2019 ජුලි 20 වන සෙනසුරාදා

පොලිස් පැමිණිල්ලක ලියැවුණු වසර 46කට පෙර කළ අතවරය

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 65

ළමා ලිංගික අපචාර සම්බන්ධ තොරතුරු ලොව විවිධ රටවලින් වාර්තා වේ. පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේද ළමා අපචාර සංඛ්‍යාව ඉහළ ගිය අතර ඒ පිළිබඳ කතිකාවක්ද ඇති විය. ළමයකුගේ කායික හා මානසික තත්ත්වයට බාහිරව, ඔහුගේ හෝ ඇයගේ යහපතට, හා මනා කල්ක්‍රියාවට එරෙහිව සිදු කරන කුමන හෝ අයහපත් ක්‍රියාවක් ළමා අපයෝජනයක් ලෙස හැඳින්වේ. ළමයින්ට එරෙහිව සිදු කරනු ලබන විවිධ ආකාරයේ අපරාධ, වැරදි, නොසලකා හැරීම් හා ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන කවර හෝ ආකාරයේ ක‍්‍රියාවක් ළමා අපයෝජනය ලෙස හැඳින්විය හැකිය.

නිවෙසේදී, පාසලේදී, ආගමික ස්ථානවල ළමුන් අපයෝජනයට ලක්වන බව අසන්නට ලැබේ. දේශපාලකයන්, සංචාරකයන් වෙතින්ද ළමයින් අපයෝජනයට පත්වූ අවස්ථා පිළිබඳව පසුගිය කාලයේ අසන්නට ලැබිණි.

ළමා අපයෝජනය සංකීර්ණ ස්වභාවයක් ගනියි. මෙය ළමයින් කෙරෙහි විවිධ අහිතකර බලපෑම් ඇති කරන්නකි. එය කායික, මානසික හා සමාජයීය වශයෙන් ඔහු හෝ ඇය කෙරෙහි බලපාන්නකි. මින් වසර 46කට පෙර සිදු වූ අපයෝජනයක් නිසා මහත් ලජ්ජාවට පත් පුද්ගලයකු පසුගියදා තමාට සිදු වූ අසාධාරණය පිළිබඳව මීගමුව පොලීසියට පැමිණිල්ලක් කර ඇත්තේ එම මානසික පීඩාව තවදුරටත් දරාගත නොහැකි වූ බැවින් විය යුතුය.

මෙම පැමිණිල්ල කළ පුද්ගලයා 56 හැවිරිදි වියේ පසුවන්නෙකි. මින් වසර 46කට ඉහත එවක දස හැවිරිදි වියේ පසු වූ තමා හා තම මිතුරන් දෙදෙනකු එක්තරා ස්විස් ජාතිකයකු විසින් අපයෝජනයට ලක් කළ බවට ඔහු පැමිණිලි කර තිබිණි. පැමිණිලිකරු මීගමුව ප්‍ර‍දේශයේ පදිංචිව සිටි අයකු වන අතර මේ වන විට ස්විස්ටර්ලන්තයේ පුරවැසිකම හිමිකරගෙන සිටින පුද්ගලයෙකි. අපයෝජනයට ලක් වූ මිතුරන් දෙදෙනාද විදේශයක වාසය කරන බව ඔහු පවසා තිබේ. 

වරින් වර ශ්‍රී ලංකාවට පැමිණෙන පැමිණිලිකරු මෙවර නිවාඩුවකට පැමිණි අවස්ථාවේ අතීත සිදුවීම යළි සිහිපත් වූ බවද, ඒ සම්බන්ධයෙන් තමා තුළ ලජ්ජාවක් ඇති වූ හෙයින්  තවමත් මෙරට පදිංචිව සිටින තමා හා තම මිතුරන් අපයෝජනයට ලක් කළ ස්විස් ජාතිකයාට එරෙහිව නීති මගින් ක්‍රියා කිරීම සඳහා මෙලෙස පැමිණිලි කළ බවද පවසා තිබේ. මෙම ස්විස් ජාතිකයා තවත් ළාබාල දරුවන් අපයෝජනයට ලක් කිරීමට ඉඩ තිබෙන හෙයින් දරුවන් මෙම පුද්ගලයාගෙන් ගලවා ගැනීම පැමිණිල්ලේ තවත් අරමුණක් යැයි ඔහු පවසා තිබේ.

චෝදනාවට ලක් වූ 80 හැවිරිදි ස්විස් ජාතිකයා තවමත් මීගමුවේ දළුපොත ප්‍රදේශයේ පදිංචිව සිටින්නෙකි. පැමිණිල්ල පිළිබඳව වහා ක්‍රියාත්මක වූ පොලීසිය ස්විස් ජාතිකයා මීගමුව ළමා හා කාන්තා කාර්යාංශය වෙත කැඳවා ඉහත කී සිදුවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පියවර ගත්තේය. එහෙත් ස්විස් ජාතිකයා මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ මෙවැනි සිදුවීමක් පිළිබඳ තමා නොදන්නා බවයි. ඒ අනුව ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමෙන් පසු ඔහු මුදාහැර ඇති අතර පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමට පියවර ගෙන තිබේ.

ඉහත පැමිණිල්ල කළ පුද්ගලයා නොබෝ දිනකින් යළි ස්විස්ටර්ලන්තය බලා යෑමට නියමිතය.

► ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා