2019 ජුලි 20 වන සෙනසුරාදා

රංජන් රාමනායකගේ අලුත්ම රංගනය

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 284

හොඳට නරකට දෙකට කටමය. එය රාජ්‍ය අමාත්‍ය රංගන ශිල්පී රංජන් රාමනායකටද අදාළය. මහජන අපටද අදාළය. ලෝක ඉතිහාසය පුරා කට නිසා නැසුණු වැනසුණ දේශපාලකයන්ගේ කතාද කට නිසාම දිනූ ගොඩගිය දේශපාලකයන්ගේද කතාද බොහෝ තිබේ. මේ යථාර්ථය අවබෝධ කොටගෙන රංජන් රාමනායකගේ කතාවේ ගැට ලිහා බැලීමට අපි තීරණය කළෙමු.

ඇමැති රංජන් මේ කතාව කීවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක නොවේ. Youtube නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකදීය. ඔහු කළ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අප සංවාදයේදී උපුටා දැක්වීම කළ නොහැකිමුත් යම් තැනකින් මීට ආරම්භය ලබාගත යුතුය. එම කතාවේ ඇතැම් භාවිතයන් වාර්තාකරණය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආචාරධර්මවලට පවා අභියෝගයට වන බැවින් උපුටා දැක්වීම මෙසේ සිදු කරමු.

ඔවුන්ගේ සාකච්ඡා ගලා විත් තිබුණේ ගණිකාවන් පිළිබඳවය. ඔවුන්ගේ මානුෂික අවශ්‍යතා පිළිබඳවය. මේ අතර රංජන් රාමනායක කරන ප්‍රකාශක හරහා සංවාදයේ දිශාව වෙනස් වෙයි.

රංජන්: දහ ගුණයක් උසස් මල්ලි. දේශපාලකයන්ට සහ චීවරධාරීන්ට, පූජකයන්ට.

අශේන්: ආ... චීවරධාරීනුත්....

රංජන්: මල්ලි ලංකාවේ, කමක් නෑ තවත් කන්ට්‍රවශල් දෙයක් කියන්නේ ඉතින්... (සිනහාසෙමින්) ලෝකේ අපේ ආගමික ශාස්තෘවරු ජීසස් වේවා බුදුහාමුදුරුවෝ වේවා ලෝකයේ අනෙකුත් ආගමික ශාස්තෘවරු වේවා හැප්පුනේ නායක පූජකයෝ එක්ක. නායක පූජකයෝ තමයි ජේසුස් වහන්සේව කුරුසේ ඇණගහලා මැරුවේ. බුදුහාමුදුරුවෝත් හැප්පුණේ නිඝණ්ඨයෝ ඔය සමාජේ උසස් කියලා කියන අය එක්ක. මේ ලංකාවේ වැඩිම සැප විඳින්නේ කවුද? මල්ලී...

අශේන්: චීවරධාරීන්ද?

රංජන්: නැතුව මල්ලි.... මේ අයගේ ලොකු ඇරියස් එක්ක තියෙනවා සමාජය එක්ක. මං දන්න එක පවුලක් හිටියා...

මෙසේ ආරම්භ වන රංජන් රාමනායකගේ කතාවේ අපට දැනෙන හරය නම් කුඩා දරුවන් මහණ කිරීමේදී භික්ෂු සමාජය තුළින් බරපතළ ලිංගික අපචාරයන්ට මෙම දරුවන් ගොදුරු වන බවයි. ඔහු ඊට උදාහරණ කතා තමන්ගෙ අත්දැකීම්වලින් නිදසුන් දෙයි. මෙම ලිංගික අපරාධවල ගොදුරුවීම නිසා පසුව ඔවුන් සමාජයට වෛර කරන බවද ඔහු කියයි. 

“ඔය කෑගහන ස්වාමීන් වහන්සේලා සීයට අනූවක්ම පොඩි කාලේ ලිංගික අතවරවලට ලක් වෙලා ඩිස්ටර්බ් වෙච්ච මනසකින් ඉන්නේ... ඔවුන් ඉල්ලන්නේ ලේ...”

සමස්ත සංඝ සමාජය මත වරද පැටවෙන පරිදි ගලායන මෙම සංවාදය අප කියවා ගත යුතුය. කරුණු කිහිපයක් ඇත. රංජන් රාමනායක යනු තනි පුද්ගලයකු නොවේ. පසුගිය කාලවකවානුවේ “බුදුන් රස්තියාදුවේ” යවන්නට තැත් කළ නූතන රුඩිකල් වමේ ඇතැම් නිර් ආගමිකයන්ගේද මතවාදය මෙයයි. එය සමාජ මාධ්‍ය වැනි තැන්වලදී විටින් විට මතු වෙන අයුරු අප දැක ඇත. කෙසේ නමුත් කිවයුත්තේ බුදුරාජාණන් වහන්සේ, භික්ෂූන් රාජ නීතියට යටත් බව වදාරා ඇති බවයි. එම නිසා වරදක් වන්නේ නම් ඇමැති රංජන් කළ යුතුව තිබුණේ සොයා බලා නීතියට හමුවට යාම මිස මෙලෙස නන් දෙඩවීම නොවේ. රංජන්ගේ කතාව අමූලික ඇත්තක්ද බොරැවක්ද කීම අපට අදාළ කටයුත්තක්ද නොවේ. එහෙත් එය නොකළ යුතු අවස්ථානුකූලව නොගැලපෙන කට කැඩුණු කතාවකි.

“මේ වගේ මනස ඩිස්ටර්බ් වුණ අයගෙ ළඟට තමා ගිහිල්ලා අපේ ලංකාවේ දේශපාලනඥයෝ ”හාමුදුරුවනේ රටකරන්න ඕනා කොහොමද කියලා ඇඩ්වයිස් ගන්නේ. කොහොමද අද තත්ත්වේ...? මේ සිස්ටම් එක ලෝකේ තියෙන එකම රට ලංකාව. පුටීන් යන්නේ නෑ මල්ලි, පල්ලිවල ගිහිල්ලා අහන්නේ නෑ... රුසියාව කරන්න ඕනා කොහොම කියලා. ලී ක්වාන් යූ පල්ලිවලට පන්සල්වලට ගිහිල්ලා අහන්නේ නෑ. මම සිංගප්පූරැව කරන්න ඕනා කොහොමද කියලා. දැකලා තියනවාද ඩොනල්ඩ් ට්‍රම්ප් ඇවිල්ලා....”

ලාංකික සංඝ සමාජය නිතර නිතර කෑ ගැසීමේ වරද දකින පිරිස්වලට මෙම ප්‍රකාශයන් යම් සිසිලසක් දැනිය හැකිය. එහෙත් භික්ෂූව සහ රාජ්‍යත්වය අතර සම්න්ධය ලාංකික සමාජයේ ඓතිහාසිකව පැවත එන්නක් බව අමතක කළ යුතු නැත. ධර්මාසනය සහ සිංහාසනය එකින් එක වෙන් කළ යුතු බවට අරගල කළේ අපරදිග මිස පෙරදිග ශිෂ්ඨාචාරය නොවේ. අප රටවල් අධිරාජ්‍යවාදීන් යටත් කරගත් පසුවත් රාජ්‍ය බලය ලබා ගැනීම වෙනුවෙන් දියත් වූ නිදහස් සටන්වලට නායකත්වය දුන්නේ භික්ෂූන් වහන්සේලා විසිනි. එසේ හෙයින් බටහිරෙන් ආනයන කළ දේශපාලන ක්‍රමයක් මෙහි තිබූ පමණින් භික්ෂූන්ගේ දේශපාලන භූමිකාව මෙරටින් අතුගා දැමිය නොහැක. එය එසේ සිදුවිය යුතුනම් බහුතර මහජන විරෝධයක් මතු වූ දිනෙක එය සිදුවනු ඇත.

දේශපාලනයේදී බලපෑම් කණ්ඩායම් ඇති බව අපි දනිමු. ලෝකයේ ආණ්ඩුවලට බලපෑම් කරන  වෘත්තීය සමිති ව්‍යාපාර, සරසවි ශිෂ්‍ය ව්‍යාපාර ආදිය ඒ අතරින් ප්‍රමුඛය. මෙහිදී මෙම බලපෑම් කණ්ඩායම් අතර එම රටවල සංස්කෘතියට අදාළව ගොඩනැගෙන බලපෑම් කණ්ඩාම්ද තිබේ. ශ්‍රී ලංකාවේදී භික්ෂූ සමාජය යනු එවන් බලපෑම් කණ්ඩායමකි. කිසිම ආණ්ඩුවක් බලපෑම් කණ්ඩායම්වල පැවත්මට කැමති නැත. ඒම නිසාම බලපෑම් කණ්ඩායම්වල ශක්තිය සිඳීමට ආණ්ඩු විවිධ දේශපාලන ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි.

උදාහරණයක් ලෙස ශිෂ්‍ය ව්‍යාපාරය නිකන් ඉන්නට බැරිව කරන වැඩක් ලෙස නම් කොට ඔවුන් ඒ පිළිබඳ සමාජ අප්‍රසාදයක් ඇති කිරීම පෙනවා දිය හැකිය. පසුව අදාළ බලපෑම් කණ්ඩායම බලය යොදා මර්දනය හෝ නොසලකා හැරීමට ආණ්ඩුවලට අවස්ථාවක් නිර්මාණය විය. පසුගිය කාලය පුරා ඇති වූ භික්ෂූ විරෝධතා හමුවේ භික්ෂූ චරිත ඝාතනය කරමින් චීවරධාරී ලෙස හඳුන්වමින් කළ කී දෑද මෙම න්‍යායට ඇතුළත් බව විචාරයේදී පෙනී යයි. එසේ නම් රංජන් රාමනායකට කියවුණු මේ කතාවත් කාලයක් පුරා නිර්මාණය වූ සමාජ මතවාදයක එක් ස්වරූපයක් ලෙස අපට හඳුනාගත හැකිය.

දැන් සංවාදයේ දෙවැනි අදියර වෙන් කරනුයේ ඇමැති රංජන් රාමනායකගේ කතාවෙන් පසුව රට තුළ නිර්මාණය වූ දේශපාලන තත්ත්වය විමසීමටය. ආගමික අර්බුදයක් නිර්මාණය වී සමාජය ඒ ඔස්සේ දුවමින් සිටින මොහොතක මෙම ප්‍රකාශය ආණ්ඩුවට සහ එජාපයට අවාසි සහගතය. මැතිවරණයක් සඳහා ඇත්තේ මාස කිහිපයක් පමණි. භික්ෂූ සමාජය නම් බලපෑම් කණ්ඩායම ප්‍රබලව නැගී සිට ඇති මොහොතේ ඔවුන්ට එරෙහිවීම දේශපාලන සියදිවි නසා ගැනීමක් හා සමානය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කලබල වන්නේ එබැවිණි. එදා සංඝ සමාජය හා ගැටී භික්ෂුන් වහන්සේලාගේ තාර ගෑ යුතු යැයි කීවේ සර් ජෝන් කොතලාවලය. එදා එහි ප්‍රතිඵලය වූයේ එජාපයට මැතිවරණයේදී අන්ත පරාජයක් හිමිවීමයි. ඇතැම් විට වික්‍රමසිංහ මහතාටද මෙය සිහිවන්නට ඇත.

ප්‍රකාශය සම්බන්ධයෙන් මේ මස 21 වැනිදාට පෙර ලිඛිතව පැහැදිලි කිරීමක් කරන ලෙස දන්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක වෙත ලිපියක් යොමු කළේ එම නිසාය. රාජ්‍ය අමාත්‍යවරයාගේ අදහස් එක්සත් ජාතික පක්ෂයේ සහ පක්ෂ නායකත්වයේ අදහස් සමඟ පරස්පර බවත්, අදාළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, අග්‍රාමාත්‍යවරයා යොමුකළ ලිපියේ සඳහන් කර ඇත. තවද එතුමන්ගේ ශාසනික ලැදියාව පිළිබඳවත් කරුණු දක්වා තිබේ. එයම අපට භික්ෂූ සමාජය විසින් ශ්‍රී ලංකාව තුළ දරන සිවිල් බලයේ තරම අවබෝධ කර ගැනීමට ප්‍රමාණවත්ය.

