2019 ජුලි 13 වන සෙනසුරාදා

අද ඉන්නේ ඉන්ටර්නෙට් විද්වතුන්

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 91

- ප්‍රවීණ ලේඛක සේන තෝරදෙණිය

සේන තෝරදෙණිය සිය නවකතා උදෙසා රාජ්‍ය සාහිත්‍ය සම්මානය දෙවරක් හිමිකරගෙන ඇති අතර හොඳම පරිවර්තනය සඳහාද සම්මාන හිමිකරගෙන ඇත. ඔහුගේ කෘති ස්වර්ණ පුස්තක අවසන් වටයටද නිර්දේශ වී තිබේ. නිර්මාණශීලී ලේඛකයකු මෙන්ම විචාරකයකු ලෙසද ප්‍රකට තෝරදෙණියගේ අලුත්ම නවකතාව නිමල මල පසුගියදා සුරස පොතක් ලෙස නිකුත් විය.

ඔබේ අලුත්ම නවකතාව ගැන විස්තර කළොත්?

මේ නවකතාව නිමල මල - මියගිය සොල්දාදුවකුගේ නොමියෙන කතාව ලෙස නම්කර තිබෙන්නේ. මාධ්‍ය හා චිත්‍රපට මගින් අවුල් කරන ලද යුද ක්‍රියාවලිය, සාම ක්‍රියාවලිය හා යුද ජයග්‍රහණය පිළිබඳ ගැටලු ලිහමින් නිසි අවබෝධයක් ලබාදිය හැක්කේ ලේඛකයාට කියන තැන මම ඉන්නවා. පසුගිය යුද ක්‍රියාවලිය හා බැඳුණු සියල්ල මූලික කරගත් නිර්මාණවලින් සිදුව ඇත්තේ එය විකෘති කිරීමයි. මට අවශ්‍ය වූයේ ඒ ගැටලු ලිහීමටයි.

මෙහි ආකෘතිය ගැන පැවසුවහොත්?

මේ නවකතාව ප්‍රධාන චරිත තුනක් උත්තම පුරුෂ කථනයෙන් මියගිය සොල්දාදුවා ගැන කරන විස්තර ඔස්සේ දිව යනවා. සොල්දාදුවාගේ ජීවිතය, හමුදා මෙහෙයුම්, සාම ක්‍රියාවලිය සාකච්ඡා වන්නේ ප්‍රධාන චරිත තුන ඔස්සේ. මම මීට කලිනුත් මේ විදිහේ ආඛ්‍යාන භාවිත කර තිබෙනවා. සදත්විල මහා සුභද්‍රාවෝ, සප්ත අපදාන වස්තුව යන නවකතාවලදීත් ඒ ආකාරයේ ආඛ්‍යාන භාවිත කළා. මෙහි විශේෂත්වය තමයි ප්‍රධාන චරිතය වන සොල්දාදුවා උත්තම පුරුෂ කථානයට සම්බන්ධ නොවීම.

මෙම කෘතියේ පවතින දේශපාලන ස්වභාවය විග්‍රහ කෙරෙන්නේ කෙසේද?

වර්තමාන දේශපාලන තත්ත්වය විග්‍රහ කරන්නේ කෙසේද යන ගැටලුව මට මතුවුණා. වර්තමාන දේශපාලනය විග්‍රහ කිරීම නවකතාකරැවාට ප්‍රබල අභියෝගයක් කියලා මට පෙනුණා. මේ දේශපාලනය තවම පවතිනවා. ඒක අතීතයට ගොස් නැහැ. මම යොදාගන්නේ ඊමේල් ලිපි හරහා ඒ අදහස් ඉදිරිපත් කිරීම. දෙදෙනෙක් හරහා කෙරෙන සාකච්ඡා ඔස්සේ දේශපාලන ස්වභාවය විස්තර කෙරෙනවා. සහජීවන ක්‍රම, යහපාලනය වගේ දේශපාලන තත්ත්ව ඒ ඔස්සේ විග්‍රහ වෙනවා.

නවකතාවක ආඛ්‍යානය විස්තර කිරීමට ඊමේල් අපේ රටේ ඔබට පෙර යොදාගෙන තිබුණේ නැහැ නේද?

ඔව්. අපේ රටේ එලෙස යොදාගෙන තිබුණෙ නැහැ. ඒ ක්‍රමය යොදාගත් ඉංග්‍රීසි නවකතාත් මට කියවීමට ලැබුණේ නැහැ. නමුත් SMS වගේ දේවල් ඔස්සේ ඉංග්‍රීසි නවකතා ලියා තිබුණා. පසුව මට දැනගැනීමට ලැබුණා ඉංග්‍රීසි නවකතාවල මේ ක්‍රමය යොදාගත් බව.

සමහර ප්‍රවීණයන් නූතන තාක්ෂණික උපක්‍රම, අන්තර්ජාලය වගේ දේවල් නවකතාවලට එක්කර ගැනීම ප්‍රතික්ෂේප කරන බව පේනවා?

ඒක වැරදියි. අන්තර්ජාලය දැනුම ලබාගැනීමේ දෙයක් හැටියට වැදගත්. නමුත් මෙහි තිබෙන භයානකකම තමයි ඉන් උරාගත් දේවල් දැනුම ලෙස පෙන්වීම. අපේ රටේ ඉන්ටර්නෙට් විද්වතුන් පිරිසක් ඉන්නවා. එහෙම කොටසක් ඉන්න බැහැ. මූලික පදනම් දැනුම තිබෙන්නේ මුද්‍රිත මාධ්‍යයේ. පොත්පත්, පර්ෙය්ෂණ ග්‍රන්ථ ගැන නොදැන අන්තර්ජාලයේ පිහිට පැතීමට ගියොත් උගතෙක්, විද්වතෙක් වීමට බැහැ. මූලාශ්‍ර ග්‍රන්ථය තමයි වැදගත්. ක්ෂණිකව ලබාගත හැකි දේවල් ලබාගැනීමට අන්තර්ජාලය ප්‍රයෝජනවත් වෙනවා.

එදා පොත්පත් කියවූ කුඩා දරුවන් අද ස්මාට් දුරකථනයට ඇබ්බැහි වෙලා. මේ තාක්ෂණය අද ව්‍යසනයක් වෙලා නේද?

ඔව්. අද තාක්ෂණයට අවුරුදු 10-12 ළමයි ගොදුරු වී ඇතිකර ගන්නා විනාශය මම මේ කෘතිය මගින් පෙන්වා දී තිබෙනවා. එම ප්‍රතිඵල දැනගෙනයි අපි එය භාවිත කළ යුත්තේ. මේක ප්‍රබල ප්‍රශ්නයක්. එක ධනපති පන්තිය හා මැද පන්තිය විතරක් නොවේ, පහළ පන්තියටත් ගිහින් තිබෙනවා.

අද නවකතා බහුලව පළවෙනවා. ඔබ විචාරකයෙක් ලෙස ඒවා සියල්ලම කියවනවාද?

අද නවකතා බහුලව පළවුණත් මගේ කියවීම එක්තරා ප්‍රමාණයකට සීමා වෙනවා. පොත් පළවෙන හැටියට අපට ඒවා සමඟ ගනුදෙනු කිරීම ටිකක් අමාරුයි. අපි මෙතරම් කාලයක් කියවූ දෙය වෙනත් අය සමඟ බෙදාගත්තා. ඒක කළේ විචාර මගින්. නමුත් අද විචාර පළ කිරීමට තැනක් නැහැ. ඒ සඳහා ඉඩක් ලබාදීමට මාධ්‍ය නැහැ. ඒ නිසා කියවන්නේ ඇයි කියන එකත් ප්‍රශ්නයක්. යම්කිසි තෝරා ගැනීමකින් තමයි කියවන්නේ. සම්මානවලට තේරෙන කෘති නම් කියවනවා. විශාල වශයෙන් නිර්මාණ බිහිවෙනවා. ලේඛකයෝ බිහිවෙනවා. ඒක හොඳ දෙයක්.

සමහර ලේඛකයෝම පවසනවා අද විචාර කලාවක් නැහැ කියලා?

ඒක වැරදියි. මම ඒ මතය ප්‍රතික්ෂේප කරනවා. මට නම් පුද්ගලික ප්‍රශ්නය විචාරය කිරීමට තැනක් නැතිකමයි. විචාරය තිබෙනවා. විචාරකයොත් ඉන්නවා. 

අද විචාරවලට මාධ්‍යයක් නැතිවීමේ ගැටලුව විසඳාගන්නේ කෙසේද?

රජත පුස්තක සම්මාන ප්‍රදානයේදීත් පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසුවා ජයග්‍රාහී කෘති ගැන විචාර ලියන්න කියලා. විචාර ලිව්වට කවුද පළ කරන්නේ. අපි අවුරැදු ගාණක් තිස්සේ සමීක්ෂණ ක්‍රියාවලිය ගැන පැවසුවා. ඒවායෙන් කිසි ප්‍රයෝජනයක් ලැබුණේ නැහැ. අපට තරහකාරයෝ වැඩිවීම පමණයි වුණේ.

පොත් ප්‍රකාශකයන්ගේ සංගමයට පුළුවන් ස්වර්ණ පුස්තක පොත් 12 ගැන විචාර පළ කිරීමට අවස්ථාවක් සලසාදීමට. ඔවුන්ට ඒ ගැන ප්‍රකාශනයක් පළකිරීමට පුළුවන්. ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය අරමුදල් තිබෙනවා. ඒක විචාර කලාවට කරන සේවයක් වෙනවා. ස්වර්ණ පුස්තකය තෝරලා සම්මාන දීලා පමණක් වැඩක් නැහැ. පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විචාර කලාවට දෙන අවස්ථාව කුමක්ද? අඩුම වශයෙන් සමීක්ෂකයන්ගේ වාර්තා හෝ ඔවුන් පළ කළ යුතුයි. මේක ඔවුන්ගේ වගකීමක්. ඒකට අරමුදල් යෙදවීම ඔවුන්ට රටකජු කනවා වගේ වැඩක්.

අද බිහිවන නවකතා සමඟ දශක තුන හතරකට පෙර නවකතා සැසඳුවොත්?

අද නවකතාවල විවිධ තේමා වැඩිවෙලා. ඒක මාර්ටින් වික්‍රමසිංහගේ නවකතා සමඟ සැසඳීමට බැහැ. අද බිහිවන තේමාවන් දෙස බලන විට වික්‍රමසිංහගේ නවකතා තමයි පදනම සැපයුවේ. හැබැයි අපි තවම ගම්පෙරළියේ හිරවී සිටීම වැරදියි. ඊට පසු බිහිවූ හොඳ කෘති රාශියක් තිබෙනවා. ඒවා ඉස්මුතු කරන්නේ නැහැ. අද නවකතා හරිම විස්තීර්ණ හා සංකීර්ණයි. ඒක සාධනීය පැත්තක්. විවිධ දිසාවන්ට විහිදෙන රේඛා තිබෙනවා. අපි නවකතා දෙස බැලිය යුත්තේ ඒ ඔස්සේ. 

- කුසුම්සිරි

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00