2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

වසර 12කට පෙර වරදකට හිරේ ගිය කුරුණෑගල නගරාධිපති

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:31 135

පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහර දුන් මන්ත්‍රී...

පොලිස් නිලධාරියකුට පහර දුන් මන්ත්‍රී...

පිස්තෝල පෙන්නා තර්ජනය කළ මන්ත්‍රී...

තෙල් සංස්ථාවේ යකා නැටූ මන්ත්‍රී...

ලක්ෂ ගණනින් මුදල් වංචා කළ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී.. සහ හෙරොයින් සමඟ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට යනුවෙන් පසුගිය මාස කිහිපය තුළදී පුවත් සිරස්තල රාශියක් වාර්තා කෙරිණි. මේ උපුටාගත් සිරස්තල සියල්ල ප්‍රාදේශීය හා පළාත් සභා මන්ත්‍රීවරුන් පොලිස් අත්අඩංගුවට පත්වීමට හේතු වූ කාරණාය.

සියලු චෝදනා හා අත්අඩංගුවට ගැනීම් අතර වාර්තා වූ නවතම පුවත්පත් සිරස්තල වූයේ “පිස්තෝලයක් පෙන්වා මුදල් කොල්ල කෑ කුරුණෑගල පුරපති රිමාන්ඩ්” යන්නයි.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ නැමැත්තාය. අධිකරණය මඟහැරියායැයි කුරුණෑගල මහ අධිකරණය විසින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි නගරාධිපතිවරයා මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් වී තිබුණේ පසුගිය 9 වැනිදාය. එම අවස්ථාවේදී කුරුණෑගල මහා අධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය නියෝග කොට තිබුණේ සැප්තැම්බර් 17 වැනිදා තෙක් නගරාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටය.

පිස්තෝලයක් පෙන්වා පුද්ගලයෙක් බියගන්වා තර්ජනය කොට මුදල් කොල්ල කෑ බවට චෝදනා කරමින් කුරුණෑගල පුරපති ඇතුළු සිව්දෙනකුට එරෙහිව කුරුණෑගල මහාධිකරණයේ විභාග වූ නඩුවට පළමු හා ප්‍රධාන විත්තිකරු වශයෙන් නීතිපතිවරයා විසින් නම්කොට තිබුණේ තුෂාර සංජීව විතාරණ මහතාය.

මෙම නඩුව අවසන් වතාවට පසුගිය ජූලි 25 වැනිදා විභාගයට ගෙන ඇති අතර එදින ප්‍රධාන විත්තිකරු වූ නගරාධිපතිවරයා අධිකරණයේ පෙනී සිට නැත. එබැවින් මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විත්තිකරු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග නිකුත් කොට ඇත. අදාළ නඩුව අගෝස්තු 25දා විභාගයට ගැනීමට නියමිතව තිබියදී නගරාධිපතිවරයා මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත්ව තිබූ අතර එහිදී අත්අඩංගුවට ගනු ලැබූ ඔහු ලබන 17 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.

කුරුණෑගල මූලස්ථාන පොලීසිය විසින් නගරාධිපතිවරයාට එරෙහිව මේ නඩුව පවරා තිබුණි. එහෙත් ජූලි 25 වැනිදා අධිකරණයේ පෙනී නොසිටි නගරාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කියා සිටියේ කොරියානු රජයේ ආරාධනාවක් මත එරට පැවැති සමුළුවක් සඳහා සිය සේවා දායකයා වන නගරාධිපතිවරයා මෙරටින් පිටව ගොස් ඇති නිසා එදින අධිකරණයේ පෙනී නොසිටි බවය. එහිදී පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ චාරක ධර්මසිරි මහතා විත්තිකාර නගරාධිපතිවරයා අධිකරණයට නොදන්වා මෙදින නඩුවාරයට නොපැමිණීම අධිකරණය මඟහැර යාමක් බවට ප්‍රකාශ කර තිබිණි. වැඩිදුරටත් ඔහු පෙන්වා දී තිබුණේ විත්තිකාර පාර්ශවයේ විවිධ ඉල්ලීම නිසා දිගින් දිගටම නඩුව කල්ගිය බවකි.

නඩු විභාගයට අදාළ සිදුවීම වසර දොළහකට ඉහතදී 2007 වර්ෂයේ වූවකි. එය 2007 වසරේ ජූලි 7 හෝ ඒ ආසන්න දිනයකි. පැමිණිලි පාර්ශ්වය වන්නේ කුරුණෑගල, විලැස්ස, පහළ හේවාපොළ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අසේල නාලක ගුරුසිංහ නැමැත්තෙකි. ඔහුට පිස්තෝලයක් පෙන්වා බියගන්වා මුදල් කොල්ල කෑ බව පැමිණිල්ලේ දැක්වෙයි.

නගරාධිපතිවරයා කාලයක සිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයකු හා දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අයකුගේ ළඟම  හිතවතෙකි. ප්‍රබල දේශපාලනඥයා අනුව යමින් වසර කිහිපයකදී පක්ෂ තුනක් පමණ මාරු කළ එවකට නාගරික මන්ත්‍රීවරයෙක් වන සංජීව පතිරණ වර්තමානයේ කුරුණෑගල නගරාධිපතිව සිටී. දැනට පොදු ජන පෙරමුණ නියෝජනය කරන නගරාධිපතිවරයා 2007 වර්ෂයේ එ.ජා.ප.ය නියෝජනය කර ඇත.

වාර්තා වන පරිදි එවකට ඔහුගේ හිතවතෙක් වන පොලියට මුදල් ලබා දෙන විලැස්ස පහළ හේවාපොළ ප්‍රදේශයේ අයකුගෙන් යම් මුදලක් ලබාගෙන ඇතැයිද එහිදී ඔහු පිස්තෝලයක් පෙන්වා බියගන්වා ඇතැයිද වාර්තා වේ. ඒ අවස්ථාවේ නගරාධිපතිවරයා සමඟ තවත් තිදෙනකු සිටි බවත් මුදල් කොල්ලකෑමට ඔවුන් සම්බන්ධ බවත් කියමින් පැමිණිල්ල සටහන් කර ඇතැයි කියති.

සිදුවීම සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි සංජීව විතාරණ මහතා ඇප මත නිදහස්ව සිටියේය. වසර ගණනාවක් පුරා වරින් වර විභාගයට ගනිමින් තිබූ නඩුව අවසානයේ නීතිපති උපදෙස් මත අධිචෝදනා ගොනු කර තිබේ.

ඒ අනුව විභාගය වෙමින් පවතින නඩුව විත්තිකරුට එරෙහිව පීඩාකාරී ගිනි අවි පනත යටතේ පවරා තිබීම තරමක් බරපතළය. මේ අතර නඩුවට වැඩි කාලයක් ගතවීමත්, නාගරික මන්ත්‍රීවරයා නගරාධිපති වීමත් විනිසුරුවරුන් කිහිපදෙනකු යටතේ නඩු විභාග වීමත් ඇතුළු කරුණු රාශියක් නිසා මෙම නඩුව සම්බන්ධනේ නීතිපතිවරයාගේ උපදෙස් ලැබී ඇත.

මෙම නඩුව සැප්තැම්බර් 17 වැනිදා නැවත  කැඳවීමට නියමිතය.

සමන්ත ප්‍රදීප් විල්තෙර
     පසුබිම් වාර්තා හා සේයාරූ - 
     පුෂ්පකුමාර ජයරත්න

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00