2019 ජුලි 13 වන සෙනසුරාදා

බොදුබල සේනාවේ බෝගම්බර ප්‍රකාශය

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 46

බොදුබල සේනා සංවිධානය විසින් සංවිධානය කළ දැයම එක රොදකට - සිවු හෙළයේ ජාතික මහා සමුළුව නමින් සමුළුවක් පසුගිය ඉරිදා මහනුවර බෝගම්බර ක්‍රීඩාංගයේදී පැවැත්විණි. බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සමුළුවට ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ විශාල ජනතාවක් සහභාගී වී සිටියහ.

ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීමේ වගකීම භික්ෂූන්වහන්සේට බාර දෙන ලෙස ඉල්ලා සිටි ඥනසාර හිමියෝ අන්තවාදය නමැති විෂඝෝර සර්පයා විනාශ කළ හැක්කේ ධර්මය නමැති කඩුවෙන් යැයි පැවසූහ. එක් එක් දේශපාලකයන්ගේ භික්ෂූන් ලෙස සංඝරත්නය බේදබින්න නොවී සියලු දෙනා එක්ව ජාතිය මෙහය විය යුතුයැයි ද මෙරට ඇති පන්සල්  10,000න් 7000ක් නිකාය භේද නොමැති පෙරමුණකට ගත හැකි නම් තනි සිංහල ආණ්ඩුවක් ඇති කළ හැකි බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

අවුරුදු 70ක් තිස්සේ මේ පාලකයන් මොනවද කළේ කියා අප අහනවා. මේ පාර්ලිමේන්තුවේ චෝදනාවක් නැති මන්ත්‍රී කෙනෙක්, ඇමති කෙනෙක් හෝ දේශපාලන නායකයෙක් සොයා ගැනීම කිසිවකු නොමළ ගෙයකින් අබ ඇටයක් සොයනවා වැනියි. අපට අවශ්‍ය ජාතියට නායකත්වය දිය හැකි නායකයෙක් විනා පක්ෂ නායකයෙක් නොවෙයි.සංඝයාවහන්සේට දේශපාලනයට පිවිසීමට අවශ්‍ය නැහැ. අපට ඇත්තේ රටට, ජාතියට ආදරය දක්වන ජාතික නායකයකු සොයා ගැනීමයි. රටට සුදුසු නායකයෙක් තනා සිංහලයන් අතට බලය ලබා ගන්නා තෙක් අප මේ සටන අතහරින්නේ නැහැ යනුවෙන් උන්වහන්සේ එහිදී ප්‍රකාශ කළ සේක.

රට ඉහළ තලයකට ඔසවා තබමින් සියලු ජන කණ්ඩායම්වලට පොදු සාකච්ඡාවකට අවතීර්ණ වන ලෙසට ආරාධනා කිරීම මෙම සමුළුව  පැවැත්වීමේ අරමුණ විය. සමුළුව ආරම්භ වීමට ප්‍රථම ඥානසාර හිමි ඇතුළු පිරිස රටේ අනාගත වැඩ පිළිවෙළ  පිළිබඳව සකසන ලද බෝගම්බර ප්‍රකාශනය දළදා සමිඳුන් වෙත පූජා කෙරිණි.

සිංහල රාජ්‍යය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීම, එක් රටක්, එක් ජාතියක්, එක් නීතියක්, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ පෝෂණය කිරීම, ජාතික ආරක්ෂාව, ජාතික උරුමයන් සුරැකීම, ශක්තිමත් දියුණු තිරසර ආර්ථිකයක්, දේශ ප්‍රේමී අධ්‍යාපනයක්, නිවාස යටිතල පහසුකම්  ජනාවාසකරණය සහ ජනගහන කළමනාකරණය, සෞඛ්‍ය සහ පෝෂණය යන මාතෘකා පිළිබඳව බෝගම්බර ප්‍රකාශයෙන් සාකච්ඡා කර තිබේ.

1.1815 දී සිංහලේ රාජ්‍යය හා ඉංග්‍රීසීන් විසින් මහනුවර දී අත්සන් කළ ගිවිසුමට අනුව මෙරටින් උදුරාගත් සියලු උරුමයන් දිනා ගැනීම පිණිස එහි පදනම වන සිංහල රාජ්‍යය ස්ථාපනය කොට අන් සියලු ව්‍යුහයන් ඒ මත ශක්තිමත්ව ප්‍රතිනිර්මාණය  කිරීම. බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කිරීම රජයේ වගකීම වන අතර අනෙකුත් ආගම් ඇදහීමේ අයිතිය මානව අයිතිවාසිකමක් ලෙස පිළිගැනීම කටයුතු කිරීම.

2. ජාතිය වෙත බලෙන් පැටවූ රෝම, ලන්දේසි, ඉංග්‍රීසි ආකෘතීන් තුළින් නිර්මාණය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීති රීති පද්ධතිය වෙනුවට අපගේ අනන්‍යතාව සුරකින ජාතික අවශ්‍යතා නියෝජනය කරන  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සහ නීතිරීති පද්ධතියක් අලුතෙන් සකස් කිරීමට යෝජනා කිරීම.

3.දැනටමත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීම සඳහා වන රජයේ වගකීම් බලාත්මක කිරීමට කඩිනම් පියවර ගැනීම.

4. වර්ගවාදී බෙදුම්වාදය තහනම් කළා සේ ම ආගමික  බෙදුම්වාදයත් ආගමික  අන්තවාදයත් වහා තහනම් කිරීමට කටයුතු කිරීම. වෙනම නීතිරීති, බැංකු ක්‍රම, උසාවි හරහා වෙනම සංස්කෘතික රාජ්‍ය ගොඩනැඟීමට උත්සාහ කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන  බැවින් එය බෙදුම්වාදයක් ලෙස සලකා කොන්දේසි විරහිතව වහා තහනම් කිරීමට කටයුතු කිරීම.

5. කාලයක් තිස්සේ  සිදු වෙමින් පවතින වසර 2500 කට අධික ඉතිහාසයක් ඇති අප රටේ පුරාවිද්‍යාත්මක භූමි, ස්මාරක, වෙහෙර, විහාර, විනාශ කිරීම හා එම භුමි අනවසරයෙන් අල්ලා ගැනීම තහනම් කිරීම හා සිංහල භාෂාව හා සාහිත්‍යය, පුරාවිද්‍යා භූමි, ස්මාරක, ආදි ස්ථාන හඳුනාගෙන ජාතික උරුමයන් ලෙස නම් කිරීම.

6. වර්තමාන ආර්ථික ව්‍යුහය හා සමස්ත ආර්ථිකයේ හැසිරීම් තුළ සිංහලයාට ඇත්තේ ඉතා සීමිත ඉඩකඩකි. මෙම තත්ත්වයෙන් ජාතිය මුදවා ගැනීම සඳහා සැලසුම් සහගත දිගුකාලීන ජාතික ප්‍රතිපත්ති රාමුවක් ගොඩනගා ගැනීම.

7. සූක්ෂ්ම ලෙස ජාතියේ අනාගත පරපුර දුර්වල කිරීමේ ආකෘතියකට තල්ලු වෙමින් පවතින මෙරට අධ්‍යාපන ක්‍රමය ක්‍රමවත් කිරීම.

8. ජාතිවාදී පදනමකින් සැලසුම් සහගතව සිදුකරන ජනසංයුති වෙනස් කිරීමේ ක්‍රියාකාරකම් ජාතික ප්‍රතිපත්ති රාමුවක් හරහා කළමනාකරණය කිරීම, උතුරු නැගෙනහිර වාර්ගික යුද්ධයේදී සහ ඉන් අනතුරුව සිදු වූ වාර්ගික වශයෙන් භුමිය අල්ලාගැනීම, වාර්ගික ප්‍රදේශ නිර්මාණය කිරීම, සිදුකරන ජනාවාසකරණය, වාර්ගික පරිපාලන ව්‍යුහයන් බිහිකිරීම වහා නතර කිරීමට අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීම.

9. නිරෝගී මිනිස් පරපුරක් බිහි කිරීම රාජ්‍යයේ ප්‍රමුඛ වගකීමක් ලෙස හඳුනාගෙන ඒ සදහා පුළුල් ජාතික ප්‍රතිපත්තියක් මත පිහිටා කටයුතු කිරීම වැනි කරුණු බෝගම්බර ප්‍රකාශනයට ඇතුළත් කර තිබේ.

මෙම සමුළුවේදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඥානසාර හිමියෝ මේ රට ගොඩනැඟූ ඓතිහාසික ජාතිය වන සිංහල ජාතිය මේ වනවිට ජාතියට වගකියන නායකයකු නොමැතිව ඉතා දුර්වල තත්ත්වයකට පත් වෙලා. රටම හඬා වැටෙන මොහොතක යළිත් එය දියුණුවට පත් කළ හැකි වැඩපිළිවෙළක් යෝජනා කිරීමට අප බෝගම්බර ප්‍රකාශනය තුළින් පියවර ගන්නවා යැයි සඳහන් කළහ.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා