2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

ගෙයක හිමිකම කේන්දරයෙන් කියන්න පුළුවන්

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 854

අප සැම දෙනාටම ජීවත් වීම සඳහා නිවාසයක් අවශ්‍ය වේ. මිනිසා පමණක් නොව සතා සීපාවා ද, උරගයන් සහ කුරුලු කෙවිල්ලන් ද වාසය කරන්නේ නිවාසවලය. නිවාස ජනතාවගේ මූලික අවශ්‍යතාවලින් ප්‍රධාන එකකි. නිවාසය අනුව සමාජය කෙනකුගේ තත්ත්වය ද මනිනු ඇත. ඒ නිසා බොහෝ දෙනා උත්සාහ කරනුයේ හොඳ තත්ත්වයේ ගෘහයක හිමිකාරයා වීමටය.

දේපල පෙන්වන්නේ කේන්ද්‍රයේ 4 වැනි භාවයෙනි. ලැබීම් සඳහා 2 වැනි භාවයත්, උරැම හිමිකම් පිළිබඳ 8 වැනි භාවයත්, අදහස් ඉෂ්ඨවීම් සඳහා 11 වැනි භාවයත් ගණන් ගැනේ. කුජ ග්‍රහයා ඉඩකඩම් සම්බන්ධව ද, ගුරැ ග්‍රහයා නිවාස ගොඩනැගිලි ආදිය ද නියෝජනය කරයි.

එම නිසා ඉහත සඳහන් භාවයන් සහ ග්‍රහයන් අතර ග්‍රහ දෘෂ්ටි, යෝගවීම් ආදිය ද එම ග්‍රහයන් නිවේදනය කරන දසා කාල ආදිය ද මේවා ලබාගැනීමට අදාළ වෙයි. වතුපිටි ගැනෙන්නේ නිශ්චල දේපලක් හැටියටය. පිය උරුමය 9 වැනි භාවය ද සම්බන්ධ විය යුතුය.

එම නිසා අනිවාර්යයෙන්ම 4 හා 11 සහ ඉහත සඳහන් ග්‍රහයන් බලවත් අයට ඉඩකඩම් ලබාගැනීම පහසු වෙයි. සමහර අවස්ථාවල මේවා ලබාගැනීමට හැලහැප්පිලි, නඩුහබ ආදිය ද ඇතිවෙයි. ඉහත කී භාව සමඟ 6 ද සම්බන්ධ වුවහොත් හැලහැප්පිලි මෙන්ම 7 සහ 9 වැනි භාවයෙන් නීතිය ඉදිරියට යෑමක් පෙන්වයි. හැලහැප්පිලි නොමැතිව ඔප්පු මාර්ගයෙන් මෙය ලබාගැනීමට නම් බුධ ග්‍රහයා ද සම්බන්ධ විය යුතුය. 8 වැනි භාවය ජන්මියාගේ බොහෝ කටයුතුවලට බාධා කළ ද උරුම හිමිකම් සම්බන්ධයෙන් ජන්මියාට වාසිදායක අන්දමට ක්‍රියා කරයි. ශනි ද කොතරම් බාධා, ප්‍රමාද කිරීම්, දිග්ගැස්සීම් ආදිය කළත් මෙවැනි අවස්ථාවලදී කෙසේ හෝ එය කර දෙයි. විශේෂයෙන් තමාට උරැම මහ ගෙදර ලබාගැනීමේ දී ශනි මෙයට මැදිහත් වීම වාසියක් ගෙන දේ. මන්දයත් ශනි 4 සිටිමින් විශාල පැරණි ගෙවල් පෙන්වන හෙයිනි.

අප නිවාසයක් අයිති කර ගන්නේ කිහිප ආකාරයකටයි. සමහරු ගෙවල් හදති. සමහරු හදපු ගෙවල් මිලදී ගනිති. සමහරැන්ට එය උරැම වෙයි. සමහරු බද්දට ගෙන ජීවත් වෙති.

ඉඩමක් මිලයට ගනිද්දී කේන්ද්‍රයේ 4, 11, 12 පෙන්වයි. ඉඩමක් විකිණීමේ දී 3 සහ 12 ද ඉවහල් වෙයි. එමෙන්ම 12 උප අධිපතියා ද 14, 11, 12 නිවේදනය කරන විට ගෙවල් හදති.

කේන්ද්‍රයේ 4, 6, 12, 9 නිවේදනය කරන විට ගෙවල් ගනිති.

මෙවැනි දෑ කිරීමට අදාළ ග්‍රහයන් ඒකාබද්ධ වන කාලයක් ඇත. එම දසා, අන්තර් දසාවලදී ගෙවල් හැදීම, ගැනීම, හදපු ගෙවල් විශාල කර ගැනීම සඳහා වරින් වර වියදම් කිරීම කරයි.

තමන්ට හිතුණුදාට හැම දෙයක්ම කළ නොහැකිය. නිවාසවලට පමණක් නොව කොයි දේටත් මෙය වලංගුය. එම නිසා මේවා කිරීමට සුදුසු කාලය අප කේන්ද්‍රයෙන් බලාගත යුතුය. නැතහොත් වරින් වර ඇනහිටීම්, දැඩි අලාභ විඳගැනීම් ආදියට භාජනය වෙයි. ඉඩමක් ගෙයක් විකිණීමට නුසුදුසු කාලයක එය විකුණන්නට ගියහොත් පාඩුවට එය කිරීමට සිදුවෙයි. ඉඩමක් ගැනීමේදී අනිසි වේලාවක කිරීමට ගියහොත් (බොහෝවිට එය නොකෙරේ.) එය මුදලේ වටිනාකමට සරිලන ඉඩමක් නොවනවා ඇත.
මෙහි ඇති නිදර්ශන කේන්දරයෙන් පෙන්වන්නේ අදාළ භාවයන්හි සාපේක්ෂක ග්‍රහ සංයෝග යෙදී ඇති වකවානුවල නිවාස වැඩ කටයුතුවල සාර්ථකත්වය යෙදුණු ආකාරයයි.

ගෙවල් ගැනීම, සෑදීම, විකිණීම හා තමන් සතු කරගත් ගෙවල්වල යම් යම් අවස්ථාවල විශාල කිරීමට මුදල් වියදම් කිරීම ආදිය යෙදුණු වකවානු මෙයින් පෙන්වයි.

1947.01.01
ජ්‍යොතිෂවේදී එම්. විජයවංශ හිමි
පානදුර