2019 ජුලි 13 වන සෙනසුරාදා

සීනිගම දෙවොලේ මතභේදයට මුල් වූ ධාතු මන්දිරය

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 674

කොළඹ සිට කී.මී. 111ක් දුරින් ගාලු පාරට පෙනෙනසේ මුහුද මැද ගල් පර්වත අතර පිහිටි සීනිගම දේවාලය හරි කලබල තැනකි. වැරදිකරුවන්ට පළිගැනීමට, ප්‍රාර්ථනා ඉෂ්ටකර ගැනීමට පැමිණෙන අයගෙන් දේවාල බිම නිතර පිරී පවතී. බැතිමතුන් ගොඩබිම සිට දේවාලයට ගමන් කළ යුත්තේ ඔරැවකිනි. තම අභිමථාර්ථ ඉෂ්ට කර ගැනීමට කුමන බාධකයක් හෝ මැඩගෙන ගමන් කිරීමට බොහෝ දෙනා පෙළඹෙති.

දෙවොල් දෙවියන් සම්බන්ධ පුස්කොළවල සඳහන් පරිදි දෙවියන් ලංකාවට ගොඩබැස්සේ දකුණු වෙරළ තීරයේ සීනිගමටය. පසුකාලීනව එම ස්ථානයේ දේවාලයක් ඉදිකෙරිණි. එම දේවාලය අද මුහුදේ අඩි 300ක් පමණ ඈතින් පිහිටා ඇත්තේ කලින් තිබූ ගොඩබිම මුහුදට සේදීයාම නිසාය. එය හඳුන්වන්නේ දියඹ දේවාලය නමිනි. ගොඩබිමේද දේවාලයක් පවතී.

දෙවොල් දෙවියන් නක්ෂස්ත්‍රය දත් දක්ෂ වෙදැදුරකු ලෙස රෝගී බැතිමතුන් සුවපත් කර අපරාධ කරන්නවුන්ට දඬුවම් ලබාදෙන දෙවි කෙනකු ලෙස ප්‍රසිද්ධියට පත්විය. ඒ සමඟම විවිධ බඩු භාණ්ඩ සොරාගත් අය ඒවා සොයාගැනීමටත්, නඩුහබවලට පැටලුණු අය ඒවායෙන් නිදහස්වීමටත් දෙවොල් දෙවි පිහිට පතා එන්නට වූහ. සොර සතුරන්ට එරෙහිව පළිගැසීමට මෙහි ඇති මිරිස්ගල ලංකාව පුරාම ප්‍රචලිතය. එහි පැමිණ මිරිස් අඹරා පළිගැසූ විට අපරාධකරැවන්, සොරැන්, සතුරන් විනාශ වන බව අදහසකි. අවලාද පූජා භාණ්ඩ එහිදී මිලදී ගත හැකිය. මිරිස්, අබ, සුදුලූනු හා ගම්මිරිස් පැකට් වශයෙන් විකිණීමට තිබේ. මෙහි මිරිස් ඇඹරිය යුත්තේ ඉදිරිපසට පමණි. තමා දෙසට ඇඹරැවොත් සාපය තමාට වදින බව විශ්වාස කෙරේ.

පසුගියදා සීනිගම දේවාලය යළිත් කතාබහට ලක්වුණේ දෙවොල් දෙවියන්ගේ හාස්කම් නිසා නොවේ. පළිගැනීම වෙනුවට ලෝකයට ශාන්තිය උදාකළ ජීවමාන බුදුන් වහන්සේ සංකේතවත් කරමින් ධාතු මන්දිරයක් එහි විවෘත කිරීම නිසාය. තෙමහල් ධාතු මන්දිරය පසුගියදා විවෘත කළ අතර එය ඉදිකර තිබෙන්නේ පොල් ගසන හා මිරිස් අඹරන ස්ථානයට නුදුරිනි.

ලෞකික ප්‍රාර්ථනා ඉෂ්ට කර ගැනීමට පැමිණෙන දෙවොල් බිමකට ආධ්‍යාත්මික සුවය ප්‍රාර්ථනා කරන සර්වඥ ධාතු මන්දිරයක් කුමකට ද යන්න ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ සහ බෞද්ධ ජනතාව ප්‍රශ්න කරති. මෙහි බැතිමතුන් පැමිණෙන්නේ මෛත්‍රීය, කරුණාව වැඩිමට බෝධි පූජා පැවැත්වීමට සෙත් ශාන්තිවලට නොවේ. තමන්ට කරදර කරන අයට එරෙහිව පොල් ගැසීමටය. සතුරන් සොරැන් විනාශ වීමට මිරිස් ඇඹරීමටය. බුදුන් වහන්සේ සතුරාට ද මෛත්‍රී කළ උත්තම පුරුෂයෙකි. එවන් ස්ථානයකට සර්වඥ ධාතු සහිත ධාතු මන්දිරයෙන් ඉඳිකිරීම නිසා එය ඉදිරිපිට මිරිස් ඇඹරීම ද බැතිමතුන්ට ප්‍රශ්නයක් වී ඇති බව පැවසේ.

සීනිගම දේවාලයට දිගු ඉතිහාසයක් සහිතය. සීනිගම දෙවිඳු පෙර භවයකදී පත්තිනිගේ වැඩිමහල් සහෝදරියක් වී ඇති බවත් එහෙයින්ම පත්තිනිගේ තොටට පිවිසීමේ වරම ලැබුණු බවත් පැවසේ. ඓතිහාසික පුරාවෘත්ත සහිත මේ දේවාලය මෑතකදී විවිධ වෙනස්කම්වලට ලක්කරන බව පෙනේ. මුහුදු මහිමේකලා දෙවඟන යනුවෙන් අලුත් පිළිරැවක් දේවාල භූමියේ ඉදිකර වන්දනාමාන කෙරේ. ඒ සඳහා නානුමුර මංගල්‍යයක් ද පැවැත්වේ. එමෙන්ම කිරිපිඬු පූජාවට හා බුද්ධ පූජාවට බැතිමතුන්ගෙන් විශාල මුදලක් අයකිරීම ද සිදුවේ.

බෞද්ධ සිද්ධස්ථානවල විහාර මන්දිර පැවතියේ බුදුන් පිදීමටය. නායක්කර් රජවරු උඩරට රජ කළ යුගයේ බුදු මැඳුර තුළට හින්දු දෙවිවරැද පිවිසියෝය. සීනිගම දේවාලයට ධාතු මන්දිරයක් තැනීම ගැන හික්කඩුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේඛකකාරී අමරපුර මූලවංශික මහා නිකායේ ලේඛාකාධිකාරී අකුරල මංජුල තිස්ස නාහිමි මෙසේ පැවසූහ.

“මෙලෙස ධාතු මන්දිරයක් තැනීම වැරදි ක්‍රියාවක් ලෙසයි මම දකින්නේ. මම වසර 35ක් සීනිගම දේවාලයේ භාරකාර මණ්ඩලයේ පැවිදි අනුශාසක ලෙස කටයුතු කරනවා. දුකටපත් ජනතාව තමන්ට කරදර කරන අයට සාප කිරීමට මෙතැනට එනවා. මේවා බෞද්ධ දර්ශනයට පටහැනියි. බෞද්ධ භික්ෂුන් වහන්සේ ලෙස අපි මේවා නතර කිරීමට බලපෑම් කර නැහැ. නමුත් මිනිසුන්ට සාප කරන ස්ථානය දෙස බලමින් බුදුන් වඳින්නයි දැන් සිදුවී තිබෙන්නේ. මේවා විහිළු වැඩ. එක්කෝ දේවාලයෙන් ධාතු මන්දිරය ඉවත් කළ යුතුයි. නැත්නම් දේවාලයේ පොල් ගැසීමයි, මිරිස් ඇඹරීමයි නතර කළ යුතුයි. පන්සල්වලත් දේවාල තියනවනේ. නමුත් ඒවායේ සාප කරමින් පොල් ගහන්නේ මිරිස් අඹරන්නෙ නෑනේ. මේ වැඩේට හික්කඩුව ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ විරැද්ධයි.

සීනිගම දේවාලය බොහෝ අනුහස් ඇති තැනක් ලෙස ප්‍රසිද්ධය. රටේ බොහෝ ප්‍රදේශවලින් නැතිබැරි අය වගේම ඇතිහැකි අයත් සීනිගමට පැමිණ ලෞකික ප්‍රාර්ථනා ඉටුකර ගැනීමට වෙරදරති. සීනිගම දේවාලයේ හිටපු භාරකාර සම්පත් විරාජ් ප්‍රසන්ජන පවසන්නේ අද වනවිට සීනිගම දෙවොල් දෙවි ඇදහිල්ලට විකාර එකතුවී තිබෙන බවයි. “මුහුදට අධිපති මෙහිමේඛලා නම් දෙවඟනක් අදහනවා. නානුමුර මංගල්‍ය පවත්වනවා. මේවා සීනිගමට ආගන්තුකයි. දෙවියන් නෑවීම කරන්නේ හින්දු ආගමේ හින්දු භක්තිකයෝනෙ. මෙතනට එන ජනතාව පොල් ගහන්නේ මිරිස් අඹරන්නේ කරදරකාරයෝ විනාශ වීම ප්‍රාර්ථනා කරමින් එතන කරැණාව මෛත්‍රිය නැහැ. ධාතු මන්දිර තිබෙන්නේ පන්සල්වල.

සීනිගම දේවාලයේ වත්මන් භාරකාර සරත් දිසෙන්දවාහන්දි පවසන්නේ දෙවොලේ ශාන්ති පැත්ත සහ අවලාද පැත්ත යන දෙකම පවතින බවත් එහි බුදු මැඳුර දිගුකලක සිට පැවති බවත්ය. අවලාද පැත්ත වන පොල් ගහන්න, මිරිස් අඹරන්න එන සියලු දෙනාම දුර බැහැර පිටපළාත්වලින් එන්නේ. අම්පාර, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, පොළොන්නරුව, මාතලේ, පුත්තලම වැනි ප්‍රදේශවලින් අවලාද වැඩවලට බැතිමතුන් එනවා. දේවාලය අවට ගම්වල අය එන්නේ ශාන්ති කටයුතුවලට බුදුන් වැදීමට, බෝධීන්වහන්සේ වගේම බුදු මැඳුරක් ද දේවාල භූමියේ තිබෙනවා. ධාතු මන්දිරයකුත් තැනුවා. බුදුන් වහන්සේගේ ධර්මයට ස්ථිර තැනක් නැහැ. ඕනෑම තැනක සිට බුදුන් වැදීමට හැකිවිය යුතුයි. බෞද්ධ ජනතාව බුදුන් වැදීමට කැමති තැනකට යාවි. මේ තත්ත්වය ඇතැම් භික්ෂූන් වහන්සේ පටලවාගෙන තිබෙනවා.

 විජයවර්ධන
පසුබිම් පුවත් සහ ඡායාරූප 

    කරන්දෙනිය සුසිල් ප්‍රියන්ත