2019 ජුලි 20 වන සෙනසුරාදා

ගුණසෝමගෙන් ජනකතා කෘති දෙකක්

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 601

හැම ජනකතාවක් තුළම චරිත, සිද්ධි හා සංදර්භය යන ලක්ෂණ තුන ගැබ් වී ඇත. මෙකී ලක්ෂණයන්ගෙන් යුත් ජනකතා ලෝකයේ සියලු තැනම පැතිරී යයි. ජනකතා මානව වංශ විස්තරයෙන් සංගෘහිත වූවකි. ඒවා ජන ජීවිතය පිළිඹිබු කරන සිතුවමක් බඳුයි. මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න සංස්කෘතිය හා සමාජය කෘතියෙහි ලා සඳහන් කරයි.

ශ්‍රී ලංකාව ජනකතා ආකරයකි. මෙම ජනකතාවලින් මුලින්ම වැඩ ගත්තේ ඉංග්‍රීසි ජාතික හෙන්රි පාකර්ය. ඔහු ශ්‍රී ලංකාවේ විවිධ පෙදෙස්වල පැතිර තිබෙන ජනකතා ඉංග්‍රීසියට පරිවර්තනය කර වෙළුම් දෙකකින් පළ කළේය. එම කෘතිය පරිවර්තකයන් කිහිප දෙනෙකුම සිංහලයට පරිවර්තනය කළේය. අපේ ජනශ්‍රැතිය ගැන අධ්‍යයනය කරන ලේඛකයන් අතළොස්ස අතරින් ඉදිරියෙන්ම සිටින පානම ගුණසේකර ගුණසෝම තම ජනශ්‍රැති අධ්‍යයන ආශ්‍රයෙන් පොත් දෙකක් මෑතකදී සරසවි ප්‍රකාශන වශයෙන් පළ කළේය. සියනෑ කෝරළයේ ජනකතා සහ සහ සබරගමුවේ රාවණ ජනකතාය. කතුවරයා එයට පෙර යකාගේ බිල්ල (දිගාමඩුලු දෙමළ ජනකතා), දොළගලේ බිල්ල (දිගාමඩුලු ජනකතා), මුස්ලිම් ජනකතා, රන්පුහුල් නිධානය (කොත්මලේ ජනකතා) ආදී ජනකතා කෘති රාශියක් පළ කළ ලේඛකයෙකි.

ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණි මිටියාවතේ පැතිර තිබෙන සියනෑ කෝරළය ජනශ්‍රැති පර් යේෂකයන්ගේ අවධානයට ලක් නොවූ අද සීඝ්‍රයෙන් නාගරීකරණය වෙමින් යන පෙදෙසකි. සියනෑ කෝරළය ජනකතාවලින්ද පොහොසත් බව මෙම කෘතිය කියවන විට පෙනේ. කතුවරයා මෙම කෘති දෙකම විද්‍යාත්මක පදනමක් සහිතව ජනකතාවල මූලාශ්‍ර තොරතුරුද සහිතව ඉදිරිපත් කර තිබීම වැදගත්ය. ඒ සඳහා යොදාගත් භාෂාවද කතන්දර කියන වාචික බසකි. මේ නිසා සජීවීව ජනකතාව රසවිඳීමට පාඨකයාට අවස්ථාව ලැබේ.

මෙම කෘතියෙහි මානව විද්‍යාත්මක වැදගත්කම ඉහළය. සියනෑ කෝරළය හා සම්බන්ධ ජනකතා රාශියක් විවිධ ඓතිහාසික පුවත් හා බැඳී පවතී. ගනේගොඩ දෙවියෝ, රන්පොතවත්ත, දංගල්ල රජමහා විහාරයේ ගල්දොර, හීල්බත්ගල, රන්වල දෙවියෝ, සමනබැද්ද, කෑරගල, නිධන්ගල එවැනි ජනකතා කිහිපයකි. අද මේ ජනකතාවල සඳහන් ස්ථාන වෙනස් වෙමින් පවතී. එවන් වකවානුවක ඒ හා සබැඳි ජනශ්‍රැති ලේඛනගත කිරීම ඉතා වැදගත්ය.

කතුවරයා ජනකතා ඉදිරිපත් කරන භාෂාව සජීවීය. පාඨකයා ආකර්ශනය කරයි. ගුරුවල මහා විශාල ගලක් තිබෙනවා. කොච්චරද කියනවා නම් අක්කර සිය ගණනක් විශාල ඇති. මේ ගල මායිම් වෙලා තියෙන්නේ ගම්මාන තුනකට. ගුරැවල, වානලුවාව, ඉන්දොලමුල්ල කියන මේ ගම් තුනේම මායිමේ තමයි ගල තියෙන්නේ. (49 පිට)

සබරගමුවේ රාවණා ජනකතා කෘතිය ජනකතා 56ක් ඇතුළත් කෘතියකි. රාවණ රජු හා සම්බන්ධ ජනශ්‍රැති සබරගමුවේ බොහෝ ප්‍රදේශවල පැතිර තිබේ. ඕලුගම්තොට, දෙතනගල, හිටුවල, රාස්සගල, බොල්තුඹ, සීතාගල ඒ අතරින් කිහිපයකි. රාවණ උපත, රාවණගේ සරණ මංගල්ලේ, රාවණ රජ වුණු හැටි, රාවණගේ සිංහාසනය වැනි කතාවලින් රාවණ චරිතය පිළිබඳව ජනකතා ඉදිරිපත් කෙරේ. දෙතනගල, සීතාගල, මහඑළිය, හිටුවල, යහන්ගල, බෙලිගල්ලෙන වැනි ජනකතාවලින් රාවණගේ කතාවට සම්බන්ධ ස්ථාන විස්තර කෙරේ.

මෙම කෘතිය සඳහා ද කතුවරයා කතා රසය ඔප්නැංවෙන බසක් යොදාගෙන ඇත. මේ ඒ සඳහා උදාහරණ කිහිපයකි. &හනුමා කියන්නේ මිනිහෙක් වගේ වඳුරෙක්. මේ හනුමා හිටියෙ රාවණ එක්ක යුද්ධ කරන්න ආපු රාමගෙ හමුදාවේ. රාම හමුදාවේ හිටිය බලගතුම මහා බලසම්පන්න කෙනා තමයි මේ හනුමා කියන්නෙ. (57 පිටු)

රාවණ සීතගලේ හංගගෙන ඉන්නකොට හිතුවා මේ ආරක්ෂාව නම් මදි වගෙයි. තවත් ආරක්ෂාව වැඩි කරන්න, තර කරන්න ඕන කියලා. එහෙම හිතලා රාවණ මොකක්ද කළේ, අලුතින් බලකොටුවක් බැන්දා. මේ බලකොටුව බැන්දේ වේවැල්වත්ත පැත්තේ.

පාඨක

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00