2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

ජනතාව අතරට නොගිය ආණ්ඩුව කළ මහ වැඩ ගොඩ

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 53

වර්තමාන රජය යටතේ පසුගිය අවුරුදු පහ තුළ මෙරට සංවර්ධනය වූයේ නැත කියා යමකු කියනවා නම් එය මුසාවකි. එහෙත් විපක්ෂ බලවේග ජනතාවගේ ඔළු තුළට රිංගවා ඇත්තේ ආණ්ඩුවෙන් රටට කිසිවක් සිදු වූයේ නැහැ කියන අදහසයි. මෙහිදී අපට ප්‍රකට ගොබෙල්ස් න්‍යාය සිහියට නැගේ. එයින් කියැවෙන්නේ ඕනෑම බොරුවක් නැවත නැවත කෙනකුට දිගටම පැවසූ විට එය සත්‍ය බවට පිළිගන්නට සිදුවීමයි. රට සංවර්ධනය වුණේ නැත යන්න මන්ත්‍රයක් මෙන් දිගටම මතුරන විට කාටත් එය පිළිගන්නට සිදුවේ. අද ඇතිව ඇත්තේ එම තත්ත්වයයි.

එසේ වුවද වර්තමාන රජය ජනතාව වෙනුවෙන් සෑහෙන වැඩ කොටසක් කර ඇති බව අවිවාදයෙන් පිළිගන්නට සිදුවේ. උදාහරණ ලෙස ගතහොත් මහා මාර්ග සංවර්ධනය තුළින් විශාල වැඩ කොටසක් කර ඇති අතර කරමින් ද පවතී. පෑලියගොඩ සිට රාජගිරිය දක්වා තැනෙමින් පවතින අධිවේගී මාර්ගය, එතැන සිට කොළඹ කොටුව දක්වා ඉහළින් කණු මත යයි. මධ්‍යම අධිවේගී මාර්ගයේ සෑහෙන වැඩ කොටසක් නිම කර ඇත. කොළඹ වටරවුම් අධිවේගී මාර්ගය තනා අවසන්ය. දක්ෂිණ අධිවේගී මාර්ගය බෙලිඅත්ත දක්වා දීර්ඝ කර තිබේ.

ගුවන් තොටුපොළවල් ගැන පැවසුවොත් මඩකලපුව ගුවන් තොටුපොළ නිමකර විවෘත කර ඇත. පලාලි ගුවන් තොටුපොළ අගෝස්තු 31දා විවෘත කිරීමට නියමිතය. අමතරව බණ්ඩාරවෙල, මහනුවර අභ්‍යන්තර ගුවන් තොටුපොළවල් තැනෙමින් පවතී. මේ ආදී වශයෙන් විවිධ උදාහරණ දීමට පුළුවන.

ශ්‍රී ලංකාවේ සියලුම දරුවන් රක්ෂණය කිරීමේ පසු රක්ෂණ වැඩපිළිවෙළ, භික්ෂූන් වහන්සේලා රක්ෂණය කිරීම හෙවත් බුද්ධපුත්‍ර රක්ෂණය, ආරෝග්‍යශාලා සඳහා නොමිලේ ගිලන් රථ සේවා ලබාදීම වැනි සාර්ථක වැඩපිළිවෙළවල් පෙන්වා දීමට පුළුවන. රාජ්‍ය සේවක වැටුප අන් කවරදාකවත් නොමැති ලෙස රුපියල් 10,000කින් වැඩි කිරීමද කැපී පෙනේ. අනිත් කිසිදු රජයක් මෙවැනි වැටුප් වර්ධනයක් දී නැත. එසේම රාජ්‍ය සේවක විශ්‍රාම වැටුපේ විෂමතා දුරු කර ජූලි මාසයේ සිට විශාල වාසියක් ලබා දී තිබේ.

ලංකා ඉතිහාසයේ හිටපු ප්‍රවාහන අමාත්‍ය අනිල් මුණසිංහගෙන් පසු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ලාභ ලැබූ ආයතනයක් කළේ මෙම ආණ්ඩුවෙනි. එහි ගෙවීමට තිබූ විශාල ණය කන්දරාවක් ද ගෙවා නිම කළේය. රමල් සිරිවර්ධන සභාපතිවරයාව සිටි කෙටි කාලයේ දී ලංගම සේවකයන්ගේ වැටුප් වැඩිකර ඒ අයට බෝනස් ද ගෙවා ඇත. එසේම අතිරේක බස් රථ සංඛ්‍යාවක් ද සේවයට එකතු කිරීමට හැකි විය.

