2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

ජනාධිපතිවරණයේදී බොදුබල සේනාව කරන්න යන දේ

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 59

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉතා ඉක්මනින් දින වකවානු තීරණය වනු ඇතැයි පෙනෙන්නට තිබේ. ව්‍යවස්ථාපිත සාධකවලට අනුව නොවැම්බර් 10 හා දෙසැම්බර් 9 අතර කාලය තුළ ඊළඟ ජනාධිපතිවරණයට පැවැත්විය යුතුය. කොමිසමේ ප්‍රකාශවලට අනුව පෙනී යන්නේ ජනාධිපතිවරණ තරගය සඳහා විස්සකට ආසන්න අපේක්ෂක පිරිසක් ඉදිරිපත් වන බවය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට අනුව ලියාපදිංචි පක්ෂ දහසයක් සහ එක් ස්වාධීන අපේක්ෂකයෙක් ද ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකත්වය ඉල්ලා සිටිති. ඇතැම් විට මෙම අපේක්ෂක ප්‍රමාණය තවදුරටත් ඉහළ යෑමට ද හැකිය. කෙසේ වුවත් ජනතා පෙළගැස්මට අනුව තරගය ඇත්තේ දේශපාලන පක්ෂ දෙකක් හෝ තුනක් අතරය.

ජනාධිපතිවරණය සඳහා වන උණුසුම කෙමෙන් ඉහළ යන බවද දැකගන්නට ලැබේ. රට පුරා ප්‍රචාරක තරගය ව්‍යාප්ත වී ඇති අතර එකී පක්ෂවල රැස්වීම් දිනපතා පැවැත්වෙයි. එහෙත් රටේ ප්‍රධානම දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය තවමත් සිය ජනාධිපති අපේක්ෂකයා නම්කර නොමැත. ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මෙරට ක්‍රියාත්මක සිවිල් සංවිධාන බොහොමයක් මේ වන විටත් තමන්ගේ මතය සහ තමන් සහාය දක්වන අපේක්ෂකයන් පිළිබඳව ද හෙළි කරමින් සිටී.

පසුගිය 2015 ජනපතිවරණයේ දී සිවිල් සංවිධානවල බලපෑම ජනපතිවරණ ප්‍රතිඵලය කනපිට හැරවීමට සමත් වූ බව බොහෝ දෙනකුගේ මතය වී තිබේ. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය රටේ අනාගතය සම්බන්ධයෙන් හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරනු ඇතැයි සමහරු කියති.

රටේ ක්‍රියාත්මක වන සිවිල් සංවිධාන අතුරින් බොදුබල සේනා සංවිධානයට ප්‍රමුඛ ස්ථානයක් හිමිවී ඇත. රටට එරෙහි වන සියලු වැඩපිළිවෙළ තුළදී එම සංවිධානය ජාතිකත්වය පදනම් කර ගනිමින් දැඩි මතධාරී ලෙස අදහස් දැක්වීම හේතුවෙන් සිවිල් සංවිධාන අතර වෙනම අනන්‍යතාවක් ඔවුන් ගොඩනගාගෙන ඇත.

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් බොහෝ සිවිල් සංවිධාන මේ වන විටත් සිය වැඩ කටයුතු ආරම්භ කර තිබේ. එළඹෙන ජනාධිපතිවරණයේ දී සිය සහාය ලබා දෙන්නේ කා හටද යන්න බොදුබල සේනා සංවිධානය විසින් එළඹෙන 14 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ජාතිය වෙනුවෙන් පෙනී සිටින ශක්තිමත් නායකත්වයක් සඳහා ඉදිරි ජනාධිපතිවරණයේ දී බොදුබල සේනා සංවිධානයේ සහයෝගය ලැබෙන අතර ඒ සඳහා ඔවුන් විසින් යෝජනාවලියක් ද ඉදිරිපත් කොට ඇත.

