිය) නාට්‍යයේ පුහුණුවීම්වලදී අපට සමිතව නිතර මුණගැසුණේය. ඉඳහිට හමුවන විවේකයේදී ඔහුගේ කතාවලට අපි සවන් දුන්නෙමු. ඔහුගේ කතා සාහිත්‍යයට එක්විය යුතු යැයි මම ඔහුට නිතර යෝජනා කළෙමි.

 සමන් පුෂ්ප ලියනගේ