2019 ජුලි 13 වන සෙනසුරාදා

මාධ්‍ය ලෝකයේ පෙරළියක්

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 110

ග්‍රහ මණ්ඩලයේ රජු සෙන්පතියා සහ බුද්ධිමතා ලෙස විරුදාවලිය ලැබූ රවි කටක රාශියෙහි එක්ව ගමන් කිරීමක් සිදුවෙයි. මේ වනවිටත් තමාට නීච රාශි භවන වූ කටක රාශියෙහි ගමන් කරමින් සිටින අඟහරැ සමඟ බුධ ද තමාට සතුරු රාශියක් වූ කටකයෙහි ගමන් ගනී. මෙහිදී ග්‍රහලොව රජු වූ රවි 2019 ජූලි මස 17 වැනි බුධ දින පාන්දර 4.33ට අඟහරු හා බුධ සමඟ යෝග වෙමින් 2019 අගෝස්තු 17 වැනි ශනි දින දක්වා කටක රාශියෙහි ගමන් කරනු ඇත. 2019 අගෝස්තු 9 වැනි කිවි දින දක්වා අඟහරැ සමඟත් 2019 ජූලි 30 දක්වා හා 2019 අගෝස්තු 3 සිට නැවත වරක් බුධ රවි සමඟ යෝගව ගමන් කරනු ඇත.

රවි, කුජ, බුධ යෝගව ගමන් කරන්නා වූ මෙම වකවානුව අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී කර්මාන්තශාලා, ආරෝග්‍ය ශාලා, මූල්‍ය ආයතනයන් ආශ්‍රිතව අශුභ සිදුවීම් ද ප්‍රධානීන්ට දෝෂාරෝපණ ද ඔවුන්ගේ කීර්ති නාමයට හානි වීම් ද සිදුවන අතර රට තුළ මංකොල්ලකෑම් වර්ධනය වෙයි. එසේ වුවද මූල්‍ය ආයතන විදුලි උපකරණ, ගෑස්, තෙල් පිරවුම්හල්වලට සතුරැ උපද්‍රව එල්ලවනු ඇත. රාජකීය ප්‍රධාන පුද්ගලයකුට මහජන නියෝජිතයකුට මාරක ඇතිවන අතර ලේඛන, මාධ්‍ය ක්ෂේත්‍රයේ පෙරලියක් ද යම් යම් වරප්‍රසාද ද හිමිවන කාලයක් ද වෙයි. ගුවන් කටයුතු සම්බන්ධ සේවකයන් හා තැපැල් සේවකයන් ආශ්‍රිත අර්බුද ඇති වීම් ද වාර්තාවූත් කාලයක් වනු ඇත.

මේෂ - පිටතින් කරදර

ඔබේ සිතට සහනය අඩු වන කාලයකි. පිටස්තර අයගේ කටයුතුවලට මැදි නොවී සිටිය යුතු කාලයක් වන අතර යම්කිසි පිටස්තර කරදරයක් තමා වෙත පැවරෙනු ඇත. පදිංචි ස්ථානයෙන් බැහැරව වැඩිපුර කාලය ගතකරනු ඇත.

වෘෂභ - ලේඛනයට ශුභඵල

කාර්මික අංශවල රැකියාවන් කරන අයට මෙන්ම ලේඛන මාධ්‍ය අංශවල කටයුතු කරන අයට ද ශුභඵල අත්වනු ඇත. කෙටි ගමන් අධිකව යෙදෙනු ඇත. තම බුද්ධිය වර්ධනය කර ගැනීමට අවස්ථා අත්වනු ඇත.

මිථුන - දුර ගමන්

තමාගේ උත්සාහයේ තරමට ඵලයක් අත්කර ගත නොහැකි කාලයකි. දුර ගමන් යෙදුන ද ඵල අඩු වන අතර දේශපාලන කටයුතුවල නියැලී අයට ශුභඵල අත්වනු ඇත. තම සම්පත් රැකගැනීමට වෙරදරන කාලයක් ද වේ. 

කටක - තැන්පතු ඉහළට

අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත් වන කාලයක් වන අතර තම තැන්පත් ධනය වර්ධනය කර ගත හැකි වනු ඇත. දුර ගමන් යෙදෙනු ඇත. අැස්වල පීඩාවක් මතුවන කාලයක් ද වේ. විරැද්ධ ලිංගික බැඳීමකට බාධා ඇති වේ.

සිංහ - සතුරන් එළියට

පවුල් දිවියේ සමගියට බාධා ඇතිවන කාලයක් වේ. දුර ගමන් විදේශ ගමන් යෙදෙන කාලයක් ද වනු ඇත. ඔබට එරෙහිව ක්‍රියාත්මක වූ සතුරැ බලවේගයක් අනාවරණය කරගත හැකි වන කාලයක් වේ.

කන්‍යා - ප්‍රමාද වීම් බහුලයි

දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල අත්වන අතර යම් යම් කටයුතුවල ප්‍රමාද වීම් ද ඇතිවනු ඇත. ගමන්වලින් හදිසි ශරීර පීඩා මතුවන කාලයක් වන අතර පරිස්සම් වීම වැදගත් වේ. 

තුලා - සේවයේ උසස් වීම්

සේවා ස්ථානය ආශ්‍රිතව පැවති ප්‍රශ්න මඟහැරී යන කාලයක් වන අතර උසස් වීම් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකි වේ. ආදර බැඳීමක් පළුදු වන කාලයක් ද වනු ඇත.

වෘශ්චික - නිර්මාණශීලී අදහස්

දේශපාලන ක්ෂේත්‍රයේ නියැලි අයට යහපත් ඵල අත්වන අතර නිර්මාණශීලී අදහස් ද ජනිත වන කාලයක් වේ. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ජයග්‍රාහී කාලයක් ද වේ.

ධනු - උරුම හිමිකම්

ඔබගේ කටයුතුවලට විවිධ වූ බාධා මතුවන අතර යම්කිසි උරුම හිමිකමක් අපේක්ෂාවෙන් සිටියේ නම් එම උරැමය ලැබීමට හිමිකමක් පිළිබඳව ආරංචියක් ලැබෙන කාලයක් වේ. ඇස්වල පීඩා මතුවනු ඇත.

මකර - ව්‍යාපාර පාඩු

පවුල් දිවියේ සමගියට බාධා ඇතිවන කාලයක් බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට ද පාඩු අත්වන කාලයකි. තම කාලත්‍රයාට හදිසි පීඩා ද ඇතිවන කාලයක් වේ.

කුම්භ - විදේශ ගමන්

ගමන්වලින් හදිසි ශරීර පීඩා ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වීම වැදගත් වන අතර විදේශ ගතවීමේ අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ කර ගත හැකිවනු ඇත. සිතේ සහනය අඩු වන කාලයක් ද වන අතර ඇස්වල පීඩාවක් මතුවනු ඇත.

මීන - සතුරු පීඩා

ඔබගේ යම් යම් කටයුතු අතපසුවීම් ඇතිවන කාලයක් වේ. දේශපාලනික කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල අත්වනු ඇත. ආදර බැඳීම් සම්බන්ධයකට බාධාවක් සතුරැ පීඩාවක් ඇතිවන කාලයක් ද වේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල