2019 ජුලි 13 වන සෙනසුරාදා

පළල් වන පලාලිය

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 74

අනාගතය පුරෝකථනය කරන බොහෝ දෙනකුගේ මතය වන්නේ සංවර්ධනය පිළිබඳ නව ප්‍රවේශයන් රටට අවශ්‍ය බවය. අඩු වැඩි වශයෙන් ඉතිහාසයේ සෑම යුගයකම මේ සංවාදය පැවති බවට සාක්ෂි තිබේ. එහෙත් වචනවලින් පමණක් එම සංවර්ධනය සාර්ථක වන්නේ නැත. ඒ සඳහා ක්‍රියාකාරී වැඩසටහන් තිබිය යුතුය. ඒවාට රාජ්‍ය අනුග්‍රහය හා නායකයන්ගේ සහයෝගය පැවතිය යුතුය. අවම වශයෙන් නායකත්වයට ඒවා ගැන උනන්දුවක් ඇතිවීම පවා වෙනසකට මග පාදනු ඇත. අපේ රටේ මේ වනවිට එබඳු වෙනසක් ඇතිවෙමින් පවතී.

රට සංවර්ධනය කරා යන ගමනේ දී බොහෝ අංශ මෙන්ම ගුවන් ගමන් ක්ෂේත්‍රය ද දක්වන්නේ මනා පිටිවහලකි. 30 වසරක යුද්ධය නිමා වීමෙන් අනතුරුව ශ්‍රී ලාංකේය ගුවන් ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එක් කරමින් පලාලි ගුවන් තොටුපොළ ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා එක් කිරීමේ වැඩපිළිවෙළක් පසුගියදා ඇරැඹිණි.

ලබන අගෝස්තු මාසය වනවිට පලාලි ගුවන් තොටුපොළ හරහා ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට හැකි බව පෙන්වා දෙන සිවිල් ගුවන් සේවා අධිකාරිය අදියර 3ක් යටතේ මෙහි සංවර්ධන කටයුතු සිදුවනු ඇතැයිද කියයි. මෙහි පළමු අදියර ලෙස ගුවන්යානා මෙහෙයුම් කටයුතු සඳහා භාවිතයට ගැනෙන ප්‍රධාන ධාවන පථයෙහි මුල් මීටර් 950 අලුතින් ඇතිරීම සිදු කෙරෙයි. මේ සමඟම ආසන 72ට අඩු Bombardier @ 100 වර්ගයේ ගුවන්යානා පලාලි ගුවන් තොටුපොළෙහි හැසිරවීමේ අවස්ථාව උදාවනු ඇත.

යාපනය පලාලි ගුවන් තොටුපොළ සංවර්ධනයට දැනට ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 2,250ක් වන අතර ඒ සඳහා ශ්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 1,950ක් සහ ඉන්දීය ආධාර රුපියල් මිලියන 300ක් යොදවනු ඇත. මෙම ව්‍යාපෘතියේ දෙවැනි අදියර ලෙස ප්‍රධාන ධාවන පථය කිලෝමීටර් 1.5 දක්වා අලුතින් ඇතිරීම සිදු කිරීමට නියමිතය.

ගුවන් තොටුපොළෙහි වැඩ නිමවූ වහාම ආසන 100ට අඩු ගුවන්යානා දකුණු ඉන්දියාවට සහ කලාපීය අනෙකුත් රටවලට රැගෙන යන වැඩපිළිවෙළක් ලබන සැප්තැම්බර් මාසය වනවිට ආරම්භ කෙරෙන අතර එය මෙරට ගුවන් ගමන් ක්ෂේත්‍රය ලබාගත් තවත් පිම්මක් බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.

පසුගිය 05 වැනිදා මෙහි වැඩ කටයුතු ආරම්භ වූ අතර එම වැඩපිළිවෙළ පිළිබඳව විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙසේ පැවසීය.

“මම සන්තෝස වෙනවා ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ මගපෙන්වීම යටතේ අද පලාලි ගුවන් තොටුපොළ නැවත වරක් ජාත්‍යන්තර කලාපීය ගුවන් තොටුපොළක් හැටියට ආරම්භ කිරීමට හැකිවීම ගැන. 2015 මැතිවරණයෙන් පස්සේ ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ විශේෂ අවධානයක් යොමුවෙලා තිබුණා උතුරු නැගෙනහිර සංවර්ධනය ගැන. මගේ අමාත්‍යංශයේ උතුර සංවර්ධන වැඩපිළිවෙළේ මූලිකම අවශ්‍යතාව වෙලා තිබුණේ පලාලි ගුවන් තොටුපොළ. පසුගිය මාස 06 තිස්සේ අගමැතිතුමා මේ පිළිබඳව මූලිකත්වය අරගෙන ඉන්දියානු මහ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කරලා අගෝස්තු මාසය වනවිට පලාලි ගුවන්තොටෙහි සංවර්ධන කටයුතු ඉවර කරන්න පවතින අවශ්‍යතාව ගැන අප දැනුවත් කළා.

උතුරට ආවම මම දැකපු දෙයක් තමයි මේ ප්‍රදේශයේ ජනතාව පැය ගණන් නාස්ති කරලා කටුනායකට එනවා දකුණු ඉන්දියාවට යන්න. පැය 08ක් නැත්නම් දවස් භාගයක් ගතවෙනවා මේ ජනතාවට දකුණු ඉන්දියාවට යන්න. ඒක නිසා තමයි අපිට මූලිකත්වය ලබා දෙන්න වුණේ මේ ගුවන් තොටුපොළ කලාපීය ගුවන් තොටුපොළක් කරන්න. මෙහි මූලික වැඩ කටයුතු ලබන අගෝස්තු මාසය වනවිට අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. සැප්තැම්බර් මාසය වනවිට මෙහි ගුවන් ගමන් කටයුතු ආරම්භ කරන්නත් බලාපොරොත්තු වෙනවා.

මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කරලා මේ ගුවන් තොටුපොළ හරහා සිදුකෙරෙන ගුවන් ගමන් සඳහා අවම මිල ගණන් යටතේ ගුවන් ටිකට්පත් මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමුකර තිබෙනවා. ඒ වගේම මේ වෙනුවෙන් මුදල් අමාත්‍යංශය පහසුකම් ලබා දී තිබෙනවා. අවම මිල ගණන්වලට අලෙවි කිරීමේදී එම ආයතනවලට අවශ්‍ය කරන මුදල ලබාදීමට අමාත්‍යංශ අනුමැතිය හිමි වී තිබෙනවා.”

පාස්කු ප්‍රහාරයෙන් පසුව මෙරට නැවතී තිබූ සංවර්ධන කටයුතු එකිනෙක මේ වන විටත් නැවත ආරම්භ වෙමින් තිබේ. කලාපීය ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමඟ අලුතින් සංවර්ධනය වන පලාලි ගුවන් තොටුපොළ නුදුරේදීම ජනතා අයිතියට පත්වනු ඇත. මෙය රටෙහි සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ නැවත පිබිදීමක් ලෙස සනිටුහන් කළ හැකිය.
► හසිත් අංජන