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් බොදුබල සේනා සංවිධානය තම සහාය ලබාදෙන අපේක්ෂකයා පිළිබඳ පසුගිය දිනක අපි එම සංවිධානයෙන් විමසුවෙමු. එම සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ එහිදී මෙලෙසින් සිය අදහස් දැක්වූහ.

විශේෂයෙන්ම ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් අපි යෝජනාවලියක් මෙන්ම එහි වැඩපිළිවෙළ ලබන 14 වැනිදා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. සිංහල ජාතිය දුර්වල කරවන කිසිම දෙයක් අපි කරන්නේ නැහැ. ඒ වගේම මේ හැම නායකයකුම අපිට විශ්වාස කරන්නත් බැහැ. යම් ප්‍රතිපත්තිමය වෙනසක් එක්ක තමයි එදාට අපි අපගේ සහාය ලබා දෙන්නේ කා හටදැයි ප්‍රකාශ කරන්නේ. සමහර උදවියට මුළු ජීවිතයම වෙලා තියෙන්නෙ දේශපාලනය. නමුත් එවැනි අයට සිහින මාලිගා ගොඩනගන්න දෙන්න බැහැ. මේ වන විට රටේ ජාතික ආරක්ෂාව ඉතා දුර්වල මට්ටමක පවතිනවා. ඒ තත්ත්වය වහාම වෙනස් කළ යුතුයි. ඒ වගේම එදිනට අපි මත විමසුමක් කරන්න බලාපොරොත්තු වෙනවා. එදිනම ඒ මත විමසුම ප්‍රකාශයට පත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉදිරියේ දී මේ මැතිවරණය සඳහා අපි සහයෝගය පක්ෂවලට කටවුට් ගහන්න බලාපොරොත්තුවක් නැහැ. ඒ වගේම අනෙක් අය වගේ හොරෙන් හොරෙන් ගිහින් වරදාන වරප්‍රසාද භාවිත කරමින් අපගේ සහයෝගය ලබාදෙන බවට කිසිවකුට පොරොන්දු වෙලත් නැහැ. එහෙම කරන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. රට වෙනුවෙන් පෙනී සිටින නායකයකු හට තමයි අපගේ සහාය ලබාදීමට අපි බලාපොරොත්තු වෙන්නේ.

කෙසේ වෙතත් බොදුබල සේනා සංවිධානයේ ජනාධිපතිවරණ සහාය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයාට ලබාදෙනු ඇති බවට ජාතික දේශපාලනයේ පැතිරී යන ආරංචිය පිළිබඳව අප එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨයකුගෙන් විමසූ කල ඔහු කියා සිටියේ මේ සියල්ලෙහිම සත්‍ය අසත්‍යතාවය දැනගැනීමට එළඹෙන 14 වැනිදාට හැකිවනු ඇති බවයි.

මෙවර ජනාධිපතිවරණය දැනටමත් ඉතා උණුසුම් මුහුණුවරක් ගනිමින් තිබේ. එමෙන්ම මෙවර ජනාධිපතිවරණය සඳහා 2018 මැතිවරණ - ඡන්දහිමි නාමලේඛනය භාවිත කරන බවද 2019 ඡන්දහිමි නාමලේඛනය ඉදිරි මහ මැතිවරණය සඳහා භාවිත වන බවද ප්‍රකාශයට පත්වී ඇත. 2018 ඡන්දහිමි නාමලේඛනය භාවිත කළද අලුතින් ඡන්ද හිමියන් ලක්ෂ දෙකක් පමණ ජනාධිපතිවරණයට ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබන බවද මැතිවරණ කොමිසම පෙන්වා දෙයි. කෙසේ වෙතත් එලෙස අලුතින් එකතු වන ඡන්ද ලක්ෂ දෙක ද මෙවර ජනපතිවරණයේ තීරණාත්මක සාධකයක් වීමට ඉඩ තිබේ.

 සටහන -: හසිත් අංජන

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00