2019 ජුලි 20 වන සෙනසුරාදා

නාට්‍ය සාහිත්‍යයක් කොහේද? පළවෙන්නේ විභාග ඉලක්ක පොත්

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 471

- බුද්ධදාස ගලප්පත්ති

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ සිංහබාහු නාටකයේ සුප්පාදේවී ලෙස දශක තුනක් රංගනයෙන් එක් වූ මාලනී රණසිංහ විශිෂ්ට රංගවේදිනියකි. සුප්පාදේවී කතා වස්තුව නමින් ඇයගේ චරිත කතාව සංස්කරණය කළේ සිංහබාහු නාටකයේ ඇය දශක තුනක් වෙස් ගැන්වූ සාහිත්‍යවේදී බුද්ධදාස ගලප්පත්ති විසිනි. එම කෘතිය සුරස පොතක් ලෙස පසුගියදා නිකුත් කෙරිණි. ඇගේ කතාව ඇය මෙන්ම සරලය. ඇය මෙන්ම අවංකය. ඇය මෙන්ම අව්‍යාජය. යනුවෙන් පොතට පසුවදනක් සපයන තිලකරත්න කුරුවිට බණ්ඩාර සඳහන් කරයි. තම සංස්කරණ ව්‍යායාමය පිළිබඳ හා නාට්‍ය අත්දැකීම් ගැන බුද්ධදාස ගලප්පත්ති අප සමඟ අදහස් දැක්වූයේ මෙලෙසිනි 

ඔබ මාලනී රණසිංහ නම් රංගවේදිනිය හා ඇති සම්බන්ධය ගැන කිව්වොත්?

මට මාලනී හමුවන්නේ 1970දී. එවිට මම සිංහබාහු නාට්‍යයේ අංග රචනා ශිල්පියා වශයෙන් කටයුතු කළා. ඇය සිංහබාහු නාට්‍යයේ සුප්පාදේවිගේ චරිතයට තමයි පැමිණුනේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිට ඇය එම චරිතයෙන් ඉවත් වන තුරු වසර ගණනාවක්ම ඇගේ අංග රචනා කටයුතු කළේ මමයි. සරච්චන්ද්‍ර නාට්‍ය කණ්ඩායමේ සියලු දෙනා අතර පැවති සම්බන්ධය නිසා අප නිතර ඇසුරැ කළා. සිංහබාහුවලට අමතරව ඇය රඟපෑ සරච්චන්ද්‍රගේ වෙස්සන්තර ගීතාංග නාට්‍යයේ සහ මායාදේවී නාට්‍යයේත් මම ඇයට අංග රචනා කළා.

ඔබට මෙම කෘතිය සංස්කරණය කිරීමට අවස්ථාව ලැබුණේ කෙසේද?

දිනක් මාලනී කිව්වා තම චරිත කතාව ලියමින් යන බව. අපි එය මුද්‍රණය කරමු කියලා මා පැවසුවා. ඇය ජීව විද්‍යා උපාධිධාරිනියක්. ලේඛිකාවක් නොවේ. ඇය ලියූ පිටපත් මට ලබාදුන්නා. තිලකරත්න කුරුවිට බණ්ඩාරත් එය කියවුවා. එම පිටපත විධිමත් සංස්කරණයකින් පසු හොඳ කෘතියක් බවට පත්කළ හැකි බව මට අවබෝධ වුණා.

අපේ රටේ නිළියන් ගැන ස්වයංලිඛිත චරිතාපදාන බිහි වී නැහැ නේද?

ඔව්. අපේ නිළියෝ ගැන එවැනි පොතක් පළවී නැහැ. එය ලොකු අඩුවක්. ඔවුන් විඳි අත්දැකීම් පාඨකයාට දැනගැනීමට ලැබෙන්නේ ස්වචරිතාපදානවලින්. ඒ නිසයි සුප්පාදේවී නිළියගේ චරිතාපදානයේ වැදගත්කම ඉහළ යන්නේ. වෙනත් රටවල නම් නිළියන් ලියපු අත්දැකීම් සහිත පොත් බහුලව පළවී තිබෙනවා.

මෙම කෘතියේ අන්තර්ගතය ගැන කිව්වොත්?

මෙහි විශාල අත්දැකීම් රාශියක් අඩංගුයි. ඒවා පිළිවෙළට තේමා ඔස්සේ පෙළගස්වා භාෂාව සංස්කරණය කිරීම මට බාර වුණා. ඇය ලියූ අත්දැකීම් උපයෝගී කරගෙන පාඨකයන්ට රසවත්ව කියවාගෙන යාහැකි කෘතියක් මම බිහි කළා. ළමා කාලය, විශ්ව විද්‍යාල ජීවිතය, මහාචාර්ය සරච්චන්ද්‍ර හමුවීම, ගුරු වෘත්තිය, නාට්‍ය නිසා රුකියාවෙන් ඇති වූ ප්‍රශ්න, නාට්‍ය චරිතය විචාරකයන් දුටු ආකාරය මෙහි විස්තර වෙනවා.

ඔබ මෙම කෘතිය සංස්කරණය කළේ කෙසේද?

ඇය ලියූ ජීවන අත්දැකීම් සාහිත්‍යමය ජීව ගුණයක් ලැබෙන පරිදි ඉදිරිපත් කිරීදමට මම මහන්සි ගත්තා. දින වකවානුවල නිවැරදිතාවය පරික්ෂා කරලා පරිච්ඡේද අනු මාතෘකාවලට වෙන් කර සකස් කළා. මේ පොතට ප්‍රකාශකයෙක් සොයා ගැනීමත් ගැටලුවක් වුණා. එම ගැටලුව විසඳීමට ෆාස්ට් ඇඩ් කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රේම් දිසානායක එකඟ වුණා.

අද නාට්‍ය හා රංග කලාව හදාරන විශාල සිසු පිරිසක් ඉන්නවා. ඔවුන්ට මෙවැනි පොත් පරිශීලනය වැදගත් වෙනවා නේද?

ඔව්. පාසල් සිසුන්ට වගේම විශ්ව විද්‍යාල සිසුන්ටත් මෙහි සඳහන් අත්දැකීම් ඉතා වැදගත්. අද හුඟදෙනෙක් ඉතිහාසය දන්නෑ. මහාචාර්ය සරච්චන්ද්‍ර නාට්‍ය පුහුණුවේදී සින්දු කියන්නේ නෑ. නටන්නෙ නෑ. නමුත් ඔහු මෙවැනි විශිෂ්ට රංගනවේදීන් බිහි කරලා තිබෙනවා. සුප්පාදේවී චරිතය අවුරුදු 30ක් රඟපෑම ලේසි නෑ. ඒ සඳහා විශාල කුසලතාවයක් අවශ්‍යයි. ගායනය, නර්තනය හා රංගනය යන අංශ තුනම එයට අවශ්‍යයි.

අපේ රටේ නාට්‍ය සාහිත්‍යය ඉතා දුර්වලයි. නාට්‍ය ක්ෂේත්‍රයේත් නිරත ලේඛකයෙක් වශයෙන් ඔබ එය දකින්නේ කොහොමද?

ඒක ඇත්ත. ඉන්දියාවේ පවා නාට්‍ය සාහිත්‍ය පොත් විශාල වශයෙන් පළවෙනවා. ලංකාවේ නාට්‍ය සාහිත්‍යය ක්‍රමයෙන් වර්ධනය වන බව පේනවා. සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නාට්‍ය අනු මණ්ඩලය මේ සඳහා යම් මැදිහත්වීමක් කරනවා. ඔවුන් අභිනය නම් සඟරාවක් පළකරනවා. නාට්‍යවේදීන් රාශියක් ගැන සඟරා කලාප ඒ මඟින් පළකර තිබෙනවා. හුඟ දෙනෙක් නාට්‍ය ගැන ලියන්නේ නාට්‍ය හා රංග කලා විභාග අත්පොත් ලෙසිනුයි. ඒවායේ ශාස්ත්‍රීය බව අඩුයි. ඒවායේ තිබෙන තොරතුරැත් නිවැරදි නෑ. ඒවා නාට්‍ය සාහිත්‍යයට අයත් කළ හැකි නොවේ. විභාග ඉලක්ක කරගෙන තමයි පළකරන්නේ.

සරච්චන්ගේ නාට්‍යවල මනමේ වැදි රජු හා බිසව, සිංහබාහු නාට්‍යයේ සිංහයා, ධර්මසිරි බණ්ඩාරනායක, සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන වගේ අයගේ නාට්‍යවල මතක හිටින චරිත තිබෙනවා. ඒ රංගධරයන් ගැන කෘති බිහිවිය යුතුයි.

නාට්‍යයක් තුළ තවත් අංග රාශියක් තිබෙනවා නේද?

ඔව්. රංගනය කියන්නේ එක් අංගයක් පමණයි. සංගීතය, අංග රචනය, ආලෝකකරණය, රංග වස්ත්‍ර නිර්මාණය වගේ ක්ෂේත්‍ර රාශියක් තිබෙනවා. නාට්‍යයේ නිෂ්පාදකයා ගැන පමණක් නොවෙයි, මේ අංගත් හෙළිදරව් කිරීමට නාට්‍ය සාහිත්‍යය යොදාගත යුතුයි. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හෝ ඒ ගැන ක්‍රියාත්මක විය යුතු බව මගේ හැඟීමයි.

එදා මහාචාර්ය සරච්චන්ද්‍රගේ නාට්‍ය ඇතුළු නාට්‍යවලින් විශිෂ්ට නළු නිළියන් බිහිවුණා. අද එවැනි ප්‍රවණතාවයක් දැකීම අසීරුයි.

ඒක හරි. අද විශිෂ්ට නළු නිළියන් බිහිවන්නේ නැහැ. ඒකට හේතුව වේදිකාවේ රංගනයට අවශ්‍ය කැපවීම හා කාලය වැය කිරීමට අද නළු නිළියන්ට නොහැකි වීමයි. නළු නිළියන්ට දැනුමක් රසවින්දනයක් අවශ්‍යයි. මහාචාර්ය සරච්චන්ද්‍රගේ බොහෝ නළු නිළියන් විශ්ව විද්‍යාලවලට සම්බන්ධ අය. අද ටෙලි නාට්‍ය රැල්ල නිසා වේදිකා නාට්‍යයකට කාලය වැය කිරීමට නළු නිළියන්ට අසීරුයි. නළු නිළියෝ සොයාගැනීමට නොහැකි වීම අද වේදිකාවට දරුණු ලෙස බලපානවා. අංග රචනය වගේ සියුම් අංග ගැන වැඩි දෙනාගේ සැලකිල්ලක් නෑ.

ඔබ මෙම කෘතියේ පූර්ණ සංස්කරණයකට ලක්කළා. අද නවකතාවල පවා නිසි සංස්කරණයක් නැහැ නේද?

ඔව්. පොත් කියවන විට ඒ බව පේනවා. හොඳ පොතක් බිහිවීමට  සංස්කරණයක් අවශ්‍යයි. මේ කෘතිය මම උනන්දුවෙන් සංස්කරණය කළා. මමත් ඇය සමඟ නාට්‍ය කණ්ඩායමේ සිටි නිසා බොහෝ තොරතුරැ දැන සිටීම එයට ලොකු පිටුවහලක් වුණා. මෙයට පෙරත් මම කෘති කිහිපයක් සංස්කරණය කළා. මාස්ටර් සංගීත යුග යාත්‍රිකයා* කෘතියේ සංස්කරණයට හවුල් වුණා. දීපිකා ප්‍රියදර්ශනී, ගීතය නම් දීපයෙන් පිය දසුන් මවන්නී කෘතියත් ඉතා ආසාවෙන් සංස්කරණය කළ පොතක්.

සුප්පාදේවී කෘතියට ලැබුණු ප්‍රතිචාර කෙසේද?

හුඟ දෙනෙක් කිව්වේ මෙය ඉතා ඓතිහාසික වටිනා වැඩක් කියලයි. කිසිම මූල්‍ය ප්‍රතිලාභයක් බලාගෙන කරපු දෙයක් නෙවෙයි. මාලනීගේ රංගනයට ඇති කැමැත්ත හා සිංහබාහු නාට්‍යයට ඇති ආදරයත් නිසා තමයි මම මෙයට මුල් වුණේ.

 කුසුම්සිරි

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00