2019 ජුනි 22 වන සෙනසුරාදා

විප්ලවකාරී හැසිරීම් බහුල කාලයක්!

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 107

ග්‍රහලොව සෙන්පති වූ අඟහරු තමාට නීච රාශි භවන වූ සඳු හිමි කටක රාශියට 2019 ජුනි මස 22 වැනි ශනි දින රාත්‍රී 11 පසුවී විනාඩි 22ට පිවිසේ. අඟහරු අගෝස්තු 9 වැනි කිවි දින දක්වා කටක රාශියෙහි නීච ගමනක යෙදෙන අතර ගුරුට හිමි පුනාවස නැකතේ 4වැනි පාදයෙන් සෙනසුරුට අයත් පුෂ නැකතේ හා බුධට අයත් අසලිස නැකත් සම්පූර්ණවත් ලෙස ගමන් කරනු ඇත. මෙම චර්යාව හදිසි කැළඹීම්, රහසිගත විප්ලව ඇති කිරීමටත් දේශපාලනය උඩු යටිකුරැ කිරීමට සමත්වනු ඇතැයි කිව හැකිය.

රාජ්‍ය පාලනය වෙනස් කිරීමට සමත් වන නැප්චූන් 2019 ජුනි 21 වැනි කිවි දින බ්‍රහස්පතිට අයත් පුවපුටුප නැකතේ දෙවැනි පාදයෙන් ආපසු හැරී ගමන් කරමින්ද එම නොවැම්බර් මස 26 වැනි කුජ දින දක්වා අයහපත් වූ ගමනක යෙදෙනු ඇත.

මෙම ග්‍රහගමන් අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී රහසිගත කුමන්ත්‍රණයක් ක්‍රියාවට නැංවෙන වකවානුවක් බව කිව යුතුය. ජනතාව අතර විප්ලවකාරී හැසිරීම් ද නිර්මාණය වන අතර මහජනයා යම් යම් කටයුතු වෙනුවෙන් විරෝධතා දැක්වීමත්, වැඩ වර්ජන කිරීම් ද ඒ හේතු‍වෙන් ගැටුම් ඇති කරගැනීම් ද සිදුවේ. ආයුධවලින් සිදුකරන අපරාධ ක්‍රියාවන්හි වර්ධනයක් ද වන අතර විදේශීය වශයෙන් අප රටට යම් රහසිගත කුමන්ත්‍රණකාරී අයහපත් සිදුවීමක් ද වාර්තා වෙයි. ගොඩනැගිලි ආශ්‍රිත විපත්ද ගිනි ගැනීම් ද හදිසි පිපිරීම් ද කඩා වැටීම් ද සිදුවන අතර යාත්‍රා අනතුරක් ද ඇතිවනු ඇත. නීති අංශයේ ප්‍රවීණයකුට මාරක ද රෝහල් ආශ්‍රිතව සේවය කරන තවත් වෛද්‍ය හා වෙනත් සේවකයකුගේ අපරාධ ක්‍රියාවක් අනාවරණය වනු ඇත.

විදේශීය වශයෙන් රිට්ට මාපාංක 7 ඉක්මවූ භූචලනයක් වීමෙන් දේපල, ජීවිත හානි වන කාලයක්ද වේ.

මේෂ - හදිසි කේන්ති ගති

ඔබට එතරම් අයහපත් නොවන නමුත් ඇතිවන හදිසි කේන්ති ගති පාලනය කරගෙන කටයුතු කිරීම යහපත් වේ. තම නිවසේ අලුත්වැඩියාවක් සිදු කිරීමක් ද ඉඩම් ආශ්‍රිතව පැවති ගැටලු මඟහැර ගැනීමට ද හැකි කාලයක් ද වේ.

වෘෂභ - සිත් අමනාපකම්

තමා ගැන වැඩිපුර සිතා කටයුතු කිරීමට යාම නිසා තම හිතවතුන් තමා සමඟ සිත් අමනාපකම් ඇති කරගන්නා වූ කාලයකි. තාක්ෂණික කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල අත්වනු ඇත.

