2019 ජුලි 20 වන සෙනසුරාදා

කරවල කනවා වගේද වේළන එක

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 374

මේ කරවල ගැන කරළියට නොපැමිණි කතාවයි. බත ප්‍රධාන ආහාරය කරගත් දූපතක මිනිසුන්ගේ දෛනික ආහාරවේලට ඉඳහිට කරවල හොද්දක් බැදුමක් එක්වීම සාමාන්‍ය  කරුණක්ව තිබේ. එම නිසාම හොඳ කරවල කෑල්ලක් ගෙදරට මිලදී ගන්නට රසවත්ව උයා පිහා ගන්නට කවුරැත් කැමතිය. එම නිසාමදෝ කරවල නිෂ්පාදනය ගැන සොයා බලන්නට වර්තමාන වස විස කතාව පිළිබඳව දැන කියාගන්නට අපි උත්සාහයක් දැරුවෙමු.

මාස ගණන් මුහුදු යන අය බෝට්ටුවේ වේළන කරවල බෝට්ටු කරවලය. ඊට අමතරව මුල් කාලයේ දී එම බෝට්ටුවල ඇල්ලූ මාළු පළා සුද්ධ කර ලුණුවල බහා අයිස්වල ගබඩා කර ගෙනැවිත් වෙළෙන්දන්ට විකිණීමෙන් ද කරවල නිෂ්පාදනය කෙරේ. එහිදී සිදුවන්නේ ලුණුමාළු කරවල වාඩිවලදී සෝදා අව්වේ වේළා ගැනීමයි. මෙලෙස සකසා ගන්නා කරවල, ලුණු-කරවල හෙවත් වාඩි-කරවල ලෙස හැඳින්වේ.

ඊට අමතරව ධීවර යාත්‍රා මගින් අල්ලා ගොඩට රැගෙන එන මාළුන්ගෙන් නරක් වූ තැලුණු මාළු අඩු මුදලට මිලදී ගෙන වේළා සකසා ගන්නා කරවල ද තිබේ. මෙම ක්‍රමයේ ගුණාත්මකභාවය තරමක් ගැටලු සහගතය. කෙසේ නමුත් ප්‍රධාන වශයෙන් වේළාගන්නා ක්‍රමය ඇතුළු තවත් කරුණු කාරණා කිහිපයක් පදනම් කරගෙන කරවල වර්ග කිරීම සිදුවේ. කරවල කතාව තුළ කිව යුතු තවත් කරුණක් නම් අප ඉන්දියන් සාගර දූපතේ මිනිසුන් වුවද පිටරටින් කරවල ආනයනය කරන බවයි. ඒ පසුපස ඇත්තේ වෙනස්ම කතාවකි. එය පසු දිනෙක අපි ඔබට කියන්නෙමු.

ඔබ බත්පතේ වන කරවල කෑල්ල ඉහත කුමන වර්ගයට අයත් එකක් ද? එය දැනගැනීමට නම් කරවල කූරියා කතා කළ යුතුමය. එහෙත් එසේ නොවන නිසා කරවල සෑදෙන විස්තරය අපි ඔබට ගෙන එන්නෙමු. මෙය වඩාත් පොදු වූ කරදිය මාළු වියළීමේදී අනුගමනය කරනු ලබන පිළිවෙතයි. ප්‍රථමයෙන් මාළු තෝරාගැනීම හා මිලදී ගැනීම සිදුකළ යුතු වේ. බහුදින ධීවර යාත්‍රාවල මුල් දිනවලදී වියළනු ලබන කරවල නිෂ්පාදනය සඳහා තෝරාගන්නේ අලුත් මාළුය. එම නිසා බෝට්ටු කරවල රසයෙන් ගුණයෙන් ඉහළ බවට පිළිගැනීමක් වෙයි. කුණු වූ නරක් වූ මාළු කරවල නිෂ්පාදනයට තෝරාගන්නා බව රටට තරමක් රහසක් වුවද කර්මාන්තයේ ප්‍රජාව අතරේ රහසක් නොවේ. 

කරවල බවට පත් කිරීමට තෝරාගත් මාළුවල අනවශ්‍ය කොටස් ඉවත් කිරීම සහ සේදීම දෙවැනි අදියරේ දී සිදුවේ. මෙම කටයුත්ත පමාවකින් තොරව කළ යුත්තකි. කරවල ලෙස වියළාගන්නා මාළු වර්ග රැසක් වන නිසාම මාළුන්ගේ විශාලත්වය අනුව වෙන්කර මෙම පිරිසුදු කිරීම සිදුවේ. කූරි පිටින් වේළාගත් මාළු එකට පලා වේළාගත යුතු කොටස් හැර ඉතිරි අභ්‍යන්තර කොටස් ඉවත් කිරීම මෙහිදී සිදුවේ. කොරපොතු ආදිය ද ඉවත් කිරීමෙන් පිටතින් ද කූරියාට මනා පෙනුමක් ලබාදෙයි. ප්‍රමාණයක විශාලත්වය ඇති  බලයා, කෙලවල්ලා, මෝරා වැනි මාළු වර්ග කෑලිවලට කපනු ලබයි. බොහෝවිට අඟල් 1ක ඝණකම සහිත තීරුවලට හෝ ඍජුකෝණාස්‍රාකාර කුට්ටි ලෙස මෙම කැබලි කිරීම සිදුවේ. සේදීමේ දී සිදුවන්නේ ද තවදුරටත් කරවල සඳහා වන මාළු පිරිසුදු කිරීමයි. කැටි ගැසුණු රුධිරය මෙන්ම විෂබීජ ඇත්නම් ඒවා ද මෙහිදී ඉවත් වේ.

පිරිසුදු කර සෝදාගත් මාළු තෙත සහිත බවින් යුක්තය. වියළීමට පෙර මෙම ස්‍රාවය පෙරා ඉවත් කිරීම සිදුකළ යුතු වේ.
මෙහිදී මාළු කූරි හෝ කැබලි එකිනෙක හා ගැටෙන ලෙස, එහෙත් ප්‍රමාණය නොඉක්මවන ලෙස ඇතිරීම සිදුවේ. මේ හරහා ශ්‍රාවය ඉවත් වීම මාළු කූරියා කරවල කූරියකු වීමට යන ගමන ඉක්මන් කරයි. කරවල කිරීමට මේවා තැටි වියළනයක හෝ වියළන රාක්කයක් මත වියළීමට තැබිය යුතුය. මෙම කටයුත්ත අවසානයේ දී කරවල වේළීමේ කටයුත්ත ආරම්භ වෙයි.

ලුණු දමා හෝ නොදමා වියළා ගැනීම මෙහි එන ප්‍රධානතම වියළා ගැනීමේ ක්‍රම දෙකයි. කෙසේ නමුත් ෆෝමලීන්, ටර්පන්ටයින්, පෙට්ට්‍රල්, වස විස ගසා වේළීම ආදී අතුරු කතා මතුවන්නේ මෙම අදියරේදීය. ස්‍රාවයෙන් පසු මාළු බේසමක හෝ ප්ලාස්ටික් භාජනයක් තුළ බහා සාමාන්‍ය ප්‍රමාණයට ලුණු ස්වල්පයක් ගලවනු ලබයි. තදින් ලුණු ගල්වා වියළීම සිදුකරන්නේ නම් මාළු කිලෝග්‍රෑම් 10ක් සඳහා ලුණු කිලෝග්‍රෑම් 1ක් භාවිත කෙරේ. ගබඩා කරන භාජනයේ පතුලේ ලුණු අතුරා ඒ මත මාළු තට්ටුවක් තබා නැවත ලුණු අතුරා මාළු තට්ටු කිහිපයක් සකසා ගනී. අවසාන ස්ථරය ලුණු තට්ටුවකි. මෙම ලුණු ගැසීම කල්තබා ගැනීමේ ක්‍රමයකි. මාළු කරවල කිරීමට කාලය ලබාගැනීමකි.

සියල්ල අතරේ කරවල වේළීමේ දී පණුවන් මතුවීම ඉතා සුලභ සිදුවීමකි. මෙරට මහා පරිමාණයෙන් වියළන යන්ත්‍රවල දමා මෙම කටයුත්ත සිදු නොවන නිසාවෙන් වාඩිවල මෙන්ම ගෘහස්ථව ද සිදුකරන කරවල වේළීම්වලදී විශාල සෞඛ්‍ය ගැටලු ප්‍රමාණයක් මතුවේ. නුසුදුසු ස්ථාන රාශියක කරවල වේළීම නිසා තවත් ගැටලු රැසක් මතුව තිබේ. ඇතැම් තැන්වල වියළාගන්නා කරවලවලට අහළ පහළින් යන සතකු හෝ ආකර්ශනය නොවේ. එය මෙලෙස විමසිය යුතුය. ලාභය පමණක් අරමුණ කරගෙන කරනු ලබන මෙම කරවල වියළීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට පිරිසක් ඉහත සඳහන් කළ ශරීරයට අහිතකර ද්‍රව්‍ය භාවිත කරන බව දැනගැනීමට ඇත. නරක් නොවීම, ඉක්මනින් වේළාගැනීම ආදිය වෙනුවෙන් මෙවන් කටයුතු සිදුවේ.

කරවල වියළීමේ ක්‍රියාවලිය බොහෝ විට රඳා පවතින්නේ කාලගුණය මත බව පෙර දී දැක්වීමු. ඒ නිසාවෙන්ම මේ සඳහා එක් දිනක සිට දින කිහිපයක් දක්වා දින ගණනාවක් ගතවීමට පිළිවන. කුඩා මාළු හොඳින් හිරු එළිය පවතින විට එක් දිනයකදී වුවද වේළාගත හැකිය. නමුත් ලොකු මාළු වියළීම පහසු නැත. සාමාන්‍යයෙන් වි‍යළුණු කරවල වඩාත් ශක්තිමත්ව ඝණව පවතී. ඇඟිලිවලින් තද කළ විට එබීමක් සිදු නොවන්නේ නම් එම කරවල ප්‍රමාණවත් ලෙස වියළී තිබේ. එය සාමාන්‍ය විශ්වාසයයි. එහෙත්  කරවල වර්ග අනුව එහි යම් යම් වෙනස්කම් ද ඇතිවෙයි.

කරවල වේළීමේ ගුණ දොස් මෙසේ වෙද්දී අපි අවසානයේ අවධාරණය කරන්නේ සෞඛ්‍ය අංශ මෙන්ම ධීවර බලධාරීන් ද මෙම කර්මාන්තයේ සෞඛ්‍ය ආරක්ෂිත බව ගැන තවදුරටත් අවධානය යොමු කළ යුතු බවයි. වස විස කතාව තවත් ගැඹුරින් විමසුවහොත් ලංකාවේ මිනිසුන්ට කරවල නොකා සිටීමට හැකිය. එලෙස සිදු වුවහොත් කර්මාන්තයේ නියුතු බොහෝ දෙනකුගේ ජීවිත බිඳ වැටෙනු ඇත. මෙම ගැටලු දෙකොනින් පත්තු වීමට පෙර නිවාගැනීම බලධාරීන්ගේ වගකීමකි.

► චමිඳු නිසල්