2019 ජුලි 20 වන සෙනසුරාදා

කලවානේ කතුන් බ්යකළ නිට්ටෑ කෝකියා

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 131

 

ග්‍රීස් යකා නම් අභූත වචනය මේ රටේ ග්‍රාමීය සමාජයේ මහා ආන්දෝලනයක් කලබලයක් මෙන්ම භීතියක් ඇති කළේය. ඒ මීට වසර කිහිපයකට ඉහතදීය. අදට මාස ගණනකට මත්තෙන් නිට්ටෑවන් පිළිබඳ කතා පෙළක් අසන්නට ලැබිණි. සියවස් දෙකකට පමණ පසුව නිට්ටෑවා කරළියට ආවේ අපි කවුරුත් ලේඛනගත ප්‍රවාදයක් ලෙසින් දැනසිටි කතාවකි. මේ සිද්ධීන් දෙකම රටට ප්‍රවෘත්ති සපයා රටේ ජාතික ප්‍රශ්න පවා අමතක කිරීමට සමත් වූවේය. ඒ තරමට ජනතාව ග්‍රීස් යකා සහ නිට්ටෑවා පිළිබඳ උනන්දුවක් දැක්වූවෝය.

කලවාන, වැලිකුඹුර, හඟරංගල, අලුත්වත්ත ඇතුළු ගම්මාන රැසක තරුණියන් හා කාන්තාවෝ ඉකුත් මාස ගණනාවක සිට බියෙන් හා සැකෙන් පසු වූහ. විශේෂයෙන් පිරිමි පුද්ගලයන් නැති නිවෙස්වල කාන්තාවන්ට ලිංගික අතවර කිරීම ඊට තැත් කිරීම හා තරුණියන් සිටින නිවෙස් ආසන්නයේ සිට තරුණියන් දෙස බලා සිටීම වැනි කාන්තාවන් අපහසුතාවයට පත්වන අන්දමේ ක්‍රියාවල නිරත පුද්ගලයකු සිටීම ඊට හේතුවයි. මොහු වරෙක රාත්‍රියක නිවසේ සිටි කාන්තාවක දූෂණය කළායැයි කියන සිදුවීමක් පිළිබඳව කලවාන පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි. තවත් කාන්තාවක් සිය ස්වාමියා නිවසේ සිටියදීම දූෂණය කිරීමට ගත් උත්සාහයක් පිළිබඳව ද වාර්තා විය. දුටු පමණින් හඳුනන්නට බැරි ඔහු ප්‍රදේශයේ ජනතාවට හිරිහැරයක්ව තිබිණ.

සැකකාර පුද්ගලයාගේ අතවරයට ලක්ව හෝ සැඟවී බලාසිටියදී හදිසියේම දැක බියෙන් කෑගසන කාන්තාවන් නිසා පැනගිය පුද්ගලයා අල්ලා ගැනීමට සමත් කෙනකු සිටියේ නැත. ගම්වැසියන් එක්ව ගමම පීරා බැලුවත් ඉක්මනින් දිවගොස් අතුරැදන් වූ පුද්ගලයා දකින්නට ලැබී නැතැයි කියති. කෙසේ වෙතත් රහසේ පැනගිය අනංගයාට "නිට්ටෑවා" ලෙස නම් කළේ කවුදැයි ගම්මුන් හෝ දන්නේ නැත. එහෙත් නමක් ගමක් නොවූ සැකකරුට කවුරුත් භාවිත කොට තිබුණේ නිට්ටෑවා නමය.

මහ රෑට කාන්තාවන්ට හිරිහැර කරමින් සිටි නිට්ටෑවා කී අය සම්බන්ධයෙන් කලවාන පොලිසියට පැමිණිලි ලැබෙන්නට විය. එහෙත් සැකකරුවකු හෝ හඳුනාගන්නට සාක්ෂියක් තිබී නැත. ඒ නිසා අනංගයා පොලිසියටත් ගැටලුවක් වී ඇත. එහෙත් ඇතැම් කාන්තාවන් පැමිණිලි කරමින් කියා ඇත්තේ යළිත් වතාවක් දුටුවොත් පුද්ගලයා හැඳිනීමට හැකි බවය. ඉන් අනතුරුව අසල්වාසී පිරිමි පුද්‍ගලයන් කිහිපදෙනකු සැකකිරීම නිසා ඔවුන් දැඩි අපහසුතාවයට පත්ව සිටි බවද වාර්තා විය.

කලවාන පොලිස් ස්ථානය මගින් සිදුකරන ආරක්ෂක ජංගම සංචාර කිහිපයකි. ඉකුත් 13 සෙනසුරාදා රාත්‍රියේ පොලිස් නිලධාරින් විසින් කලවාන බස් නැවතුම අසල සිටි සැකකරුවකු පරීක්ෂාවට ලක්කර ඇත. සැක කටයුතු ලෙස සිටි ඔහුගේ ගමන් මල්ලේ කෘතිම රබර් පුරුෂ ලිංගයක්, උපත් පාලන කොපු 25ක්, සැත්කම් සඳහා භාවිත කරන පිහියක්, ශක්ති ජනක ඖෂධ පෙති කිහිපයක් ඇතුළු උපකරණ රැසක් හමුව ඇත. මේ උපකරණ සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයා කාන්තාවන්ට අතවර කරමින් සැරිසැරෑ අනංග “නිට්ටෑවා” වන්නට ඇතැයි පොලිසිය සැක කළේය.

මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයා 35 හැවිරිදි අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු විවාහක එක්දරැ පියෙකි. වෘත්තියෙන් කෝකියෙක් ලෙස කටයුතු කරන පුද්ගලයා දැනට රත්නපුර ප්‍රදේශයේ හෝටලයක අවුරුදු 7ක් තිස්සේ කෝකියකු වශයෙන් සේවය කරන බව පවසා ඇත.

අතවරයට මුහුණ දුන් කාන්තාවන් කියා ඇත්තේ මේ එම සැකකරු බවය. එබැවින් දූෂණයට ලක්වූ කාන්තාවන්ගේ පැමිණිලි අනුව ඩී.එන්.ඒ. පරීක්ෂාවක් සිදුකර සැකකරු හඳුනා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇත. කලවාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.කේ.සී.එස් දයාවංශ මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන පැවැත්වෙයි.

► සමන්ත ප්‍රදීප් විල්තෙර