2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

ඊළඟ ජනාධිපති කෙසේ විය යුතුද?

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 232

ජනාධිපතිවරණ උණුසුම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී. මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කර අවසන්ය.  ඔහු අනුරාධපුරය, කැලණිය, මහනුවර වැනි ප්‍රදේශවල සියලු විහාරස්ථාන වෙත යමින් ඉදිරි ජනාධිපතිවරණයට ආශීර්වාද ලබා ගනිමින් සිටී. ඔවුන් ජනාධිපතිවරණය සඳහා මේ වන විටත් බොහෝ වැඩකටයුතු ආරම්භ කර අවසන්ය. ඡන්ද පොළ 12000ටම අවශ්‍ය ඡන්දපොළ නියෝජිතයන් සහ සෑම ග්‍රාමසේවා වසමකටම එක් නියෝජිතයකු බැගින් පුහුණු කර අවසන් බවද පැවසේ. 

එක්සත් ජාතික පක්ෂය මෙවර ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයකු නොව තම පක්ෂ අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවට ආරම්භයේ සිටම ප්‍රකාශ කළේය. ඒ අනුව ඉදිරියෙන් සිටින්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය. පසුපෙළ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටින්නේ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන ලෙසටය. කලින් නම් කිහිපයක් යෝජනා වුවද මේ වන විට ඉදිරියට පැමිණ ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාසගේ නම්ය. මන්ත්‍රී පිරිස රනිල් පිල සහ සජිත් පිල ලෙස  බෙදී තමන් කැමති පුද්ගලයා ජනාධිපති අපේක්ෂකයා බවට පත් කර ගැනීමට ක්‍රියා කරති. එහෙත් මේ වන තෙක් කවරකු පත්කරනවාද යන අවසන් නිගමනයකට එළැඹ නොමැත. තමාට අපේක්ෂකත්වය ලැබේය යන අදිටනින් සජිත් රැස්වීම් මාලාවක් හා ප්‍රචාරක වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ. 

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික බලවේගය මෙතෙක් තම අපේක්ෂකයා නම් කර නොමැති අතර 18 දින (අද) නම්කරන බව ප්‍රකාශ කර තිබේ. ඇතැම් ආරංචිමාර්ගවලට අනුව ඒ සඳහා අනුර කුමාර දිසානායක හෝ වෙනත් වෘත්තිකයකු පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පැවසේ. කෙසේ වුවද ඇතැම් අපේක්ෂකයන්හට පෙර වැරදි ඇතැයිද එහෙයින් එවැනි අය අපේක්ෂකත්වයට නුසුදුස්සන් බවද තවත් පිරිසකගේ මතයයි. ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂයන් සතු විය යුතු ගුණාංග කවරේදැයි යන්න පිළිබඳව මෙරට ජනමත ප්‍රධානීන් වන ප්‍රකට භික්ෂූන්වහන්සේ දෙනමකගේ අදහස් විමසා බැලුවෙමු.

රටේ සම්පත් විකුණන නායකයකුට රට බාර දෙනවාට වඩා හොඳයි වෙන්දේසිකරැවකුට බාර දෙන එක
- කොළඹ ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ හිමි

“මේ රට මහඟු ඉතිහාසයක් හා සංස්කෘතියක් ඇති රටක්. එම ඉතිහාසය හා සංස්කෘතිය හඳුනන එයින් පෝෂිත වූ, මේ මගේ රටය, මේ මගේ ජනතාවය කියන හැඟීමක් තියෙන පුද්ගලයෙක් මේ රටේ ජනාධිපති විය යුතුයි. ඔහු සියලු ගුණාංගයන්ගෙන් සපිරි චරිතවත් පුද්ගලයකු විය යුතුයි. අද සිටින කිසිදු දේශපාලනඥයකු අපට විශ්වාස කරන්න බැහැ. ඉදිරි ජනාධිපති අපේක්ෂකයා බොරු පොරොන්දු නොදෙන පුද්ගලයකු විය යුතුයි. රටට වැඩක් කළ හැකියැයි හැඟෙන අපේක්ෂකයෙක් පිළිබඳව මට තාම හැඟීමක් නැහැ. එවැන්නෙක් සොයා ගන්නට මම තවම උත්සාහ කරනවා. ඉදිරියේ පත්වන ජනාධිපති අපේක්ෂකයා අනුගමනය කළ යුතු කරැණු පහක් අප පසුගිය දිනවල ඉදිරිපත් කළා. 

ඉන් පළමුවැන්න මෙරට සිටින ජනවාර්ගිකයන්ගේ අනුපාතය අනුව රටේ සියලු කටයුතු සිදු කළ යුතුයි.