මිථුන - ඇස්වල පීඩා

තම තැන්පත් ධනය වර්ධනය කරගැනීමට තම මිතුරන්ගෙන් යම් යම් ප්‍රශ්නවලට මැදිහත්වීමට සිදුවෙයි. පවුල් දිවියේ සමගියට බාධාවීම් ඇතිවනු ඇත. ඇස්වල රෝග පීඩාවන් මතුවනු ඇත.

කටක - රෝග පීඩාවක්.

මෙම කාල වකවානුව තුළ නිතර කේන්ති ගතියෙන් කටයුතු කිරීමට සිදුවෙයි. තම නිවසේ අලුත්වැඩියාවක් හෝ නව දේපලක් මිලදී ගැනීමට අදහස් කරන කාලයක් වන අතර ව්‍යාපාරික කටයුතුවල නිරත අයට පාඩු ලබන වකවානුවකි.

සිංහ - සතුරන් මර්දනය වේ

ඔබගේ කටයුතු අඩපණ වන කාලයක් වන අතර ඔබට එරෙහිව පැවති සතුරු බලවේග මර්දනය කර ගතහැකි වනු ඇත. පවුල් දිවියේ ද මත ගැටුම් ඇතිවන බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න.

කන්‍යා - ධනය වැඩි වේ.

වාහන ආශ්‍රිත සේවාවන්හි නිරත වන අයට යහපත් කාලයක් වේ. දේශපාලන කටයුතුවල නිරත අයට අයහපත් ඵල ගෙන දෙන අතර පිටස්තර අයගේ යම්කිසි බලපෑමක් මත තමා සතු ධනයක් වියදම් වන කාලයක් ද වේ.

තුලා - ගැටලු මඟහැරේ

තම මතයට ක්‍රියා කරමින් කටයුතු රුසක් සාර්ථක බවට පත්කරගන්නා වූ කාලයක් වේ. යම් යම් කටයුතු වෙනුවෙන් නොබියව ඉදිරිපත් වන අතර සේවා ස්ථානයේ පැවති ප්‍රශ්න මගහැරී යනු ඇත.

වෘශ්චික - තාක්ෂණයට හොඳයි

ඔබගේ යම් යම් කටයුතු අඩපණ වන කාලයක් වේ. සිතේ සහනය අඩුවන අතර තාක්ෂණික කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල අත්වනු ඇත. යම්කිසි ආරංචියකින් තැති ගැනීමක් ද සිදුවන කාලයකි.

ධනු - කටයුතුවලට බාධා

ඔබගේ කටයුතුවලට බාධා ඇතිවන කාලයක් වේ. තම හිතමිතුරන්ගෙන් ද විවිධ වූ ප්‍රශ්න තමා වෙත ඇතිවන වකවානුවකි. හදිසි ශරීර පීඩා ඇති වන කාලයක් ද බැවින් පරිස්සම් වන්න.

මකර - ව්‍යාපාර ප්‍රශ්න

නව ව්‍යාපාර ආරම්භයට ශුභ ඵල අත්වන නමුත් පැවති ව්‍යාපාර ආශ්‍රිතව ප්‍රශ්න ඇතිවන කාලයක් වේ. පවුල් දිවියේද සමගියට බාධා ඇතිවන අතර උදරයේ පීඩාවක් ඇතිවනු ඇත.

කුම්භ - සතුරන් මර්දනය

ඔබට එරෙහි සතුරු බලවේග මර්දනය කරගත හැකි කාලයක් වන අතර සේවා ස්ථානයෙන් මාරුවීමක් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකි වේ. ශරීරයේ ලේ දෝෂ ඇති වන වකවානුවකි.

මීන - ලිංගික ආකර්ශනය

විරැද්ධ ලිංගික ආකර්ශනයට ලක්වන කාලයක් වන අතර හදිසි කේන්ති ගති පාලනය කරගත යුතු වේ. මිතුරන්ගෙන් ගැටලු ඇතිවන බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල