2017 මාර්තු 11 වන සෙනසුරාදා

පාසිකුඩා Special - රහට කන්න - මුහුදෙ නාන්න කියාපු තැනක් Amethyst Resort

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 333

පාසිකුඩා මුහුදු තීරය කියන්නේ හැටේ දශකයේදී පමණ සංචාරක ආකර්ෂණයට ලක්වුණු නමුත් දශක ගණනාවක් පුරාවටම නොඉඳුල් මුහුදු තීරයක් ලෙස පැවැති බොහොම සුන්දර වෙරළක්. මඩකලපුවේ ඉඳන් කිලෝමීටර 34ක් පමණ දුරින් පිහිටලා තියෙන පාසිකුඩා වෙරළ අඩ සඳ ආකාරයේ බොක්කක් වශයෙන් නිර්මාණය වෙලා තියෙන නිසාම නොගැඹුරු මුහුදක් තමයි දකින්න ලැබෙන්නෙ. එය පිහිනීම ඇතුළු මුහුද ආශ්‍රිත ක්‍රියාකාරකම් රැසකටම පාරාදීසයක් වෙන්නෙ ඒ නිසායි. 

Amethyst Resort හෝටලය කියන්නේ 2009 වසරේදී ආරම්භ වූ පාසිකුඩාහි පිහිටි සුන්දරම හෝටලයක්. කොහොම නමුත් හෝටලයේ සේවා කටයුතු ආරම්භ වුණේ 2012 වසරේ සිටයි.

පාසිකුඩා වෙරළේ හොඳම සහ දිගම වෙරළ ඉසව්ව තම හෝටලය අසල තිබෙන බව තමයි එහි කළමනාකාරීත්වය පවසන්නෙ. Amethyst Resort හි තවත් විශේෂත්වයක් වන්නේ ස්වභාවික දිය ධාරාවක් ගොඩබිම පවතින පාසිකුඩා වෙරළේ එකම හෝටලය එය වීමයි.

වෙරළ පරිසරයේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරන සරල වාස්තු විද්‍යා නිර්මාණ ශිල්ප භාවිතයත් කැපී පෙනෙන දෙයක්. විශේෂයෙන්ම වෙරළ කඩොලාන ආරක්ෂා වන ආකාරයට හෝටලය ඉදිකර තිබීම අගය කළ යුත්තක්. මේ හෝටලයේ කළමනාකාරීත්වය දරන්නේ ලංකාවේ ප්‍රමුඛ පෙළේ හෝටල් සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් වීමත් විශේෂත්වයක්.

මේ වෙරළ නිකේතනය සතුව සුඛෝපභෝගී කාමර 40ක් තිබෙනවා. ඒ මුහුද හොඳින් දර්ශනය වන ෂැලේ 14ක් හා දිය පහර දර්ශනය වන ෂැලේ 26ක් වශයෙනුයි.

‘Taprobane’ තමයි හෝටලයේ ප්‍රධාන අවන්හල. දිය ධාරාව දෙසට මුහුණලා පිහිටලා තියෙන මේ අවන්හලේ මුහුදු ආහාර රස බැලිය යුතුමයි. දේශීය වගේම ජාත්‍යන්තර කෑම වට්ටෝරු රැසක් අනුව එහිදී කෑමබීම පිළිගැන්වෙනවා. ‘The Barrel සහ the Hut නමින් බීම වර්ග හා කොක්ටේල් වර්ග පිළිගන්වන අවන්හල් වෙනම පිහිටා තිබෙනවා. 

♦  සනත් වීරසූරිය
සේයාරූ - නීල් සිරිවීර