2019 ජුලි 20 වන සෙනසුරාදා

මුස්ලිම් රටවලට එපා වුණත් ලංකාවේ තාම තිබෙන මුස්ලිම් විවාහ නීති

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 280

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට විවාහ වීමේ වයස් සීමාව වයස අවුරුදු දහ අට ලෙසින් සැලකුව ද මුස්ලිම් නීතියට අනුව මුස්ලිම් කාන්තාවක් විවාහ වීමේදී එම වයස් සීමාව අදාළ නොවේ. මේ නිසාම ඉතා අඩු වයසේදී වුවද මුස්ලිම් කාන්තාවන් විවාහ කරගැනීමටත්, තම දියණියව විවාහ කර දීමටත්, පිරිමින්ට මෙන්ම දියණිවරුන්ගේ දෙමව්පියන්ට අයිතිව තිබුණි.

ඇතැමුන් ඉස්ලාමීය ආගමේ සඳහන් විවාහ නීති පිළිබඳ විවේචනයක් එල්ල කළ අතර මේ විවේචන කළ අය අතර අඩු වයසේදී ගැහැනු දරුවකු විවාහ කර දීමට අකමැති බොහෝ දෙනෙක් සිටියහ. මෙම විවේචන අද ඊයෙක ඇතිවූවක් නොවේ. වසර ගණනාවක් තිස්සේ විවිධ සංගම් මෙන්ම විවිධ නිලතල දරන්නෝ රජයෙන් මෙම නීති සංශෝධනය කරන ලෙස ඉල්ලා සිටියහ.

මුස්ලිම් කාන්තාවන්ට විවාහ විය හැකි වයස අවුරුදු දහඅට දක්වා වැඩි කිරීම මෙන්ම තවත් මුස්ලිම් විවාහ නීති සම්බන්ධයෙන් අවශ්‍ය නීති සංශෝධනයක් කළයුතු බවට පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් නැවතත් කළ යෝජනාවට බොහෝ පිරිසක් එකඟ වී සිටිති.

ශ්‍රී ලාංකික මුස්ලිම් විවාහ හා දික්කසාද පනත 1770 ලන්දේසී පාලන යුගයේදී ඇති වූ නීති සංග්‍රහයකි. එකල බටාවියාව නමින් හැඳින්වූ වර්තමාන ඉන්දුනීසියාවෙත් මෙම විවාහ සහ දික්කසාද නීති සංග්‍රහය ගෙන ආ අතර වසර කිහිපයකදී මෙම නීති සංශෝධනයන්වලට ලක් විය. 1951 වසරේදී පවත්නා මුස්ලිම් විවාහ හා දික්කසාද පනත නීතිගත වුණි.

මෙම නීති පනතට අනුව වයස අවුරුදු දොළහක දැරියකගේ විවාහයට පවා අනුමැතිය ලැබුණු අතර මේ සඳහා මනාලියගේ කැමැත්ත අනිවාර්යය නොවුණි. යම් හෙයකින් දික්කසාද වීමට අවශ්‍ය නම් කිසිදු හේතුවක් නොමැතිව ඒකපාර්ශ්වීය දික්කසාද වීමේ අයිතිය හිමිවූයේ පිරිමියාට පමණි.

“මීට වසර ගණනාවකට උඩදී කළ නීති පනත් සංශෝධනයකට අනුව විවාහ වීමට වයස අවුරුදු දහඅටක් විය යුතුයි කියන පනත නැවතත් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒක තමයි අපිත් ඉල්ලලා තියෙන්නේ. සමහරු එය අවුරුදු දහසය සහ දහහත ලෙස නම්කරලා තියෙනවා. අවුරුදු දාහතේ ළමයින්ට විවාහ වෙන්න ඕනෙනම් ඒකටත් ඉඩ දෙන්න පුළුවන් කියලා තමයි ඔවුන් කිව්වේ. ඒ වයසේ ළමයින්ට විවාහ වෙන්න අවස්ථාව දුන්නොත් දැනටමත් ළමයින්ට වෙන අපරාධ, හිංසා, හිරිහැර, ප්‍රශ්න අඩුවෙන එකක් නැහැ කියලා අපි පෙන්නුම් කළා. ඔවුන්ට විවාහ වෙන්න අවස්ථාව දුන්නොත් මෙයට සාර්ථක විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා වර්තමානයේදී මෙම පනත් සංශෝධනය අනුව එය වයස අවුරුදු දහඅට ලෙස තීරණය කිරීම ගැන අපි ඇත්තටම සතුටු වෙනවා”

යැයි මානව හිමිකම් නීතිවේදිනී එර්මිසා ටීගල් මහත්මිය දේශයට පැවසුවාය.

මුස්ලිම් විවාහයකදී මනමාලියගේ භාරකරුවා වෙනුවට විවාහ වන මුස්ලිම් කාන්තාවගේ කැමැත්ත ඇතිව ඇයගේ අනිවාර්යය කිරීමත්, කාති අධිකරණයේදී මුස්ලිම් දික්කසාද නඩු විභාග කිරීම සඳහා පිරිමි මහේස්ත්‍රාත්වරයකුට අමතරව කාන්තා මහේස්ත්‍රාත්වරියක් ද එක්කළ යුතු බවත් මෙහිදී යෝජනා විය.

“මේ සම්බන්ධව වසර හැත්තෑවකට අධික කාලයක සිටම සාකච්ඡා බොහෝමයක් පවත්වලා තියෙනවා. 1951 වසරේදී නීතිගත වුණු මේ පනතට ලංකාවේ ඉන්න ශ්‍රී ලංකාවේ ඉගෙනගත්තු මුස්ලිම් ප්‍රජාවේම ඉන්න, බොහෝ දෙනා මේ සම්බන්ධ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. මේ පනත නිසා සමාජයේ යහපතට කිසිදු සුභසාධනයක් වෙන්නේ නැහැ කියලා කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. ගැහැනු ළමයින්ට මේ වයස් සීමාව නිසා සිදුවන කරදර පිළිබඳ කරුණු ඉදිරිපත් කළා. නමුත් පත්වුණු මේ කමිටු නැවත නැවතත් එකම දේ තමයි පෙන්වලා දුන්නේ. කතා කළේ. අවුරුදු හැත්තෑවක් තිස්සේ එකම දේ හඳුන්වලා දුන්නා නම් ඒ වයස් සීමාව සංශෝධනය කිරීමට අවශ්‍යතාවය ගැන තවත් මොන කතාද?”

පැවසුවාය යැයි ප්‍රගතිශිලී මුස්ලිම් සමාජයක් උදෙසා වූ තරුණ එකමුතුවේ සමකැඳවුම්කරැ අර්ෂාඩ් නජුඩීන් පවසයි.

“2018 ඉදිරිපත් කළ යෝජනාවට කීපදෙනෙක් කැමැත්ත පළකරලා යෝජනාව සම්මත කරන අතරතුරේ ඒ යෝජනාවේ අඩංගු සමහර කරුණුවලට විරුද්ධ වුණු තවත් පාර්ශවයකුත් මේ අතරේ හිටියා. මාධ්‍ය ඉදිරියේ හොඳ මුහුණ පෙන්නුවත් ඒ දොර වහගත්තට පස්සේ ඔවුන්ගේ මතය වෙනස් වෙන හැටි අපි දැක්කා. මුස්ලිම් ප්‍රජාව ගත්තොත් මේ 18 කියන්නෙත් එක කාරණාවක්. ඒ වගේම තවත් සංශෝධනය කළ යුතු තැන් බොහෝමයක් තියෙනවා. තරුණියක් විදිහට දහඅටෙන් වාහනයක් පදවන්න ලයිසන් එකක් දෙනවානම් ඡන්දය පාවිච්චි කරන්න අවම වයසක් තියෙනවානම් තමන්ගේ ජීවිතයේ ජීවිත කාලය පුරා ඉදිරියට ගෙනයන්න එකට ජීවත් වෙන්නට සහකරුවා තෝරාගන්නට මේ වයස ලබා නොදෙන්නේ මොන පදනමක් මතද කියන ගැටලුව අපි හැමෝටම ඇතිවෙනවා. සමහරු මේ සීමාව වයස අවුරුදු දහසය විය යුතුයි කියලා මතයක් පළකරනවා. ඇත්තටම එවැනි මත පළකරන අය නැවතත් පාසල් යැවිය යුතු බවයි අපේ මතය වෙන්නේ” අර්ෂාඩ් සඳහන් කරයි.

සාමාන්‍ය පෙළ අධ්‍යාපනයක්වත් නොලැබෙන දරුවන්ට ජීවිතය පිළිබඳව අවබෝධයක් ලැබෙන්නේ නැත. බොහෝවිට මේ වයස් අවුරුදු දහඅට කළ යුතුය යන මතයට විරුද්ධ වන්නන්ගේ පවුල්වල මේ තත්ත්වය දක්නට නොලැබේ. අඩු වයසින් විවාහයක් බොහෝවිට සිදුවන්නේ ග්‍රාමීය පළාත්වල මිනිසුන් අතරයි. වත්කම් නැති, අධ්‍යාපනය අවම පහසුකම් ඇති ග්‍රාමීය පවුල්වල මේ තත්ත්වය බොහෝවිට දක්නට ඇත. එවැනි පවුල් ගැන නිසි තක්සේරැවක් නොකොට, ඔවුන්ගේ චර්යා රටාවන්, ඔවුන්ගේ ගැටලු සැලකිල්ලට නොගෙන යල් පැනගිය මතවල එල්බ සිටීම කනගාටුවට කරුණකි.

බටාවියාවෙන් (ඉන්දුනීසියාව) ගෙන ආ මෙම විවාහ හා දික්කසාද නීති පනත් එම රටේදීම අද වනවිට සංශෝධනය කර ඇත. එපමණක්ම නොව පකිස්ථානයේ සෙනට් සභාව මගින් ඒකමතිකව මෙම වයස් සීමාව වසර දහඅටක් විය යුතු බවට තීරණය කර ඇත. මුස්ලිම් රටවල් මෙසේ මුස්ලිම් නීති පනත් සංශෝධනය කරද්දී මුස්ලිම් ජාතිකයන් සුළුතරයක් සිටිනා ලංකාවේ අදටත් ඒ යල් පැනගිය නීති පද්ධතිය මත මුස්ලිම් ජාතිකයෝ එල්බගෙන සිටිති. මේ හානිය වැඩිවශයෙන් බලපානු ලබන්නේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පවුල්වලට සහ දිළිඳු පවුල්වලටය. මෙමඟින් මුස්ලිම් කාන්තාවන්ට බොහෝ දෙනාට උසස් අධ්‍යාපනය සඳහා යාමේ ඕනෑකම සහ ඔවුන්ගේ තනි කැමැත්ත අඩු වයසින් විවාහ වන්නට බොහෝ මුස්ලිම් ගැහැනු දරුවන්ට සිදු වෙයි.

නැගෙනහිර පළාත ආශ්‍රිතව කළ සමීක්ෂණයකට අනුව මුස්ලිම් ළමා විවාහ වසරක් ඇතුළත දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව මානව හිමිකම් නීතිවේදිනී එල්ටීසා ටෙගල් වැඩිදුරටත් පැවසුවාය.

මේ සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගෙන් ද අපි අදහස් විමසුවෙමු.

“පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු මෙම පාර්ලිමේන්තු පනත සංශෝධනයට එකඟතාවය පළකරලා තියෙනවා. විවාහ විය හැකි වයස අවුරුදු දහඅටයි. ඒ වගේම මනමාල මහත්තයාට අමතරව මනමාල මහත්මියත් විවාහයට අත්සන් කළයුතු වෙනවා. මෙතෙක් මනමාල මහත්මිය වෙනුවෙන් ඇයගේ පියා හෝ භාරකරු තමයි අත්සන් කළේ. නමුත් එයද සංශෝධනය කරන්නට යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. මීට අමතරව තවත් සංශෝධන කිහිපයකටම අපි එකඟතාවය පළකරලා තියෙන්නේ. මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයත් අධිකරණ අමාත්‍යංශයත් ඒකාබද්ධව ඒ සංශෝධනය ඇතුළත් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ගත්තායින් පසුව මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නවා. ඉන්පසුව තමයි එය නීතියක් බවට පත්වෙන්නේ”

මෙතෙක් කාලයක් බොහෝදෙනා මෙම පනත සංශෝධනය  පිළිබඳව විවිධ අදහස් ඉදිරිපත් කළහ. ඇතැමුන් මෙයට කැමැත්ත පළකළද ඇතැමුන් මෙයට කිසිවක්ම නොකියා මුණිවත රැක්කාහ. කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගෙන් බොහෝ දෙනකු මෙම පනත සංශෝධනය වනතුරු බලා සිටින බව පැහැදිලිය.

 

► දිශානි ජයමාලි කරුණාරත්න