2019 ජුලි 06 වන සෙනසුරාදා

මැතිවරණවලට විවිධ බලපෑම්

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 89

මෙම වසර තුළ සිදුවන පූර්ණ සූර්ය ග්‍රහණය ජූලි මස 2 වන කුජ දින සිදුවූ අතර අර්ධ චන්ද්‍ර ග්‍රහණයක් ජුලි 17 වන බුධ දින ඇතිවනු ඇත. අමාවක යෙදුණු ජුලි 2 වන දින පාන්දර 3 පසුවී විනාඩි 5 සිට පසුදා අළුයම 12.45 අතර කාල සීමාවේ මෙම ග්‍රහණය සිදුවේ.

ජුලි 2 වන කුජ දින රාත්‍රි 11 පසුවී විනාඩි 31ට පූර්ණ සූර්ය ග්‍රහණය ආරම්භ වුණු අතර රාත්‍රි 12 පසුවී විනාඩි 52ට ග්‍රහණයේ මධ්‍ය අවස්ථාව ද අවසානය පසුදා පාන්දර 2 පසුවී විනාඩි 14ටත් සිදුවිය. 

මෙම වසරේ යෙදෙන අර්ධ චන්ද්‍ර ග්‍රහණය ජුලි මස 17 වන බුධ දින සිදුවන අතර එහි මධ්‍ය අවස්ථාව පාන්දර 3 පසුවී විනාඩි 2ට සිදුවෙනු ඇත. පූර්ණ සූර්ය ග්‍රහණය අප රටට නොදිස් වුවද අර්ධ චන්ද්‍ර ග්‍රහණය අප රටට හොඳ හැටි දිස්වනවා ඇත. ඉදිරි දින 180ක් මෙම ග්‍රහණවල බලපෑම පවති.

අප රට තුළ වෙළෙඳ ව්‍යාපාර හා කර්මාන්ත ආදියේ ආදායම් ලැබීම් තවදුරටත් පහළ වැටෙන අතර මහජනයාට එතරම් ශුභදායක වකවානුවක් නොවනු ඇත. රට තුළ බිහිසුණු සිදුවීම් ද විපත් ද ඇතිවන අතර හදිසි පහරදීම් ද භයානක අපරාධ ද හේතුවෙන්  ජීවිත විනාශ වීම්ද මහජන සිත් කලකිරීමට පත්වීමද සිදුවේ. රජයේ ප්‍රධාන තනතුරක් දරණ පුද්ගලයකුට මාරක ද මහජන නියෝජිත මන්ත්‍රීවරයකුට ද ඉතා අශුභ ද වන අතර රට තුළ වසංගත රෝග තත්ත්වයක් පැතිර යාමක් ද සිදුවේ. ඉදිරි කාලය තුළ පවත්වනු ලබන මැතිවරණ කෙරෙහිද විවිධ බලපෑම් ඇතිවන අතර පවතින රජයට යහපත් නොවේ. මහජන සිත් කළඹන පුවත් පැතිර යන කාලයක් ද වේ. 

විදේශීය වශයෙන් චිලි, ආජන්ටිනාව, බ්‍රසීලය, බ්‍රිතාන්‍යය, පාකිස්ථානය, බංගලාදේශය, පේරෑ රාජ්‍යය, බොලිවියාව හා ඉන්දියාව ආශ්‍රිත රටවලටත් කෘෂිභෝග හානිවීමත් ආහාර හිඟතා මතුවීමත් දැඩි සුළිසුළං තත්ත්ව ඇතිවීමත් වියළි කළගුණික තත්ත්වයකින් පීඩා විදීමටත් වසංගත රෝග පැතිර යාමත් සිදුවන්නාවූ කාල වකවානුවක් වනු ඇත.

මේෂ - විදේශ ගතවීම් 

ඔබට යහපත් ඵල අත්වන අතර ආගමික කටයුත්තක් වෙනුවෙන් විදේශ ගතවීමක් හෝ යෙදෙනු ඇත. ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල අත්වනු ඇත. 

වෘෂභ - ශරීර පීඩා

ඔබට යහපත් නොවන අතර හදිසි ශරීර පීඩා ඇතිවිය හැකි බැවින් ප්‍රවේසමෙන් සිටිය යුතුවේ. විවිධ ජයග්‍රහණ අත්කර ගතහැකි කාලයක් ද වේ. තාක්ෂණික හැකියාවන් ඇතිවන අතර අන් අය අතර කැපී පෙනෙනු ඇත.

මිථුන - වචනයේ බලය

තම වචනයේ බලයට අන් අය නතු කරගත හැකි වනු ඇත. තම කාලත්‍රයාට හදිසි ශරීර පීඩා ඇතිවන කාලයක් ද වේ. තැන්පත් ධනය වර්ධනය කරගත හැකිවන අතර මුත්‍රා ආබාධයක් ඇතිවනු ඇත.

කටක - නව දේපළ

ඔබට යහපත් වන අතර තම නිවසේ අලුත්වැඩියාවක් කිරීමට හෝ නව දේපලක් මිලදී ගැනීමට පෙළඹෙන කාලයක් වේ. හදිසි කේන්ති ගති ඇති වුවද උණුවන හිතක් ද පවතින කාලයකි. 

සිංහ - විවිධ අරමුණු

ආදර බැඳීම් පළුදුවීම් ඇතිවන කාලයකි. එක් අරමුණක රැඳී නොසිට විවිධ වූ අරමුණුවලින් ක්‍රියාකරනු ඇත. නව දේපලක් මිලදී ගැනීමට ද ශුභ වන කාලයකි. 

කන්‍යා - ලේඛනයට හොඳයි

අන් අයට ප්‍රියවන අයකු බවට පත්වන කාලයකි. ලේඛන කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල අත්වන අතර රථ වාහන ආශ්‍රිතව සේවා කටයුතුවල නිතර වීමට යහපත් වන කාලයන් ද වේ. 

තුලා - කෙටි ගමන්

නිතර සතුටින් සිටීමට උත්සහ දරණ කාලයකි. අන් අයට ප්‍රියවන අතර ඉතිරි කර ගැනීමට බාධා ඇති වෙයි. යම් යම් කටයුතු වෙනුවෙන් නොබියව ඉදිරිපත් වන්නාවූත් කාලයකි. කෙටි ගමන් අධිකව යෙදෙනු ඇත.

වෘශ්චික - සෙම් රෝග

යම්කිසි කාර්යයක් කිරීමට පෙර හොඳින් සිතාබලා කටයුතු කළ යුතු කාලයක් වනු ඇත. ආර්ථික අපහසුතා ද ඇතිවනු ඇත. ජලය ආශ්‍රිත පීඩා ඇතිවන අතර සෙම් රෝග ද ඇස්වල පීඩා මතුවේ.

ධනු - මිතුරන්ගෙන් ගැටලු

විදේශ ගතවීමේ අපේක්ෂාවෙන් සිටි අයට යහපත් වන කාලයක් වේ. විවිධ වූ අදහස් සිතට ගලාඑනු ඇත. මිතුරන්ගෙන් යම් යම් ප්‍රශ්න ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. 

මකර - මුත්‍රා ආබාධ

පවුල් දිවියේ සමගියට බාධා ඇතිවන කාලයක් බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. නව ව්‍යාපාර ආරම්භයට ශුභ වුවත් අතරමඟ ව්‍යාපාර බිඳ වැටෙන කාලයක් වේ. මුත්‍රා ආබාධයක් ඇතිවනු ඇත.

කුම්භ - ලිංගික බැඳීම්

යම් යම් කටයුතුවල ප්‍රමාද ගති ඇතිවන වකවානුවකි. විරුද්ධ ලිංගික බැඳීම් ඇතිවනු ඇත. තමාගේ උත්සාහයේ තරමට ඵලඅත් නොවන කාලයකි. දේශපාලන කටයුතුවල නිරත අයට ශුභවනු ඇත.

මීන - ආගමික කටයුතු

විරුද්ධ ලිංගික බැඳීම්වලට ලක් වන අතර නව දේපලක් මිලදී ගැනීමට ද යහපත් කාලයකි. ආගමික කටයුතු වෙනුවෙන් ද කාලය වෙන්කරන අතර ජලය ආශ්‍රිත පීඩා ඇතිවන කාලයක් ද වේ. 

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල