2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

ලංකාවේ කාන්තාවන් බාගයක්ම මහතයි!

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 220

පසුගිය වසර දහනවයක කාලය තුළදී ශ්‍රී ලංකාවේ ජීවත් වන කාන්තාවන්ගේ බර වැඩිවීම 19%කින් ඉහළගොස් ඇති බව වෛද්‍ය පර් යේෂණ ආයතනය මගින් සිදුකළ පර් යේෂණයකදී අනාවරණය වී ඇත. මෙම ආයතනයේ පෝෂණ අංශයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පෙන්වා දෙන අන්දමට ශ්‍රී ලංකාවේ ජීවත් වන කාන්තාවකගෙන් සියයට පනහක් පමණ අධි බර ප්‍රතිශතයෙන් පසුවන අතර එයින් සියයට තිහක් පමණ තරබාරු මට්ටමේ පසුවෙති. මේ තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත් වන කාන්තාවන් අතර බවද සඳහන්ය.

ශරීරයේ බර වැඩිවීමත් සමඟ බෝ නොවන රෝග බොහොමයකට ගොදුරු වීමේ අවදානමක් මතුවෙයි. මෙම රෝග අතරින් හෘද රෝග, දියවැඩියාව, අධික රුධිර පීඩනය, අක්මාවේ තෙල් තැන්පත් වීම, බඩවැල් ආශ්‍රිත රෝග ඇතිවීම, පියයුරැ පිළිකා ඇතිවීම, අංශභාගය වැනි රෝග වැඩි වශයෙන් දක්නට ඇත.

පාසල් යන වයසේ පසුවන බොහෝ දරුවෝ අද වනවිට අධි බර තත්ත්වයේ පසුවෙති. අතීතයේදී බොහෝ පාසල් දරුවන් පාසල් අධ්‍යාපනයට අමතරව බොහෝ බාහිර ක්‍රියාකාරකම් සහ ඇඟ වෙහෙස ගෙන කටයුතු බොහොමයක් කළද අද වනවිට එහි ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත. අද බොහෝ මව්පියන්ගේ මූලික ඉලක්කය වන්නේ විභාගවලින් ඉහළ ප්‍රතිඵල ලබාගැනීම පමණි. මේ නිසාම විශේෂයෙන් ගැහැනු දරුවන් පාසල් අධ්‍යාපනයෙන් පසුව වෙනත් බාහිර ක්‍රියාකාරකම්වල යෙදෙන්නේ නැත. අද ඔවුන් පාසල් අධ්‍යාපනයට පසුව කාලය වෙන්කරනු ලබන්නේ විෂය නිර්දේෂ ඉගැන්වීම කටයුතු කරන අමතර පන්ති වෙතටය. එයින් කිසිදු විටෙකත් ඇඟ වෙහෙසා මහන්සියක් වන්නේද නැත. එකල වැඩිවියට පත්වීමෙන් පසුව ඕනෑම ගැහැනු දරුවකු ගෙදර දොරේ කටයුතු සඳහා පුරුදු වුවද, උදව් කළද අද සමාජය පසුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් ස්වරූපයකි.

වෛද්‍ය පර් යේෂණ ආයතනය මඟින් සිදුකළ පර් යේෂණය අනුව කාන්තාවන්ගේ බර වැඩිවීම අවදි තුනකට නම් කළහැක.


“කාන්තාවන්ගේ බර වැඩිවන පළමු අවස්ථාව තමයි ගැහැනු දරුවන් උසස් පෙළ විභාග සඳහා සූදානම් වන අවධිය. උසස් පෙළ කරන කාලයේදී වර්තමානයේ දී පවතින තරගකාරී අධ්‍යාපන රටාවක් සමඟ දරුවන් වැඩිපුරම කාලය වෙන්කරනු ලබන්නේ එකම තැනක අසුන් ගෙන පාඩම් කිරීමටයි. මේ නිසා ඔවුන් ඒ කාලය තුළදී ආහාර ගැනීමෙන් පසුවද ඉන්නේ ඉඳගෙනයි. මේ නිසාම මේ කාලයේදී ඔවුන්ගේ බර වැඩිවීමත් සිදුවෙනවා” යැයි විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය සඳහන් කරයි.

මෙම පර් යේෂණයට අනුව ඔවුන් නම් කර ඇති දෙවැනි අවස්ථාව වන්නේ දරු ප්‍රසූතියට පසු සමයයි. දරු ප්‍රසූතියට පසුව බොහෝ කාන්තාවෝ තම දරුවාටත් සමඟ කෑමට අවශ්‍ය යැයි නිගමනය කොට වැඩිපුර ආහාර ගනිති. ගර්භනී කාලයේදී කාන්තාවක් බර වැඩිවීම බොහෝම සාමාන්‍ය සිදුවීමකි. බර අඩු කෙනකු ගර්භනී වූ විට වෙනදාටත් වඩා යම් ප්‍රමාණයක් වැඩිපුර ආහාර ගැනීමක් දරු ප්‍රසූතියෙන් පසුව සිදුකළ යුතු වුවද සාමාන්‍ය ජීවිතේදී තරබාරුව සිටි කෙනකු දරු ප්‍රසූතියෙන් පසුව ඕනෑවටත් වඩා ආහාර ගැනීමෙන් අධි තරබාරුකමක් ඇතිවිය හැක. දරු ප්‍රසූතියෙන් පසුව ඕනෑවටත් වඩා ආහාර ගැනීමෙන් අනවශ්‍ය ලෙස ඔවුහු තරබාරු වෙති. ඕනෑම කාන්තාවක් දරු ප්‍රසූත කිරීමෙන් පසුව මාස කිහිපයකින් සාමාන්‍ය ශරීර ප්‍රමාණයකට පත්වුවද මේ කාලයේදී අධික ලෙස ආහාර ගැනීම නිසා පසුකාලීනව බර අඩුවීමක් එකවර සිදුනොවේ. මේ නිසා මොවුහු තරබාරු කාන්තාවෝ වෙති.

“කාන්තාවන්ගේ බර වැඩිවීම සිදුවන තුන්වන අවස්ථාව වන්නේ වයස අවුරුදු 40-50ක් අතර කාලයේදී කාන්තාවන්ගේ හෝමෝන පරිවර්තනයත් සමඟ ඔසප් නතරවෙන කාලයයි. මේ කාලයේදී මේ සම්බන්ධව සැළකිලිමත් නොවීමෙන් අධිබර තත්ත්වයක් හා තරබාරු කමින් මිදෙන්නට අමාරුයි.” යැයි ද විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පවසන පරිදි ඉහත සඳහන් කරුණුවලට අමතරව කාන්තාවකගේ බර වැඩි වීමේ ප්‍රවණතාවයට වැරදි පුරුදු මෙන්ම ව්‍යායාම් අඩුකමද හේතු වේ.

බොහෝ කාන්තාවන් ව්‍යායාම් මධ්‍යස්ථානවලට යාමත් ඇරොබික් නර්තන පන්තිවලට සහභාගී වීමත් අද වනවිට සාමාන්‍ය සිදුවීමක් වී තිබේ. ඇතැමුන් මෙය විලාසිතාවක් සේ කරගත්තද නිසි ලෙස එවැනි ව්‍යායාම් සිදුකිරීමෙන් ශරීරයේ තැන්පත් වී ඇති තෙල් හා මේදය දහනය වීමෙන් ඉතා සාර්ථක ප්‍රතිඵල අත්කර ගතහැකි බව වෛද්‍යවරු පවසති. උසට සරිලන බරක් තිබීමෙන් කෙනකුට නිරෝගීමත් ජීවිතයක් ගතකිරීමට හැකිවන බවත් කෙනකුගේ ශරීර ස්කන්ධ දර්ශකය (BMI අගය) 25-30 අතර නම් අධි බර තත්ත්වයේ පසුවන බවත් එය 30 ඉක්මවූ පසුව තරබාරු කෙනෙකු බවත් හැඳින්විය හැක.

විශේෂයෙන් ඕනෑම වයසේ පසුවන කාන්තාවක් තමන්ගේ ශරීරයේ බර පිළිබඳව සැලිකිලිමත්ව සිටීම ඉතා වැදගත් බව විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පවසයි.

දිශානි ජයමාලි කරුණාරත්න 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00