යටපත්ව තිබූ ස්වාධීන කොමිෂන් සභා සියල්ල ස්ථාපිත කළේ වර්තමාන ආණ්ඩුවෙනි. එසේම පසුගිය ආණ්ඩුවේ මෙන්ම මේ ආණ්ඩුවේ ද වැරදි එකවර විමර්ශනය කිරීමට කොමිෂන් සභා පිහිටුවා ඇත. තොරතුරු දැනගැනීමේ පනත නීතිගත කර මාධ්‍ය නිදහස ලබාදීම මෙහිදී සුවිශේෂ වෙයි. පසුගිය සමයේ නැතිව තිබූ ජී.එස්.පී+ සහනය යළි ලබාගැනීමට ද හැකි විය.

අපනයනය වර්ධනය කර ආනයන සංකෝචනය කිරීමට කටයුතු කර ඇත. අතිරේක අපනයන විශේෂ හඳුන්වා දීමට ද රජය සමත් විය. රටේ සංචාරක ව්‍යාපාරය කවදාවත් නොමැති පරිදි වර්ධනය කිරීමට ද හැකි විය. පාස්කු ප්‍රහාරය ආදී හදිසි ආපදා හමුවේදීද වැනසුණු දේපල ප්‍රතිනිර්මාණය කර අහිමි වූ ජීවිතවලට වන්දි හා ආපදා සහන ගෙවා සහන සලසා ඇත. එසේම සංචාරක ව්‍යාපාරයට සිදු වූ හානි කෙටි කලකදී පූරණය කර යළිත් ශ්‍රී ලංකාව සංචාරකයන් සඳහා සුදුසු රටක් බවට මේ වන විට පත් කර තිබේ. එසේම සංචාරක ව්‍යාපාරය ගොඩනැගීම සඳහා විශාල ලෙස ආණ්ඩුව දායක වී තිබේ. බොහෝ අය සංචාරක පැමිණීම ඉතාම දීර්ඝ කාලයක් දුර්වල වනු ඇතැයි පුරෝකතනය කළ ද එම දුර්මත අවලංගු කර කෙටි කාලයක දී යථා තත්ත්වයට පත් කිරීමට ආණ්ඩුව සමත් විය. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන තුළින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා පහසු ණය යෝජනා ක්‍රම ඇතිකර තිබේ. මෙමගින් රාජ්‍ය බැංකු ජනතාවට සමීප කර ඇති අතර ව්‍යාපෘතිවල ණය පොලී ගෙවීමට ද ආණ්ඩුව බාරගෙන ඇත.

පාසල් ගොඩනැගිලි සහ යටිතල පහසුකම් සංවර්ධනය, පාසල් උපකරණ සහ ටැබ් යන්ත්‍ර සිසුන්ට ලබාදීම, නොමිලේ දිවා ආහාර ලබාදීම සිදුකර ඇත. මහ නගර සහ බස්නාහිර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රටේ යටිතල පහසුකම් විශාල ලෙස සංවර්ධනය කළේය.

පෝට් සිටි ව්‍යාපෘතිය ප්‍රතිනිර්මාණය කිරීමට සමත් විය. පසුගිය ආණ්ඩුව චීනය සමඟ ගිවිසගෙන තිබූ රටට අහිතකර කොන්දේසි ඉවත් කර රටේ අයිතිය චීනයට නොදී බිම වසර 99 බද්දකට ලබාදීමට කටයුතු කිරීම සුවිශේෂ වේ. බොහෝ දෙනා සිතා සිටියේ මෙම ව්‍යාපෘතිය නැවතෙනු ඇතැයි යනුවෙනි. නමුත් එවැන්නක් සිදු වූයේ නැත. හම්බන්තොට වරාය නිසා සිදුව තිබූ සුවිශේෂ පාඩුව නැතිකර එය 99 අවුරුදු බදු ක්‍රමයට චීනයට ලබාදීමට රජයට හැකි විය.

හම්බන්තොට වරාය ගිවිසුම අත්සන් කළේ පසුගිය රජයයි. එය අත්සන් කළේ 2014 දෙසැම්බර් 28දා ජනාධිපතිවරණයට දින 10කට පෙරයි. එහෙත් දැන් විපක්ෂය මේ රජයට චෝදනා කරන්නේ ඔවුන් වරාය වික්ක බවටය. එහෙත් එය වැරදි චෝදනාවකි. වර්තමාන රජය කළේ මහින්ද රාජපක්ෂ රජය අත්සන් කළ ගිවිසුම ක්‍රියාත්මක කිරීම පමණකි. ඒ අය බලයේ සිටියද මෙය ක්‍රියාත්මක වීම වැළැක්විය නොහැකිය.

දක්ෂිණ දුම්රිය මාර්ගය දැනට තංගල්ල දක්වා තනා ඇති අතර එය කතරගම දක්වා යාමට නියමිතය. යාපනේ දුම්රිය මඟ ප්‍රතිනිර්මාණය කර යළි තැනීමට මුල්ගල තබා ඇත. කන්කසන්තුරේ දක්වා දැනට දුම්රිය ධාවනය පවතී. එම මාර්ගය පුළුල් කර පැයට කිලෝමීටර් 100 දක්වා වේගය වැඩි කිරීමට කටයුතු කෙරේ.

දුප්පත් රෝගීන් ගැන සලකා ඖෂධවල මිල විශාල ලෙස අඩුකර තිබේ. ඇතැම් වටිනාකම ඉහළ බෙහෙත්, එන්නත් සහ උපකරණවල මිල ලක්ෂ ගණනින් පහළ දමා ඇත. එසේම රෝහල් සංවර්ධනය කිරීම, ඇඳන් සංඛ්‍යාව ඉහළ දැමීමට ද කටයුතු කර තිබේ.

දැනට රාජ්‍ය බැංකු විශාල ලෙස ලාභ ලබයි. ඒ රුපියල් බිලියන ට්‍රිලියන ගණනිනි. පොලිය පහළ දැමීම තුළින් ව්‍යාපෘති සඳහා ණය ලබාගෙන ආයෝජන ඉහළ දැමීමට පහසුකම් සලසා තිබේ. රාජ්‍ය බැංකු විකිණීමට යන බවට ප්‍රතිවාදීන් ගෙන ගිය ප්‍රචාර අසත්‍ය බව මේ වනවිට සනාථ වී තිබේ. රටේ ඇතිවූ අවාසනාවන්ත තත්ත්වය තුළ වුවද කොටස් වෙළෙඳපොළ මුළුමනින්ම කඩා නොවැටී එක්තරා මට්ටමක පවත්වාගෙන යාමට ආණ්ඩුව සමත් වී ඇති බව කිව යුතුය.

සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගේ උදාගම් ව්‍යාපෘති අතිශයින් සාර්ථක වී තිබේ. ඈත පිටිසර ගම්මානවල ජනතාවට එමගින් සිදු වූ යහපත විශාලයි. සෑම දිනකම අලුතින් උදාගම්මානයක් විවෘත කරන තරමට මෙම ව්‍යාපෘතිය දියුණු වී ඇත. මේ වනවිට උදාගම්මාන 270ක් පමණ නිමකර ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට නිවාස උරුමය ලබා දී තිබෙන බව කිව යුතුය.

ආණ්ඩුව විවිධ ගිවිසුම්වලට අත්සන් කර රට හා එහි සම්පත් විදේශ රටවලට දෙන බවට විපක්ෂය ඉදිරිපත් කළ තර්ක පුහු ඒවා බව දැන් සනාථ වී තිබේ. සෝෆා ගිවිසුම, සිංගප්පූරු ගිවිසුම ආදී ගිවිසුම් අත්සන් කළ බවට මහජනතාව මුලා කරමින් පවසන නමුත් ඒ අත්සන් කළැයි පවසන එකම ගිවිසුමක හෝ පිටපතක් ඉදිරිපත් කිරීමට ඔවුහු අපොහොසත් වී සිටිති. මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක සිටීමට ආණ්ඩුව කටයුතු කිරීම නිසා මුලින් මහින්ද රාජපක්ෂ සමයේ දී විරසක වී තිබූ රාජ්‍යයන් දිනාගැනීමට හැකිව තිබේ.

ඛනිජ තෙල්, ගෑස්, කිරිපිටි ආදිය තවමත් අලෙවි වන්නේ 2015 වසරට පෙර අලෙවි කළාට වඩා අඩු මිලටය. ඒවායේ විශාල වශයෙන් මිල අඩු කිරීම් කර විටින් විට සුළු වශයෙන් මිල ඉහළ දැමීමට කටයුතු කර ඇත. සහල්, එළවළු ආදියේ මිල ද සාධාරණව පවතී. දේශගුණික විපර්යාස නිසා ඇතැම් ද්‍රව්‍යවල මිල සුළු වශයෙන් වැඩි වුවද එම මිල යළි පහළ වැටී ඇත. මෙය කවදත් සිදුවන ස්වභාවික ක්‍රියාදාමයකි. ගොවියන්ට සහන සැලසීමද නිසියාකාරව සිදුවෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පසුගිය සතියේ පවසා තිබුණේ රටේ ණය මට්ටම ඉහළ ගොස් ඇත්තේ මේ රජය ණය ලබාගැනීම නිසා බවය. මෙය පදනම් විරහිත චෝදනාවකි. ඉතිහාසයේ වැඩිම ණය සේවාකරණයක් හෙවත් ණය වාරික සහ පොලිය ගෙවන්නට සිදුව ඇත්තේ 2018-19 සහ 20 යන වර්ෂවලදීය. මේ ණය දිගුකාලීනව 2014ට පෙර ගත් ණය වෙයි. එය මේ ආණ්ඩුව ගත් ණය නොවේ. එහෙත් ඒ ණය සහ පොලී ගෙවීමට සිදුව ඇත්තේ මේ ආණ්ඩුවටය. රජය මාරු වූවා යැයි ණය නොගෙවා සිටිය නොහැකිය.

