2019 ජුලි 06 වන සෙනසුරාදා

විදේශ සබඳතා බිඳ වැටීමක්

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 06:44 229

2019.07.17 වැනිදා පෙ.ව. 4.33ට පමණ නැගෙනහිර ක්ෂිතිජයේ බුධ හිමි මිථුන රාශිය උදා වී තිබියදී රවි ග්‍රහයා කටක රාශියට පිවිසේ. එවිට ශනිගේ දෘෂ්ටි සප්තමයකට රවි ගොදුරැ වෙද්දී නැප්චූන් ග්‍රහයා ද ශනිගෙන් පීඩාවට ලක්වන්නේය.

මේ නිසා රට තුළ නව මනෝ විද්‍යා පෙරළියක් උද්ගත වන්නේය. නව සොයාගැනීම් ඉස්මතු වී පෘතග්ජන සිත පර්යේෂණයට භාජනය වීමක් පිළිබඳව පුළුල් කතිකාවක් නිර්මාණය වනු ඇත. ඒ සමඟම භූත විද්‍යාඥයන් තම පර්යේෂණ ඉදිරිපත් කරමින් භූත ලෝකයේ සිදුවන ක්‍රියාකාරීත්වයන් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට ක්‍රියා කරනු ලබනවා ඇත.

එමෙන්ම විවිධ ජන කොටස් අතර තම තමන්ගේ ආගමික ඇදහිලි පිළිබඳ විවිධ මති මතාන්තර සමාජගත කරන්නට ක්‍රියා කරනවා ඇත. ඒ නිසාම විවිධ සමාජධාරීන් පීඩාවට පත්විය හැකි බැවින් මධ්‍යස්ථ මතධාරී සමාජය වල්මත් වීමට ඇති ඉඩකඩ අහුරා දැමීමට උත්සුක වීම මැනවි.

රවි - රාහු - ශුක්‍ර යන ග්‍රහයන්ගේ දෘෂ්ටියෙන් හෙම්බත් වී සිටින සෙනසුරැ ග්‍රහයා කේතුගෙන්ද පීඩාවට පත් වී සිටින නිසා විදේශීය රටවල් හා සමඟ ශ්‍රී ලංකාව විසින් පවත්වනු ලබන සම්බන්ධතාවලට ප්‍රබල අවහිරතා මතු කරනු ලබනවා ඇත. ප්‍රංශය, ස්පාඤ්ඤය, අරාබියාව, ඕස්ට්‍රේලියාව ආදී රටවල් සමඟ සිදු කෙරෙන වෙළෙඳ ගනුදෙනු, විදේශ සබඳතා ආදියේදී ශ්‍රී ලංකාවට විවිධ හානි ගෙන දෙන තත්ත්වයන් මතු කරනු ලබනවා ඇත.

එමෙන්ම කලබලේට හිතුමතේට සිදු කරගනු ලැබූ බොහෝ විවාහ දෙදරනු ලබන අතර දික්කසාද නඩු ඉහළ යා හැකි බැවින් තරුණ විවාහක පවුල් සංස්ථාවල සාමය සමගිය ඇති කිරීමට වැඩිහිටියන් මැදිහත් විය යුතු කාලයක් වන බවද පෙනේ.

යුරේනස් සමඟ පෂ්ඨාෂ්ඨම පිහිටීමක් ඇති කරගෙන සිටින වක්‍ර ගුරු ග්‍රහයා වෘශ්චික අංශක 21හි ගමන් කරමින් සිටී. ජනතා ආරක්ෂාව සඳහා ආරක්ෂක  හමුදාවට විශේෂ කැපකිරීම් කිරීමට සිදුවන කාලයක් බැවින් වගකිවයුත්තන් ඒ කෙරෙහි දැඩි අවධානය යොමු කළ යුතු වනවා ඇත. එමෙන්ම ආරක්ෂක හමුදා කෙරෙහි ජනතා විශ්වාසය ඉහළ යන අතරම අමතර වියපැහැදම් කිරීම් හමුදාවන් වෙනුවෙන් සිදු කිරීමට ද ආණ්ඩුව වගබලාගත යුතු වෙනවාද ඇත.

කෙසේ වෙතත් වර්ෂයේ මෙකී ප්‍රධාන රවි රාශි මාරුව සිදුවෙද්දී සඳු ග්‍රහයා මකරයේ මෘත අවසථා බල ප්‍රදේශයේ ගමන් කරමින් සිටීම ශුභදායක නැත. බලාපොරොත්තු රහිත ලෙස සිදුවන හදිසි අනතුරැ ආදිය ඉහළ යනු ඇත. මිනිසුන් නොමිනිසුන් වෙමින් ආවේගශීලී වී ඔවුනොවුන් ඇණකොටා ගනු ඇත. මේ නිසා හදිසියේ සිදුවිය හැකි මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බැවින් සමාජ සුබසාධනධාරීන් කල්පනාවෙන් සිටිමින් සහෘදයන් සන්සුන් කර ගැනීමට කල්තියාම සැළසුම් කර ගෙන සිටීම වටී.

තවද මෙකී ප්‍රබල විනාශකාරී විපත්වලට සත්‍රි පක්ෂය ගොදුරු වීමේ අවදානම අධික නිසා තම දූවරුන් - සොයුරියන් - බිරින්දෑවරුන් ආරක්ෂා කර ගැනීමට සෑම වයස් කණ්ඩායමකම පුරුෂ පක්ෂයේ අය වගබලාගත යුතුයි. විපතට පත්වූවන් බේරාගැනීම නිසා ලැබෙන වීර පදක්කම්ලාභීන් බිහි කරනු ලබන පසුබිමක් නිර්මාණය වන බැවින් සමාජ සහන කණ්ඩායම් අවදියෙන් සිටීම මැනවි.

එමෙන්ම ජල බෝතලයේ සිට මහා සමුද්‍රය දක්වාම පවතින විවිධ ජල ක්ෂේත්‍ර හරහා ජනතාවට ජල පීඩා - නීති කරදර - සාමයට බාධා ආදිය ගෙන දෙන බැවින් සෑම සියලුදෙනාම සිදුවිය හැකි විපත්ති අවම කර ගැනීමට කටයුතු සම්පාදනය කර ගැනීමට වටී.

යුරේනස් ග්‍රහයා අංශක දොළහ භජනය කරමින් 11 වැන්නේ තැන්පත්ය. දේශපාලන විප්ලවයක් සිදු කිරීමට එම පිහිටීම බලවත් වනු ඇත. අමාත්‍ය මණ්ඩලය තුළ නව සංවිධාන බිහිවීමේ ක්‍රියාවලියක් මතු කෙරේ. වාද විවාද යුක්ති සහගත නොවී නීති විරෝධී වෙනවා ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තම පෞද්ගලික ආරක්ෂාවට මුල්තැන දීම වටී. ආරක්ෂක රුකවලුන් දිවා රාත්‍රී තම ආරක්ෂක දැළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කළොත් සිදුවිය හැකි විපත්ති අවම කරගත හැකි වනු ඇත.

ගාල්ලේ - තලගහ - අක්මීමන
සුරාශ්‍රී ගුණවර්ධන
විශ්ව කීර්ති ජ්‍යොතිර් විද්‍යා 
පණ්ඩිත ශිරෝමනී

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00