2019 ජුනි 29 වන සෙනසුරාදා

මිරිඟුව පසුපස මැරතන් එකක් නැවතත් කුණු කඳු කඩාවැටීමක්

 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 105

කුම්භ ලග්නයේ ලංකා කේන්දරයේ නැප්චූන් නැමැති රැවටිලිකාර ග්‍රහයා ලග්නයේම ගමන් කරයි. නැප්චූන් අමුතු ජාතියේ ග්‍රහයෙකි. සිකුරැගේ මහ පරිමාණ ස්වරෑපය (Octava) වශයෙන් හඳුන්වන එක් පැත්තකින් සිකුරැ ප්‍රාදේශීය වශයෙන් සෞන්දර්ය කලාව පෙන්වන අතර නැප්චූන් මහ පරිමාණයෙන් විශ්ව මට්ටමෙන් හෝ ජාත්‍යන්තර මට්ටෙමන් ප්‍රසිද්ධ වන කලාකාරයන් පෙන්වයි. ලංකාව පිළිබඳ ගතහැකි නිදසුනක් නම් ලතාවල්පොල, සුජාතා අත්තනායක, නන්දා මාලිනි, මොහිදින් බෙග්, ජෝතිපාල වැනි ජාත්‍යන්තර තලයට පවා යොමුකළ හැකි ගායක ගායිකාවන්ය. ප්‍රේමසිරි කේමදාස අමරදේව, මුත්තුසාමි වැන්න වූත් ලෝකයේ ඕනෑම සංගීත නිර්මාණ ශිල්පියෙකු සමඟ කරට කර සිටිය හැකි සංගීත නිර්මාණ ශිල්පීන්ය. 

මෙය නැප්චූන්ගේ එක් පැත්තකි. අනිත් පැත්ත නම් මත්ද්‍රව්‍ය කුඩු හා ගංජා අබිං වැනි ඉතා අහිතකර මුළු මහත් විෂමාචාර බලවේගයන් නිවේදනය කිරීමයි.

තුන්වෙනි පැත්ත නම් බණ භාවනාදියෙන් ඉහළම අත්තයටම ගොස් රහත් තත්ත්වයට පවා පත්විය හැකි ග්‍රහයෙක් වීම බව කිවයුතුය. 

මෙවැනි පුදුමාකාර එකිනෙකට වෙනස් ප්‍රතිඵල ගෙනදෙන ග්‍රහයෝ සිටිති. භාවය අනුව දෘෂ්ටි අනුව ඉහත කී විවිධාකාර ප්‍රතිඵල කේන්දරයෙන් දෙයි. 

නැප්චූන් සුරේනස්ගෙන් සහ ප්ලුටෝගෙන්ද දෘෂ්ටි ඇත. ප්ලුටෝ (Pluto) යමයා වශයෙන් හඳුන්වයි. බෝම්බ නිවේදනය කරන්නේ ප්ලුටෝ ග්‍රහයාය. 

ලංකාවේ නැවත වරක් 30 අවුරුදු යුද්ධයෙන් පසු බෝම්බ පිපිරීම් පටන් ගන්නා බව අපි 2017 අප්‍රේල් 9 වන ඉරිදා දේශය පුවත්පතින් පෙන්වා දුන්නෙමු. එම අවස්ථාවේ පවා තැනින් තැන බෝම්බ පිපිරුණේය. තවත් ස්ථාන කිහිපයකින් වෙඩි බෙහෙත් අවි ආයුධ සොයා ගත්තේය. තවත් වර්ෂ 4ක් යනතෙක් මෙම ග්‍රහයන් එම රාශිවල ගමන් කරනවා ඇත. නැප්චූන් සහ ප්ලුටෝ ඊටත් එහාට යයි. දේශපාලන ප්‍රතිසංස්කරණ යෙදෙන්නේ යුරේනස් ග්‍රහයා නිසාය. 1930 අගභාගයේ ලංකාවට දේශපාලන ප්‍රතිසංස් කරණ ගෙනාවේද යුරේනස් මේෂයේ ගමන් කළ කාලයේය. 

නැවත වරක් අද හෙටම මෙහි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යුද්ධය දැනට කෙරෙන කඩු හා මත්ද්‍රව්‍ය යුද්ධයට අමතරව ඇරඹෙනු ඇත. ඒවා සියල්ලම අවසන් වෙන්නේ රැවටිලිවලිනි. මිරිඟුව පසු පස යනවා සේ අපට ද දුර බලාගෙන දිවීමට සිදුවෙනු ඇත. 

දේශපාලනමය හෙවත් නිදහස් කේන්දරය කුම්භ වුවත් ස්වභාවික සංසිද්ධිය පෙන්වන්නේ ලංකාවේ ලග්නය වන මකරයෙනි. ස්වභාවික විපත්, ගංවතුර නායයෑම් ආදී බරපතළ විපත් මෙයින් පෙන්වයි. යුරේනස් මෙහි හතරේ ගමන් කරන නිසා වැසි සහිත අහිතකර බලපෑම් ගෙනෙන කාලගුණ විපර්යයාසද මේ වර්ෂයේ නැවත වරක් සිදුවනු ඇත. කුණු කඳු කඩාවැටීම්ද වන සමඟ මාරකද සිදුවනු ඇත. විශාල කොල්ලයන් දකුණේ යම් යම් දේශපාලකයන්ගේ පූර්ණ ආශිර්වාදය යටතේ සිදුවනු ඇත. කෙටියෙන් කියනවා නම් අප මේ දුවන්නේ මිරිඟුව පිටුපස මැරතන් එකක් බව කිව යුතුය. 

ජ්‍යොතිර්වේදි 
පානදුරේ රෝහන් වීරරත්න
දුම්රියපළ පාර, සිතුමිණ

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00