ණය සේවාකරණය සඳහා මුදල් නොමැති බව සත්‍යයකි. මුළු ජාතික ආදායමම ඒ සඳහා පාවිච්චි කළද ප්‍රමාණවත් නැත. ඒ නිසා ණය ගෙවීමට තවත් ණය ලබාගත යුතුව ඇත. නැතිනම් ආදායමෙන් ගෙවීමට නොහැක. අජිත් කබ්රාල් මහතා මේ ගැන නොදැන සිටීමට හේතුවක් නොමැත. ඔහු මේ ආණ්ඩුවට චෝදනා කරනුයේ දේශපාලන හේතු මත බව පැහැදිලිය. අනාගතයේ දී කුමන ආණ්ඩුවක් බලයට ආවද ඔවුන්ටද ණය ගැනීමට සිදුවෙනවා ඇත. යථාර්ථය එය වේ.

ආණ්ඩුව හා ජනාධිපති අතර උද්ගතව පවතින මතගැටුම රටේ ආර්ථිකයට ද අහිතකර ලෙස බලපා ඇත. එකිනෙකා එකිනෙකාගේ ක්‍රියාමාර්ගවලට බාධක ඇති කරන බව පෙනී යයි. ඒ නිසා යහපත් පියවර පවා ගත නොහැකිව ඇත. තත්ත්වය යහපත් වූවා නම් මෙයට වඩා නොයෙක් යහපත් දේවල් කරන්නට හැකිවනු ඇති බව මගේ විශ්වාසය වේ.

කෙසේ වුවද මේ ආණ්ඩුව ගත් යහපත් පියවර පවා නිසි ලෙස ජනතාවට සන්නිවේදනය නොවූ බව පෙනෙන්නට තිබේ.

අගමැතිවරයා පෞද්ගලික මාධ්‍යවලට දොස් තබා ඒවා තරහ කරගෙන ඇත. රාජ්‍ය මාධ්‍ය ස්වාධීන කර තිබේ. මේ නිසා රජයේ යහපත් පියවර මාධ්‍ය මගින් ජනතාවට අතරට යාම අවම වී තිබේ. රජයේ වැඩපිළිවෙළ ජනතාව අතරට නොයන නිසා ඔවුන් ව්‍යාජ ප්‍රචාරවලට රැවටීමට පහසු වී ඇත. රට සංවර්ධනය වූයේ නැත යන බොරු මානසිකත්වය ජනතාවට දී තිබේ. ජනතාවගේ ඔළුවලට දමා ඇත්තේ වැරදි මතවාදයකි. ඒ නිසා ඔවුහු නොමග ගොස් සිටිති. ජනතාව නිවැරදි කිරීම සඳහා ආණ්ඩුව කිසිදු ඵලදායී වැඩපිළිවෙළක් ක්‍රියාවට නගා නැත. සියල්ල කරනුයේ අඳුරේ අතපත ගානවා සේය.

මෙම තත්ත්වය නිවැරදි නොකිරීම දේශපාලන වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද රටට අහිතකරය. ආණ්ඩුව දැන්වත් නිවැරදි කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවිය යුතුය. එසේ නොවුණහොත් ජනතාව තුළ වැරදි ආකල්ප ව්‍යාප්ත වීම ඉහළ යනවා ඇත. 2018 අෙගා්ස්තු 16 දින එංගලන්තයේ The Boxton Globe යන විදේශ සඟරාෙව් පළ වූයේ ලොවේ සිටින ලොකුම මෝඩ ඡන්දදායකයන් සිටින්නේ ශ්‍රී ලංකාවේ බවය. එම ආකල්පය නිවැරදි කිරීමට දැන් කාලය එළඹී තිබේ.

යසවර්ධන රුද්රිගු