2019 ජුලි 20 වන සෙනසුරාදා

සෞඛ්‍ය ඇමැති - වෛද්‍ය සංගම් කඹ ඇදිල්ලට හිරවූ සීමාවාසික දොස්තරවරු

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 113

1930 දශකයේ පමණ සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ “සියලු පුරවැසියන්ට භේදයකින් තොරව සෞඛ්‍ය සේවාව ලබාදීම මූලික කරගත් නිදහස් සෞඛ්‍ය සේවාව (Universal Health Coverage) හේතුවෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ලොව පුරා ප්‍රශංසනීය තත්ත්වයකට පත්විය. ළදරු මරණ අනුපාතය, උපතේදී ආයු අපේක්ෂාව වැනි සෞඛ්‍ය සේවාවේ ප්‍රගතිය පෙන්වන සම්ප්‍රදායික දර්ශක අනුව දියුණු වෙමින් පවතින සෙසු රටවලට වඩා ඉදිරියෙන් සිටින්නට ලාංකිකයන්ට හැකියාවක් ලැබිණි. දශක කිහිපයක් පුරා මෙරට පැවති අහිතකර දේශපාලන ආර්ථික ක්‍රියාමාර්ග හමුවේ යම් පමණක හෝ ආර්ථික ස්ථාවරත්වයක් පවත්වාගෙන යෑමට සෞඛ්‍ය සම්පන්න මානව ප්‍රාග්ධනයක් පැවතීම බෙහෙවින් ඉවහල් විය.

එහෙත් අද වනවිට මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අර්බුද රාශියක් නිර්මාණය වී ඇති බව අවිවාදිතය. එම අර්බුද සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් සීමා නොවී ආර්ථික සහ සාමාජික ගැටලු රාශියක්ද නිර්මාණය කරමින් තිබේ.

මෙරට වෛද්‍යවරුන්ගේ හිඟයක් ඇති බව ජනමාධ්‍ය කරුණු වාර්තා කරන්නේ දැනට කාලයක සිටමය. සෞඛ්‍ය බලධාරීන් පවා එය පිළිගෙන තිබේ. තත්ත්වය එසේ තිබියදී සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කඹ ඇදිල්ල හේතුවෙන් සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 350කට පමණ පත්වීම් ලබාදීම මේ වනවිට වසරක පමණ කාලයක් ප්‍රමාද වී තිබේ.

සීමාවාසිකව පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ යෝජනා කැඳවීම සාමාන්‍යයෙන් සිදුවන අතර පත්වීම්ලාභීන්ගේ ප්‍රමුඛතා ලේඛන සකස් කිරීමේදී එම යෝජනාව සලකා බැලීමක්ද සිදුකෙරේ. මෙලෙස පත්වීම් ලැබීමට නියමිත වෛද්‍යවරුන් 2018 ජූලි 09 වැනි දින සීමාවාසික පුහුණුව අවසන් කර ඇති නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ දක්වා තම යෝජනා ඉදිරිපත් නොකිරීම හේතුවෙන් පත්වීම් ලබාදීම වසරක පමණ කාලයක් තිස්සේ ප්‍රමාද වෙමින් ඇත.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ 08කි. එයට අමතරව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේද වෛද්‍ය පීඨයක් තිබේ. එයට ඇතුළු වන පෞද්ගලික සිසුන්ට මුදල් ගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලැබිය හැක. මෙරට වෛද්‍ය පීඨවලට වාර්ෂිකව සිසුන් 1200ක් පමණ ඇතුළත් කර ගැනෙති. මෙරට වෛද්‍යවරුන් 17,000ක් පමණ රටපුරා රෝහල්වල සේවය කරති. එහෙත් සෞඛ්‍ය අංශ පවසන්නේ තවමත් රටපුරා රෝහල්වලට වෛද්‍යවරුන් 2500ක පමණ හිඟයක් ඇති බවය. එසේ බැලූ විට සීමාවාසික පුහුණුව නිමකළ වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීම ප්‍රමාදවීම මගින් සිදුවන්නේ වෛද්‍ය හිඟය තවදුරටත් ඇදීයාමක් පමණි.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විරෝධය නොතකා වසරකට වැඩි කාලයක් මුළුල්ලේ පශ්චාත් සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 350 දෙනා සඳහා පත්වීම් ලබාදීමට මේ වනවිට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සූදානම් වෙයි. උතුරු-නැගෙනහිර ඇතුළු දිවයිනේ දුෂ්කර ප්‍රදේශ සඳහා මෙම වෛද්‍ය නිලධාරීන් පත් කිරීමට නියමිතය. මෙම වෛද්‍ය පත්වීම් නාමලේඛනය සෞඛ්‍ය ලේකම්ගේ අනුමැතිය යටතේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමුකිරීමෙන් පසුව එහි නිර්දේශ මත මෙම පත්වීම් ලබාදෙනු ඇති බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ආරංචි මාර්ග පැවසීය.

ගැටලුවට හේතුව ස්ථාන මාරු නතර කිරීමයි: ඇමැතිවරයා ඊට වගකිව යුතුයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා ඒ පිළිබඳව මෙසේ පවසයි.

“මේ ප්‍රශ්නය අද ඊයේ සිදුවුන ප්‍රශ්නයක් නෙවෙයි. පසුගිය කාලයේ සයිටම් ප්‍රශ්නය නිසා වෛද්‍ය සිසුන් වසරකට වැඩි කාලයක් පන්ති වර්ජනයක නියැලී සිටියා. ඒ වෙලාවේ අපි අමාත්‍යංශයට පැවසුවා මේ ආයතනය රජයට පවරා ගැනීමක් සිදුකරන්න කියලා. නමුත් ඒ වෙලාවේ ඒක කළේ නැහැ. නමුත් ඊට වසරකට විතර පස්සේ තමයි සයිටම් ආයතනය රජයට පවරා ගැනීමක් සිදුකරනු ලැබුවේ. එතකොට වසරක් මුළුල්ලේ මේ ළමයින්ට යම් ප්‍රමාදයක් ඇතිවුණා. ඒ වගේම මේ පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමක් සිදුකිරීමට අවශ්‍ය නම් ස්ථාන මාරු ලැයිස්තුව ක්‍රියාත්මක කළ යුතුයි. නමුත් අමාත්‍යවරයා මේ ස්ථාන මාරු ක්‍රමය නතර කරලා. තමන්ට අවශ්‍ය පරිදි පත්වීම් ලබාදීම සිදුකරන්න හදනවා. මුලින් පශ්චාත් සීමාවාසික පුහුණුව ලැබූ වෛද්‍යවරුන් දුෂ්කර පළාත්වලට තමයි සේවයේ යොදවා තිබෙන්නේ. මේ අයට නගර සීමාවට පැමිණෙන්න නම් මේ නව පත්වීම් ලබාදෙන වෛද්‍ය සිසුන්හට දුෂ්කර පළාත්වලට සේවයේ යෙදවීමක් කිරීමට අවශ්‍යයි. නමුත් අමාත්‍යවරයා එසේ කිරීමක් සිදුකරන්නේ නැහැ. සෞඛ්‍ය ලේකම්තුමිය මේ ප්‍රශ්නය නිරාකරණය කරන බවට පොරොන්දු වුණා. නමුත් අමාත්‍යවරයා එසේ ක්‍රියා කිරීමකින් තොරව තමයි මේ ක්‍රියා පිටිපාටිය අනුගමනය කරන්න හදන්නේ. මෙය සම්පූර්ණයෙන්ම පටහැනි ක්‍රියාවක්. මේකට අමාත්‍යවරයා වගකිව යුතුයි.”

අදාළ සිදුවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අප කළ විමසීමකදී එහි ප්‍රකාශකයකු පැවසුවේ වසරකට අධික කාලයක් මුළුල්ලේ පත්වීම් ලැබීමට නියමිත වෛද්‍යවරුන් 350 දෙනා සඳහා සෞඛ්‍ය ලේකම්ගේ අනුමැතිය යටතේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කිරීමෙන් පසු එහි නිර්දේශ මත පත්වීම් ලබාදීමට නියමිත බවයි.

කෙසේ වෙතත් මෙරට පවතින වෛද්‍ය හිඟයට විසඳුමක් පිළියමක් ඇත්තේ සෞඛ්‍ය බලධාරීන් අතෙහිය. මොවුන් දෙපැත්තට වී කරනා කඹ ඇදිල්ලෙන් වඩාත් පීඩාවට පත්වන්නේ අසරණ ජනතාවය. එබැවින් මෙම ගැටලුවලට ඉක්මණින් පිළියමක් යෙදීම මෙම දෙපාර්ශ්වයේම වගකීමකි.

► හසිත් අංජන