මේ අතර මහා සංඝරත්නයට අපහාස කළ පාර්ශව ඒ සම්බන්ධයෙන් සමාව නොගන්නේ නම් ඔවුන්ට දඬුවම් කිරීම රටේ නායකයින්ගේ වගකීම බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාද ප්‍රකාශ කර තිබිණි. විපක්ෂ නායකවරයාට අනුව මෑත කාලයේ වැඩි වශයෙන් සංඝරත්නයට බලපෑම් එල්ල වී ඇත. පවතින දේශපාලන වටපිටාව තුළ රංජන් රාමනායකගේ ප්‍රකාශයේ බලපෑම තීව්‍ර කිරීමට නම් ඔහුට දඬුවම් ලබාදෙන ලෙසට පාලකයන්ට බලකළ යුතු බව ආණ්ඩු විරෝධීහු දනිති. ඔවුන් උත්සහා දරමින් සිටින්නේ ඒ වෙනුවෙනි. රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා බාල වයස්කාර දැරියක් දූෂණය කර ඇතැයි චෝදනා කරමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක්ද ඉදිරිපත් වී තිබේ. පොලීසියටද විවිධ පැමිණිලි ලැබී ඇත. පිරිසක් ඒ අනුව නීතිය ඉදිරියේ මෙම අර්බුදය තැබීමට උත්සුක වන බව පෙනේ.

කෙසේ වෙතත් මහා සංඝරත්නය, මහජන නියෝජතයින්, සිවිල් සංවිධානය ක්‍රියාකාරීන් ආදී පිරිස් රංජන් රාමනායකගේ ප්‍රකාශය දැඩි ලෙස විවේචනය කරමින් අදහස් දක්වා තිබිණි. රංජන් රාමනායක මහතාට බද්දේගම සමිත හිමියන් පවසා තිබුණේ ඔබ දන්නා විෂය බයිස්කෝප් එක හරියට කරගන්නා ලෙසය. ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවසූවේ භික්ෂූන් වහන්සේ විවේචන කරන පිරිස් එක්සත් ජාතික පක්ෂයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්කර දැමිය යුතු බවයි. ජාතියේ පොදු හතුරා තෝරා නොගෙන මුග්ධ දේශපාලකයන් කියන කතා සමඟ පැටලෙන්නට නොයන්න යැයි ඥානසාර හිමියන් පවසා තිබිණි. ෆැන්සිස් බිෂොප්තුමන් සංඝරත්නය හා අත්වැල් බැඳගෙන ගමනක් යන්නට සැරසෙන මොහොතේ සිදුවූ දෙයට සමාව ඉල්ලා සිටියේය. මේ ආදී අදහස් විශාල සංඛ්‍යාවක් පසුගිය සතිය පුරා අපි දුටුවෙමු.

මෙම සියලු සිදුවීම හමුවේ රංජන් රාමනායක මහතාටද සමාවගන්නට හදිස්සියක් නොවුණි. ඔහුට අනුව ඒ ප්‍රකාශ නිවැරදි බව මාධ්‍ය ඔස්සේ වාර්තා පළවිය. 

විරෝධතාව වර්ධනය වූ  පසු අගමැති කැඳවීමකට අනුව අඟහරුවාදා පස්වරුවේ ඇමති රංජන් අරලිය ගහ මැඳුරට ගියේය. අග්‍රාමාත්‍යවරයා එහිදී ඔහුට අවවාද කර තිබේ. පසුව මාධ්‍යයට අදහස් දැක්වූ රාජ්‍ය ඇමැති රංජන් රාමනායක කී කතාව අප මෙතුවක් කී කතාව සාධාරණීය කළේය.

“මහා සංඝරත්නයෙන් සමාවගන්න මම වරදක් කරලා නැහැ. අපචාර කරන චීවරධාරීන්ට නම් මට වඳින්න බැහැ. ඇතැම් චීවරධාරින් සම්බන්ධයෙන් මට ලැබුණු පැමිණිලි පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපි ගොනුවක් අග‍්‍රාමාත්‍යවරයාට පෙන්නුම් කළා. ඒ සියලු තොරතුරු මා සතුව තිබෙනවා.”

කෙසේ වෙතත් ඇමැති රංජන් රාමනායක හට කට නිසා ඇති වෙන ප්‍රශ්න පුරුදු සෙයකි. වැලි ප්‍රශ්නය, විජයකලා දුරකථන ඇමතුම, ඇමෙරිකානු මාධ්‍යවේදියගේ කතාව, කෝකේන් කතාව සහ තවමත් විභාග වෙන අධිකරණයට අපහාස කිරීමේ නඩුව සැලකූ විට මේ කිසිවක් ඔහු බරපතලව ගන්නා බව නොපෙනේ.

ඇත්තෙන්ම රටට රංජන් රාමනායක කියන්නේ ඇත්තද බොරුද කියන ප්‍රශ්නයට වඩා වැදගත් වන්නේ ඔහු කියන්නේ මොනවාද ඒවා සුදුසුද යන ප්‍රශ්නයයි. කෙසේ නමුත් ඔහුගේ දේශපාලන  ජීවිත අභියෝගයකට ලක්වීමට මේ ආදී ප්‍රකාශ බලපෑ හැකිය. එහෙත් රංජන් රාමනායකහට චීවරයට අත තබන තුරැම යම් ස්වාධීන ඡන්ද පදනමක් සහ සමාජයේ එක්තරා පංතික විශ්වාසක් තිබූ බව කිව හැකිය. එහෙත් අනාගතය අවිනිශ්චිත අතර ඉදිරි සතියක දෙකක කාලයේදී මෙම ගැටලු යම් තැනක නතර වනු ඇත. එහෙත් අවසානයේ මීටත් වඩා ප්‍රබල ආකර්ෂණීය දේශපාලන තේමාවක් මතින් සියලු කඩතොලු මැකී යාමට ඉඩ ඇති බව සාමාන්‍ය දේශපාලනයේ ස්වභාවය දන්නෝ දනිති.

අවසානයේ අප මෙම කතාවට වඩාත් පුළුල් කියවීමක් එකතු කළ යුතුව ඇත. කාලානුරෑපව සිදුවන සමාජ විකාශනයේ ප්‍රතිඵලයක් ලෙස මෙවන් ප්‍රකාශවල ගැඹුරක් හරයක් මහජනතාවට නොදැනෙන්නට පටන්ගෙන ඇත. මෙවන් සිදුවීම් ජනතාව වෙත රැගෙන එන නූතන සංහතික මාධ්‍යයේ ස්වභාවය එයයි. කිසිම පදනමක් නැති අතාර්කික කරුණු ගොඩකට මෙහි ඉඩ තිබේ. එය දුටුවනින් ඇසූ සැණින් මහා කලබගෑනියක් කරන අප සමාජය අධි සංවේදී වේ. එහෙත් සිනහා වී බැණ වැදී සියල්ල මොහොතකින් අමතක කරන අවිඥාණිකයකු පසුව ඔහේ ඉදිරයට යයි. ඉතින් එවන් පරිසරයක් තුළ අනුවණ කපටි මුග්ධ දේශපාලකයන් සදාකල් වැජඹීම අරුමයක් නොවේ.

 චමිඳු නිසල් ද සිල්වා

බලවතුනි, බළලුන් ලවා කොස් ඇට බාවන්න එපා
- හෑගොඩ විපස්සී හිමි

කුඩා කාලයේ පැවිදි කරවීම අද ඊයේ ආරම්භ වූවක් නොවෙයි. ඒ සම්බන්ධව බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. පැවිදි කළයුතු ආකාරය පිළිබඳව සඳහන් වෙනවා. බුදුහාමුදුරුවෝ පිරිනිවන්පාලාත් දැන් අවුරුදු දෙදහස් පන්සීය හැට තුනක් වෙනවා. ඒ නිසා ලෝක ඉතිහාසයේ පැරණිම සංස්ථාවක් තමා භික්ෂූ සංස්ථාව කියන්නේ.

උන්වහන්සේලා අවිච්චින්නවයි පවත්වා ගෙන එන්නේ. නූතනයේ පැවිදි කරන ආකාරය සම්බන්ධ කිසිදු ගිහියකුට පැවිද්දෙකුට ප්‍රශ්නයක් මතු වෙන්නේ නෑ. අනිත් එක කුඩා කාලයේ පැවිදි වෙච්ච සංඝයාවහන්සේලා තමා අද රටේ දැවැන්ත කාර්යභාරයක් කරන්නේ. උන්වහන්සේලා ජාතික වශයෙන් ජාත්‍යන්තර වශයෙන් මහා පඬිවරයකු විදිහට ශාසනය පෝෂණය කරනවා.

රංජන් රාමනායක මහත්මයා ඇමැතිකම ලබාගත්ත වෙලාවේ ඉඳන්ම භික්ෂූන් වහන්සේලාට දෝෂාරෝපණය කරන්න පටන් ගත්තා. ඒ නිසා එතුමාගේ කාර්යභාරය භික්ෂූන් වහන්සේලාට අපහාස කිරීම බවයි අපට පේන්නේ. ඇතැම් භික්ෂූවකගේ ක්‍රියා කලාපයක් පදනම් කොටගෙන මහා සංඝරත්නයට නිගරු කිරීමට ඔහු නිර්භීතවෙලා තියෙනවා. මෙය නිර්භීතකමක් නොවෙයි සමස්ත සමාජයේ ලැජ්ජාවට හේතුවක්. රංජන් රාමනායක මහත්තයා යම් භික්ෂූවකට චෝදනා කරනවාද එම භික්ෂූ නම් කරන්න. මහා සංඝරත්නයේ සමස්තයට නින්දා අපහාස කිරීම ඉතාම අසාධාරණයි. ලංකාවේදී ජාතික සහ ජාත්‍යන්තර ඇතැම් අයට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ බුදුදහම. අපි දකින්නේ චිරාත් කාලයක් පවතින ථෙරවාදී සම්ප්‍රදායට අභියෝගය කිරීමක් මේ කරන්නේ.

රංජන් රාමනායක මහත්තයාට ඉතිහාසය ඉගෙන ගන්න කියලා කියන්න වෙනවා. ලංකාදීපයට බුදුදහම ලැබිලා වසර දෙදහස් තුන්සීය තිස් හතකට වඩා වැඩියි. බුදුදහම ලැබීම සමඟ දේවානම් පියතිස්ස රජතුමා බුදුදහම මතයි රාජ්‍ය ගොඩනැගුවේ. මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් මතයි එය කළේ. එදා ඉඳන් අද දක්වා ගොඩනැගුණු මේ සම්ප්‍රදායෙන් අවැඩක් වෙලා නෑ. බෞද්ධ දේශපාලන සම්බන්ධ ප්‍රශ්න මතුවුණේ විදේශීය ආක්‍රමණිකයන්ට. චෝල ආක්‍රමණ, පෘතුගීසි, ලංදේසි, ඉංග්‍රීසි ආක්‍රමණවලදී. ඕනෑම රාජ්‍යයක් පාලනය වීමේදී ඒ රට පාලනය වෙන්නේ ඒ රට චිරාත් කාලයක් පැවති ආගමික සිද්ධාන්ත මත. නිදසුන් වශයෙන් ගත්තොත් එංගලන්තයේ ආර්ච් බිෂොප් ගාව තමා දිවුරැම් දෙන්නේ. ඇමරිකන් ඩොලරය පවා තියෙන්නේ දෙවියන් වහසේගේ නාමයෙන්. නෝර්වේ රාජ්‍යය ගත්තොත් ක්‍රිස්තියානි කෙනෙක් හැර වෙන කිසිම කෙනෙක්ට පාලනය කරන්න බෑ කියලයි සඳහන් වෙන්නේ. ඒ නිසා මේ සිද්ධාන්තය ඉතා වැදගත් වෙනවා රටේ පාලනය සඳහා.
රංජන් රාමනායක මහතාට තියෙන්නේ වෛරයක්. මේ අය බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ඒ එක්ක පවතින සමාජ රටාවට දැඩි වෛරයක් දක්වනවා. කරුණාකර විවෘත සංවාදයක් ඇති කරන්න. හොයලා බලන්න. ඇයි මේ බුදුදහමට මහා සංස්කෘතියට බණින්නේ. බුදුදහමේ තියෙන අනන්‍යතාවයන් මත රාජය පාලනය නොකරන නිසා තමයි මේ අපේ රටේ සියලු අර්බුදයන් ඇතිවෙලා තියෙන්නේ. හොර මැරකම් කරන්න එපා කියලා තියෙනවා. රටේ සම්පත් නිසි ලෙස භාවිතයට ගන්න කියලා තියෙනවා. රාජ්‍ය පාලනයේදී දඬුවම් දිය යුත්තාට දඬුවම් දෙන්න. ඉතින් මේ බුදු දහම නොදන්නා නිසා තමා ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ.

බළල්ලු ලවා කොස්ඇට බාවන්න එපා කියලා අපි පාලකයන්ට කියනවා. රංජන් රාමනායක මහත්මයා දැන උගත් ස්වාමීන්වහන්සේ කෙනෙක්ගෙන් හෝ සිංහලෙන් ඉංග්‍රීසියෙන්, පාලියෙන් ධර්මය කියවන්න. එතකොට ඔහොම වෛරී ප්‍රකාශ කරන්න ඕනෑ නෑ.
 

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00