දෙවැන්න රටේ ස්වෛරීභාවය, ඒකීය භාවය ආරක්ෂා කොට රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළ යුතුයි.

තෙවැන්න එක නීතියක් යටතට රට පත් කළ යුතුයි.

සිව්වැන්න රටේ සම්පත් බෙදී යෑම සාධාරණ පදනමක් මත සිදුවිය යුතුයි.

පස්වැන්න උතුරු නැගෙනහිර පළාත්වල අපේ බෞද්ධ සංස්කෘතියට සම්බන්ධ පුරාවස්තු රැසක් තිබෙනවා. ඒවා විනාශ කරනවා. ඒවා ආරක්ෂා කළ යුතුයි.

මේ පංච මහා ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවිය හැකි නායකයෙක් ඉදිරියේදී ජනාධිපති තනතුරට පත් විය යුතුයි. 

මේ රට අදවන විට අර්බුද රැසකට මුහුණ පා තිබෙනවා. මේ රට අගාධයෙන් ගොඩගත හැක්කේ ඒවා හොඳින් හඳුනාගත් පුද්ගලයකුට පමණයි. ඔහු ජනතාවගේ නාඩි අහුවුණ කෙනෙක් විය යුතුයි. දෙමළ ජනයාට ප්‍රශ්නයක් ඇති බව ඔවුන් කියනවා. ඔවුනට සුවිශේෂී වූ ප්‍රශ්නයක් නැහැ. අප සියල්ලන්ටම තියෙන්නේ එකම ප්‍රශ්නයක්. ඒ ජීවත්වීම පිළිබඳ ප්‍රශ්නය. මේක සියලු ජාතීන්ගේම රට. මේ ප්‍රශ්න ඇති කළේ දේශපාලනඥයෝ. ජනතා ගැටලු හඳුනාගත හැකි නායකයෙන් තමයි ජනාධිපතිවරයා විය යුත්තේ. 

මා සඳහන් කළ ගුණාංග යම් පමණකට ඇත්තේ එක් අපේක්ෂකයකුට පමණයි. වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය බැලුවම ඔහු අපගේ සංස්කෘතියට එරෙහිව කටයුතු කරන බවක් පේනවා. ඔහු හැම අවස්ථාවකම උත්සාහ කරන්නේ අපේ සම්පත් විකුණා දැමීමටයි. එවැනි පුද්ගලයකුට රට බාර දෙනවා නම් ඊට වඩා හොඳයි වෙන්දේසිකරැවකුට රට බාර දෙන එක.

මගේ පක්ෂ දේශපාලනයක් නැහැ. මගේ දේශපාලනය පුද්ගල චරිත සමඟයි. මම ආර්. ජී. සේනානායක මහතාට, ප්‍රේමදාස මහතාට, සිරිමා බණ්ඩාරනායක මැතිනියට, ගාමිණී දිසානායක මහතාට සහය දක්වා තියෙනවා. එහෙම කළේ ජාතිය වෙනුවෙන් මා යමක් ඉල්ලූ විට ඔවුන් එය ඉටුකර දුන් නිසයි.

ඉදිරියේදි නායකත්වයට පත්විය යුත්තේ ධර්මාශෝක රජතුමාගේ ශිලා ලිපියේ කියැවෙන කරුණ අනුගමනය කළ හැකි කෙනෙක්. එහි සඳහන් වන්නේ “රටවැසි සියල්ලෝම මාගේ දරුවෝය” කියලයි. අපේ අනාගත නායකයා විය යුත්තේද තම රටට, ජනතාවට ආදරය කරන නායකයෙක්.  එහෙම නැත්නම් අපිට නායකයෙක් අවශ්‍ය නැහැ. ඒ නිසා ඉදිරියට මේ රට බාරගන්න පුද්ගලයා දේශපාලන නායකයෙක් නොවෙයි ජාතික නායකයෙක් වීම අනිවාර්යයයි.”

තට්ටුමාරු දේශපාලනයෙන් රටට වැඩක් නැහැ!
- රත්මලාන ධර්ම පර්යේෂණාලයේ හෑගොඩ විපස්සි හිමි

“අපේ රටේ හැමදාම තිබුණේ තට්ටුමාරු දේශපාලනයක්. අද රට සීඝ්‍රයෙන් අගාධයට යමින් තිබෙනවා. රටේ සංවර්ධනය අඩාල වෙලා. ජනතාව දරිද්‍රතාවෙන් පීඩා විඳිනවා. ජනතාව කිසියම් බියකින් ආතතියකින් පෙළෙන බව පේනවා. සුළු ජාතීන් විවිධ ඉල්ලීම් කරමින් කේවල් කරනු දැකිය හැකියි.

මේ නිසා ඉදිරියේ ජනාධිපති ධුරයට පත්වන පුද්ගලයා මේ සියලු ගැටලු නිරාකරණය කිරීමට ශක්තියක් ඇති පුද්ගලයකු විය යුතුයි. එවැනි හැකියාවක් නොමැති පුද්ගලයකු පාලකයකු වුවහොත් රට තවත් අගාධයට වැටේවි. ආර්ථිකමය, සංස්කෘතිකමය හා ආගමික වශයෙන් මේ රට ඉදිරියට ගෙන යා හැකි පාලකයකු අපට අවශ්‍යයයි. ඔහුට නිවැරැදි දර්ශනයක් තිබිය යුතුයි. අපේ රටේ දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවත ආ අනන්‍යතාව, සංස්කෘතික දායාද පිළිබඳ අවබෝධයකින් යුතු පාලකයකුට මේ රට යළි ගොඩගැනීමේ හැකියාවක් පවතිනවා.

එක්සත් ජාතික පක්ෂය විශාල දර්ශනයක් තිබූ ශක්තිමත් පක්ෂයක්. ශ්‍රී ලංකාවේ දේශපාලන ව්‍යාපාරය තුළ දැවැන්ත පෙරළියක් කළ පක්ෂයක්. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ සමහර නායකයන්ට එවැනි දැක්මක් නැහැ. මම කිසිදු දේශපාලන පක්ෂයකට පක්ෂ කෙනෙක් නොවෙයි. එහෙත් බුදුදහමට, අපේ සංස්කෘතික සාරධර්මවලට ගරුකරන කෙනෙක් රටට අවශ්‍යයි.  රටේ අනන්‍යතාව හඳුනා නොගත් කෙනෙකුට ඉදිරියට යා නොහැකියි. මේ නිසා අද රටේ ජනතාව විකල්පයක් හොයනවා. ශ්‍රී ලංකාව භෞතික සම්පත්වලින් පෝෂිත රටක්. ලෝකයේ ඕනෑම රාජ්‍යයකට අභියෝග කළ හැකි මානව සම්පතක් තියෙනවා. මේ සම්පත් පිළිබඳ අවබෝධයක් සහ නියාමනයක් ඇති කෙනෙක් මේ රට බාරගත යුතුයි. දැන් සිටින පාලකයෝ බුදු දහමේ අගය වටහාගෙන නැහැ. මොන පාලකයා ආවත් අපේ රටේ බුදුදහමට ගරු නොකරන, එයට මුල් තැන නොදෙන්නක් නම් ඔහුට පැවැත්මක් නැහැ. ආගමික සංහිඳියාව ගොඩනඟා ගත හැක්කේ බුදුදහමේ දාර්ශනික පදනම මතයි. එම දර්ශනය මත රටේ දියුණුවට වැඩ කළ හැකි පාලකයකු පත්විය යුතුයි.

ජනතාව ඉතා නිවැරදි තීන්දුවක් ඉදිරියේදී ගත යුතුයි. එසේ නොවුණොත් මේ රට තව තවත් අගාධයට පත් වේවි. මේ යන රටාව වෙනස් විය යුතුයි. බොහෝ විට අලුතින් පාලකයකු පත්වන්නේ ඔහු තුළ ඇති දක්ෂතාව, ප්‍රතිභාව හෝ ධාර්මිකත්වය මත නොව, දැනට සිටින පාලකයාගේ දුර්වලතා නිසයි. මෙම තත්ත්වය අනිවාර්යයෙන්ම වෙනස් විය යුතුයි.” යනුවෙන් ප්‍රකාශ කළහ.

නිදහසින් පසු මෙරට පාලනය වූයේ තට්ටු මාරු ක්‍රමයටය. පක්ෂ දේශපාලනය මත නායකයන් බලයට පත් වූ විට ඔහුගෙන් සේවය සැලසුණේ  සමස්ත ජනතාවට නොව තමන්ට හිතවත් පාක්ෂිකයන්ටය. එහෙයින් අනාගත ජනාධිපතිවරයා විය යුත්තේ කිසියම් පක්ෂයක නායකයකු නොව රටට ආදරය කරන ජනතා නායකයෙකි. එවැන්නකු පත්කර ගැනීමේ වගකීම ඇත්තේ ජනතාවටය. එහෙත් ජනතාව අද විවිධ පිල්වලට බෙදී සිටිති. මේ රට සංවර්ධනය කරා ගෙන යා හැකි සැබෑ නායකයකු පත්කර ගැනීම ඔවුන් වෙත පැවරී ඇති වගකීමය. එහෙත් එවැන්නක් ඉටුවේද යන්න අවිනිශ්චිතය. 

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා