2019 ජුලි 13 වන සෙනසුරාදා

මීගමුව විපක්ෂ නායකයා කොටු වූ නිධන් වස්තු කොල්ලය

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 66

සංචාරක මග පෙන්වන්නකු වශයෙන් කටයුතු කරන ‘සුරාජ්’ ඔහුගේම මෝටර් රථ කිහිපයක් යොදවා සංචාරක ව්‍යාපාරයේ නිරතව සිටින්නෙකි. ධනවත් ව්‍යාපාරිකයකු වශයෙන් කටයුතු කළ ඔහු කටාන ආනන්දපුර ප්‍රදේශයේ පදිංචිව සිටියේය.

ආයුධවලින් සන්නද්ධ වූ පුද්ගලයන් සිව්දෙනකු පසුගියදා මේ ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණ තිබුණේ මැදියම් රැයකය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් බවට තමන් හඳුන්වා දුන් පිරිස නිවස සෝදිසියට ලක්කරමින් කියා තිබුණේ නිධන් වස්තු සඟවා ඇතැයි ලද තොරතුරකට අනුව මේ සෙවීම කරන බවය. එහෙත් එවැනි වස්තුවක් හමුනොවූයෙන් නිවසේ ආරක්ෂාවට තිබූ රහසිගත කැමරාවල  දත්ත ගබඩාව ද ගලවාගත් පිරිස ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙනගොස් තිබුණේ ඉකුත් මාර්තු 22 වැනිදා රාත්‍රියේදීය.

“උඹ ළඟ නිධන් වස්තු මොකුත්ම නෑ කියලනේ කියන්නේ... එහෙනම් යමං අපිත් එක්ක” යැයි කී පිරිස බලෙන් ග්‍රහණයට ගත් ව්‍යාපාරිකයා වෑන් රථයකට නංවා දෑස් බැඳ රැගෙන ගොස් තිබුණි. රැගෙන යන්නේ කොතැනකටදැයි ව්‍යාපාරිකයා දැන සිටියේ නැත. ඉන් පසුවත් ව්‍යාපාරික සුරාජ් පිළිබඳව හෝඩුවාවක් තිබුණේ නැත.
පසුදින උදෑසන කටාන පොලිස්ථානයට පැමිණි චීන ජාතික කාන්තාවකි. ඇය පෙරදිනයේ පැහැර ගැනීමට ලක්වූ සුරාජ් මහතාගේ බිරියයි. ඇය පැමිණිල්ලකින් දක්වා තිබුණේ සිය ස්වාමිපුරුෂයා හමුවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කියා පැමිණි පිරිසක් හේතුවක් රහිතව ස්වාමියා පැහැරගෙන ගිය බවත් ඔහු පිළිබඳව තොරතුරක් නොමැති බවත්ය. වැඩිදුරටත් දන්වා තිබුණේ ව්‍යාපාරික සැමියා හා ඔහුගේ වෑන් රථය ද පැහැරගෙන ගිය බවකි.

ස්වාමිපුරුෂයා සතුව තිබූ විදේශීය මුදල් (යූරෝ) ලංකා මුදලින් රුපියල් ලක්ෂ 69කට වැඩි මුදලක් සමඟ වෑන් රථයේ තිබූ මැණික් ගල් කිහිපයක් ද පැහැරගෙන ගිය බවද පැමිණිල්ලෙන් දක්වා තිබුණි.

පැහැරගැනීම පිළිබඳ කටාන පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපති සුදත් නිවුන්හැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් සැරයන් සුගත් මහතා ඇතුළු පිරිසක් විමර්ශන සිදු කරමින් සිටියහ. මේ අතරතුර දිනකට පසුව ව්‍යාපාරික සුරාජ් මහතා නිවසට පැමිණි අතර බිරියගේ පැමිණිල්ල අනුව පොලීසියට ප්‍රකාශයක් ද ලබා දී තිබිණි.

ගිනි අවි සහිතව පුද්ගලයන් සිව්දෙනකු පැමිණි බවත් නිවසේ නිධන් වස්තු ඇති බවට තොරතුරු ඇති බවට ප්‍රකාශ කළ බවත් ඒවා ඉල්ලා සිටි බවත් ඔහු පොලීසියට කීවේය. කිසිවක් නැතැයි කී පසුව දෑස් බැඳ තමාව රැගෙන ගිය බවත් සිය රථයේ තිබූ මැණිල් ගල් කිහිපයක් ද පැහැරගත් බවද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය. මේ අතර ගිණුම්වල ඇති රුපියල් කෝටි 4ක මුදල් ඔවුන්ට ලබාදෙන බව ප්‍රකාශ කර එම පොරොන්දුව මත තමා ජීවිතය බේරාගෙන පැමිණි බව ද කියා තිබිණි. වැඩිදුරටත් සුරාජ් මහතා කියා තිබුණේ තමාට රැයක් එළිවනතුරු නිධන් වස්තු පිළිබඳව අසමින් ශාරීරිකව වද දුන් බවකි.

ව්‍යාපාරිකයාගේ තොරතුරු අසා සිටි පොලිස් නිලධාරීහු නිධන් වස්තු පිළිබඳ කතාවට අවධානය යොමු කළහ. එවැනි කාරණයක් පිළිබඳව පිටස්තර කෙනකුට කවදා හෝ කියා ඇතිදැයි ඔහුගෙන් විමසා සිටියේ ඒ අතරතුරය. එහිදී කල්පනා කළ සුරාජ් මහතා මෙසේ කියා තිබිණි.

“දවසක් මගේ හිතවතෙක් කතා කළා. එයා මීගමුව නාගරික මන්ත්‍රී කෙනෙක්. නිධන් ගන්න පුළුවන් විදිහක් තමයි කීවේ. මට වුවමනාවක් තිබුණේ නෑ. මම කීවා මට මොකටද ඕවා.. මට ඕනතරම් නිධන් වස්තු තියෙනවා. බොරුනම් බලපන් කියලා ෆෝන් එකේ තිබුණු ෆොටෝ එකක් පෙන්නුවා. ඒකෙ තිබුණෙ නම් සිංගප්පූරුවෙන් ගෙනාපු කඩුවක කොපුවක්. ඒක නිකමට ලස්සනට තිබුණු එකක්. මම විහිළුවටයි එයාට ඒක පෙන්නුවේ” යැයි කියා ඇත.

මේ තොරතුර පොලීසියට හොඳ හෝඩුවාවක් විය. සැකකාර නාගරික මන්ත්‍රීවරයා හඳුනාගත් පොලීසිය ඔහු අත්අඩංගුවට ගැනීමට ගිය ද ඔහු ඒ වනවිටත් විදේශගතව සිටියේය. එම සැකකාර නාගරික මන්ත්‍රීවරයා ව්‍යාපාරික සුරාජ් මහතාගේ හිතවතෙකි. ඔහුට අයත් සංචාරක බංගලාවක් මීගමුව ප්‍රදේශයේ පවත්වාගෙන යයි. නිධන් කතාව පිළිබඳ පසුව ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී නිධන් ගැනීමට සූදානම්ව එම යෝජනාව සුරාජ්ට ඉදිරිපත් කළ බවත් ඔහු ඊට අකමැති වූ බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඔහු සතුව ඇති නිධන් වස්තුවල කඩුවක් පිළිබඳ එ.ජා.ප හිටපු පළාත් සභා මන්ත්‍රී මීගමුව ප්‍රධාන සංවිධායක මෙන්ම මීගමුව නගර සභාවේ වත්මන් විපක්ෂ නායක රොයිස් විජිත ප්‍රනාන්දු නැමැත්තාට කී බවත් එය පැහැරගැනීමට සිතූ බවත් ඔහු කියා තිබිණි.

මේ අනුව තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගනු ලැබුවේ සැකකාර නාගරික මන්ත්‍රී සුනිල් සිල්වාගේ හිතවතකුගේ පාපොච්චාරණයට අනුවය. සුනිල් ඇතුළු තිදෙනා මාර්තු 22 රාත්‍රියේ ව්‍යාපාරික සුරාජ් මහතාගේ ගෙදරට නොගොස් මඟ රැඳී සිට ඇත. ඔවුන්ගේ මග පෙන්වීම මත වෙනත් පුද්ගලයන් හතරදෙනකු නිවසට ගොස් පැහැර ගැනීම සිදුකළ බව හෙළි වී තිබේ. එසේ නිවසට ඇතුළු වූ සිව්දෙනා රොයිස් ප්‍රනාන්දුගේ හිතවතුන් බවද කියා ඇත. කලින් දිනක සුරාජ් පෙන්වූ ඡායාරූපයක් නිසා පැහැරගැනීම සිදුකළ බවත් නිධන් වස්තු නොමැති නිසා කෝටි 4ක කප්පමක් ලබා ගැනීමට සිතූ බවත් ඒ සියල්ල රොයිස් ප්‍රනාන්දුගේ සගයන් විසින් සිදුකළ බවත් කියා තිබුණි. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය සිද්ධියට සැකකරුවන් වූ පුද්ගලයන් 5 දෙනකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි සැකකාර රොයිස් විජිත් ප්‍රනාන්දු නැමැත්තා ප්‍රදේශයේ සිටියේ නැත. දින ගණනාවක් සිදුකළ විමර්ශන අතරතුර ඔත්තුවක් ලැබී තිබුණේ සැකකරු මීගමුව මුන්නක්කරය ප්‍රදේශයේ චීන අවන්හලක සිටින බවය. වහා ක්‍රියාත්මක වූ නිලධාරීහු එතැනට ගොස් සැකකරු අත්අඩංගුවට ගත්හ. සිදුකළ ප්‍රශ්න කිරීමේදී තමාගේ හිතවත් නාගරික මන්ත්‍රී සුනිල් සිල්වාගේ තොරතුරකට අනුව තමාගේ කණ්ඩායමක් යොදවා පැහැර ගැනීම සිදුකළ බවට ඔහු ප්‍රකාශ කරන්නේ යැයි පොලීසිය කියයි.

කොල්ලකරුවන්ට අවශ්‍ය උපදෙස් හා ගිනි අවි සපයා තිබුණේ රොයිස් ප්‍රනාන්දු විසින් බවද හෙළි වී තිබේ. රොයිස් ප්‍රනාන්දු සුපිරි ජීවිතයක් ගතකරන පුද්ගලයකු වශයෙන් ප්‍රසිද්ධව සිටිය ද ඔහුට අයත් නිශ්චිත ආදායම්වල ද විනිවිදභාවයක් නැත. බොහෝ දුරට සැක කෙරෙන්නේ අකටයුතුකම්, ජාවාරම් හා කප්පම් ගැනීම මගින් උපයන ධනයෙන් ඔහු සුපිරි ජීවිතයක් ගතකරන බවය.

වසර ගණනාවකට පෙර ඔහු පොලිස් විශේෂ කාර්ය බළකායේ උපපොලිස් පරීක්ෂකවරයකු ලෙස ද සේවය කර ඇත. එහිදී එම බළකාය සතු ගිනි අවි භාවිත කරමින් කොල්ල කෑ බවට එල්ල වූ චෝදනා නිසා සේවයෙන් නෙරපා ඇත. අනතුරුව එවැනි කටයුතුවල නිරත වූ මොහුට එරෙහිව ඇති ලොකුම චෝදනාවක් වන්නේ 2017 වසරේ මීගමුව ජුවෙල් ලංකා කොල්ලය සිදුකර ලක්ෂ 38ක් පැහැර ගැනීමය. 2013 වසරේදී උණ්ඩියල් මුදල් මංකොල්ලය සිදු කිරීම ද තවත් චෝදනාවකි. 1994 වර්ෂයේදී ප්‍රධාන දේශපාලනඥයකු ළඟ රැඳී සිටිමින් විරුද්ධ පාර්ශ්වයේ ඇමැති ආරක්ෂකයකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර ඇති බවට ද චෝදනාවක් තිබේ. මාරවිල, මීගමුව ඇතුළු ප්‍රදේශ ගණනාවක අධිකරණවල මොහුට එරෙහිව නඩු පවතී.

කටාන පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුදත් නිවුන්හැල්ල, පොලිස් සැරයන් සුගත් ගුණවර්ධන (531155), පොලිස් සැරයන් ලීලාරත්න (34498), පොලිස් කොස්තාපල්වරැන් වන (38867) රණබාහු, (82685) උදයකුමාර, (32249) අනුෂ්ක, (74777) සම්පත් යන අය වැඩිදුර විමර්ශන සිදුකරති.

► සමන්ත ප්‍රදීප් විල්තෙර