2017 මාර්තු 11 වන සෙනසුරාදා

ප්‍රභාකරන් කීවා අහවලා.. මරන්න කියලා...!

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1411

මහත්තයා මාව හමුවෙන්න ඇවිත් කිව්වා ඒ එකළොස් දෙනාව ඉවර කරන්න ඕන කියලා. 

කරුණා ඇතුළු පිරිස ඉන්දියාවට බෝට්ටු මගින් රැගෙන ගොස් ඉතා දුෂ්කර හමුදා පුහුණුව ලබාදුන් කතාව පසුගිය සතියේ කියවුණි. පාසල් නිල ඇඳුමින් නිවසින් පලා ගිය විනයාගමූර්ති මූරලිදරන් එසේ පලාගියේ තමන්ගේ උසස් පෙළ විභාගය අවසන් කළ කාලයේය. අනතුරුව ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්හි හා සෝනම් හි දැඩි පුහුණුවකින් මානසිකව හා කායිකව හේ ශක්තිමත් විය. කරුණා තවත් කොටි සාමාජිකයෙක් පමණක් නොව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හෙට දවස තීරණය කරන්නෙකු බවට තීන්දුවන සිදුවීම සිදුවූයේ ඉන් අනතුරුවය. ඒ එදා කොටි සංවිධානයේ නායකයා වූ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මුණගැසීමයි.

“එදා ප්‍රභාකරන් ඇවිල්ලා තෝරාගත්තා විශේෂ පිරිසක් සංවිධානයේ බුද්ධි අංශයට. ඒ අනුව මමත් එක්ක 12ක් දෙනා ඒකට තේරුණා. එතනින් තමයි හැමදේම වෙනස් වෙන්න පටන් ගත්තේ. එදා තෝරාගත් සංවිධානයේ බුද්ධි අංශයේ පළමු පිරිසේ පස්සේ කාලෙක කොටි බුද්ධි අංශ නායකයා වුණ පොට්ටු අම්මාන් හිටියේ නෑ. එදා මගෙත් එක්ක හිටිය මුල්ම කොටි බුද්ධි බලකායේ අප්පිල රාජන් කියන දෙන්නා නම් තවමත් ඉන්නවා. රෙමිණ්ඩන්, දයාලන් යන අය මැරිලා. තෝරාගත්ත කට්ටියව චෙන්නායිවලට අරගෙන ආවා. අඩයාර් විලේජ් එකෙන් ගෙයක් අරන් දීලා අපිව එහේ නතර කරලා රෝ එකේ කට්ටිය දාලා අපිව පුහුණු කළා. අපිව අඩයාර් විලේජ් එකෙන් නවත්තා ගත්තේ. ප්‍රභාකරන්ගේ ගෙදර තිබුණේ ඒ ළඟ. එතකොට මදිවදිනි අක්කා විතරයි ගෙදර හිටියේ. දරුවෝ නෑ. ප්‍රභාකරන් එක්ක මදිවදිනි හිටිය ගෙදර ළඟම අපි 12 දෙනාවත් තියාගත්තේ එයාගේ ආරක්ෂාවටත් එක්ක. අපි ඇරුණාම ප්‍රභාකරන්ට තව බොඩි ගාඩ්ලා 30ක් විතර හිටියා. මේ හැමෝටම තුවක්කු දීලා තිබුණේ. 1983 ඉඳලා අවුරුදු එක හමාරක් විතර මම ඉන්දියාවට වෙලා හිටියා. ඉඳලා මම ලංකාවට ආවා.”

ප්‍රභාගෙ බොඩිගාඩ් වෙලා ඉද්දි මඩකලපු නායකයා වුණා

මෙරට කොටි ත්‍රස්තවාදයේ තීරණාත්මක පුද්ගල චරිතයක් වූ කරුණා තම සංවිධානය තුළ පවා තීරණාත්මක චරිතයක් වූයේ ඉතාම දරුණු අපූර්වත්වයකිනි.

“මම ලංකාවට එන්න වුණෙත් මාර වැඩක් නිසා. ඒ කාලේ කොටි සංවිධානයේ මඩකලපු නායකයා වුණේ කුමරප්පා කියලා කෙනෙක්. එයා දවසක් හදිස්සියේම රිය අනතුරකට ලක්වුණා. මනුස්සයාට හොඳටම අමාරු වුණා. අපි හැමෝම හිතුවේ මැරේවි කියලා. රෝහල් පහසුකම් වුණත් ලොකුවට නෑනේ. ප්‍රභාකරනුත් හිතුවා මිනිහා මළා කියලා. නායකයා මැරුණොත් හරි එයා අයින් කළොත් හරි ඉක්මනට එතෙන්ට වෙන කෙනෙක් දාන්න ඕන. සංවිධානෙට අලුත් කට්ටිය ගන්න කාලය නිසා කොල්ලොන්ගේ හිත හයිය කරන්න ඕන.”

මේ කතා බහ තුළ කරුණාට පසුවද තවත් පිරිස් කොපමණ ප්‍රමාණයක් ඉන්දියාවේ පුහුණු කළේද යන්න දැනගත යුතුය. කරුණාට පසුව ඉන්දීය හමුදාව යටතේ තවත් විශාල පිරිසක් ඉන්දියාවේ පුහුණුව ලැබුවද?

“ආ... නෑ... නෑ... අපෙන් පස්සේ ඉන්දියන් හමුදාව ඒක කළේ නෑ. අපි තමයි ඊට පස්සේ ඉඳලා පුහුණු කළේ. අපේ මුල්ම 300ක කණ්ඩායමෙන් කට්ටියක් තෝරාගත්තා ඉන් පස්සේ එන අයව පුහුණු කරන්න. ඒ නිසා ඉන් පස්සේ ආපු අයට අපිම තමයි පුරුදු කළේ.”

“දැන් මොකද වුණේ කුමරප්පාට?” 

“කුමරප්පා මැරිලා කියලා වැරදිලා තමයි මාව මුලින්ම මඩකලපුව නායකයා කරන්න කියලා ප්‍රභාකරන් සංවිධානයට නියෝග කළේ. මම ඒ වෙද්දී එයාගේ ළඟ හිටියා එයාගේ බොඩි ගාඩ් වෙලා. ඒ අස්සේ එක පාරට මට කිව්වා කරුණා ඔයා ගිහින් මඩකලපුව බලාගන්න. සංවිධානෙට අලුත් කට්ටිය බඳවගන්න. එයාලව හොඳට පුහුණු කරන්න කියලා. මමත් ලංකාවට ඇවිත් කුමරප්පාට තිබුණ නායකකම අරගත්තා. 1985 දෙසැම්බර් මාසේ දවසක තමයි මම එහේ ගියේ. මඩකලපුවේ කළුවන්කර්නි තොටුපොළෙන් බැහැලා වන්දරමුල්ලට ගිහින් නායකයාගේ වගකීම් අරගත්තා. මම යද්දී එතන තව 60ක් විතර කට්ටිය හිටියා. මම එයාලට විස්තරේ කියලා වැඩ බාරගත්තා. එතකොට එහේ දේශපාලන නායකයා වුණේ කාන්දන් කියලා කෙනෙක්. එයා තාමත් ජීවත් වෙනවා. යුද නායකයා වුණේ රේගන් කියලා කෙනෙක්. එයා නම් දැන් මැරිලා. මම මේ දෙන්නාගෙම නායකයා.

මේ සිදුවීමේ වඩාත් කතාබහට ලක්වන සිදුවීම සිදුවූයේ ඉන්පසුවය. එනම් කුමරප්පා හෙවත් මඩකලපු හිටපු නායකයා රිය අනතුරින් මිය නොගොස් තවදුරටත් ජීවතුන් අතර සිටින තත්ත්වයකදීය. ඔහු මිය ගොස් ජීවත් වීමට වරම් සොබාදහමින් ලබන අතර ඊට වරම් නොදෙන්නේ ඔහුම සේවය කළ තම නායකයා වූ ප්‍රභාකරන්ය.

අපි කෑම එකට සයනයිඩ් දාලා දුන්නා

“ඒක මාර වැඩක්. අපිටත් කරන්න දෙයක් තිබුණේ නෑ. කුමරප්පා හරිම කැමතියි පොත් කියවන්න. ඒ නිසා එයාළඟ විශාල පොත් එකතුවක් තිබුණා. පස්සේ මෙයා සංවිධානයට ආවාට පස්සේ මෙයාම යුද උපක්‍රම ගැන පොත් හොයාගෙන ඒවා එකතුවක් හැදුවා. සංවිධානේ පොත් පවා එතන තිබුණා. ඔය කියන කාලේ ඉන්දියානු හමුදාව ලංකාවට ඇවිල්ලා තිබුණේ. මම මේ කියන්නේ පස්සේ කාලෙක වුණ එකක්. කුමරප්පාට මොකද වුණේ ඇහුව නිසා. ඉන්දියානු හමුදාව ඇවිල්ලා ලංකා රජයයි කොටි සංවිධානයයි අතර සාම ගිවිසුමක් ගහලා හිටියේ. ඔය අතරේ දවසක් කුමරප්පා එයාගේ පොත් ටිකත් බෝට්ටුවකට පටවාගෙන මූදෙන් ඉන්දියාවට යන්න ගියා. එයාට ලංකාවේ ආරක්ෂාව මදි කියලා වෙන්න ඇති. මේ යන එක කොහොම හරි හමුදාවේ අය දැනගෙන කුමරප්පායිල බෝට්ටුවේ හිටිය තව 10 දෙනෙකුයි අල්ලාගන්නවා. හැබැයි මේ සාම ගිවිසුම් කාලේ.”

අනතුරුව අදාළ පිරිස කොළඹට රැගෙන එන අතර මේ කියූ ඉන්දියානු හමුදා මැදිහත් වීමෙන් ඇති වූ සාම ගිවිසුම් සමය සිහියේ ඇත්තෙකුට අදාළ සාම ගිවිසුම දෙදරා යන්න හේතු වූ එක්තරා සිදුවීමක යට හරය නිතැතින්ම මතකයට පැමිණිය යුතුය.

“අත්අඩංගුවට ගත්ත මේ 11 දෙනා හමුදාව කොළඹ ගේනවා. ගෙනල්ලා ඒයාලා හිරේ දාලා තියනවා. හැබැයි අපිට ගිහින් කොළඹදි එයාලව බලන්න පුළුවන්. අපි කොළඹ ඇවිල්ලා එයාලව බලනවා කියලා දැනගත්තාම ප්‍රභාකරන් අපිට නියෝගයක් එවලා තිබුණා. ඒ තමයි මට කලින් මඩකලපු නායකයා වුණ කුමරප්පාව මරන්න ඕන කියලා. අපි කිව්වා දැන් සාම ගිවිසුම කාලේ, අනික හමුදාව යටතේ ඉන්න අය. ඒ නිසා ඒක අමාරුයි කියලා. ඒත් අන්තිමට දවසක් මහත්තයා මාව හමුවෙන්න ඇවිත් කිව්වා ඒ එකළොස් දෙනාව ඉවර කරන්න ඕන කියලා. අපි තීරණය කළා එයාලට මොනවා හරි කරන්න. වෙඩි තියන්න, බෝම්බ ගහන්න බෑ. එකම විදිය සයිනයිඩ් දෙන එක, එයාලා අත් අඩංගුවට ගන්න වෙලාවේ එක්කෝ එයාලා ළඟ සයිනයිඩ් තිබිලා නෑ. නැත්තම් එයාලා අල්ලාගනිද්දී සයිනයිඩ් ටිකත් හමුදාව අරගෙන. මේ මොනවා හරි හේතුවකට කුමරප්පා ඇතුළු කට්ටිය ළඟ සයිනයිඩ් නෑ. අන්තිමට අපි කෑම පැකට් හදලා ඒවා ඇතුළට සයිනයිඩ් දාලා ඒක ගෙනිහින් දුන්නා කුමරප්පා කට්ටියට හෙට එළිවෙද්දි මේක කාපන් කියලා. මමයි මහත්තයයි තමයි ගියේ... පහුවෙනිදා එළි වෙද්දී හමුදා බාරයේ සිටි කොටි ත්‍රස්තයින් 11 දෙනෙක් හදිසියේම මිය ගිහිල්ලා. මේක සාම සාකච්ඡාවලට දරුණුවට බලපෑවා. කුමරප්පා මට කලින් හිටියා නායකයා. ඔහුව මරන්නත් වුණා ප්‍රභාකරන්ගේ දැඩි බලපෑමට.” 

ලබන සතියට
♦ විමුක්ති රත්නමලල