2019 ජුනි 15 වන සෙනසුරාදා

පිස්සු නටන කාලගුණය

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 459

21 වැනි සියවස වනවිට ලොව පුරාම විවිධ පාරිසරික අර්බුදයන් සම්බන්ධව කතිකාවන් නිර්මාණය වී පවතී. මෙවන් පාරිසරික අර්බුද හේතුවෙන් මානව වර්ගයා මෙන්ම ස්භාවික පරිසර පද්ධතිවල පවත්නා තුලිතතාවය බිඳ වැටීමත් මේ නිසා පරිසර පද්ධතිවල අඛණ්ඩ පැවැත්ම කෙරෙහි අහිතකර අන්දමින් බලපානු ලබයි. මෙවන් පාරිසරික අර්බුදයන් අතර ප්‍රමුඛස්ථානයක් ගනු ලබන්නේ කාලගුණික විපර්යාසයන්ය. මිහිතලයට එල්ලවනු ලබන පාරිසරික අර්බුදයන් සම්බන්ධව ප්‍රජාවගේ දැනුම්වත් භාවය වර්ධනය කිරීම හා අනුගතවීමේ ධාරිතාවය වර්ධනය කිරීම මෙන්ම ඒ සඳහා ප්‍රජාව පෙළඹවීම කාලීන අවශ්‍යතාවයක් බවට පත්වී ඇත.

කාලගුණික විපර්යාස යනු
සාමාන්‍යයෙන් පිළිගත හැකි අයුරින් වෙනස් වන කාලගුණයෙහි පැහැදිලි වෙනස්කම් අහිතකර අයුරින් ඇතිවීම “කාලගුණික විපර්යාස” ලෙස විග්‍රහ කළහැකි වේ. දිගු වියළි දේශගුණික තත්ත්වය අධික ගංවතුර ඉහළ වායුගෝලීය උෂ්ණත්වය, සුළි සුළං වැනි දේ කාලගුණ විපර්යාස නිසා ඇති වන බොහෝ දෙනාගේ විශ්වාසයයි.

ඒ අනුව කාලගුණික විපර්යාස යන්න එක් රටක සිට තවත් රටකට ස්මස්ත ලෝකයේම හා ගෝලීය දේශපාලනය තුළ ද සංවාදයට ගැනේ. 1992 අගෝස්තු රියෝ පරිසර සමුළුවෙන් පසු “කාලගුණ විපර්යාස” යන්න ජනප්‍රිය මාතෘකාවක් බවට පත්වී ඇත.

මාස ගණනක් පැවති වියළි කාලගුණ තත්ත්වය නිමාවට පත්කරමින් පසුගිය සතියේ සිට දිවයිනේ ප්‍රදේශ ගණනාවකට විටින් විට වැසි ඇද හැලෙමින් පවතී. එදිනෙදා සිය ජීවිකාව කරගෙන යන බොහෝ දෙනකුට මෙලෙස කඩින් කඩ මෙන්ම එකවර විශාල වර්ෂා පතනයක් ඇදහැලීම විශාල බාධාවක් වී ඇත.

මේ ගෙවෙන්නේ නිරිතදිග මෝසම් සමයයි. සාමාන්‍යයෙන් මෙම මෝසම් මැයි මස සිට සැප්තාම්බර් මාසය දක්වා පවතී. මෙම වසරේ නිරිත දිග මෝසම් සක්‍රීය වී ඇත්තේ මැයි මස අවසන් සතියේ සිටය. එහෙත් පසුගිය වසරවලට සාපේක්ෂව නිරිතදිග මෝසම් සමයේ අත්නොවිඳි තරමක වෙනස් තත්ත්වයක් මෙම වසරේ අත්දකින්නට සිදුව ඇත. සාමාන්‍යයෙන් මැයි මස අග සහ ජූනි මස මුල සතියේ වැඩි වර්ෂාපතනයක් පැවතුනද ක්‍රමයෙන් එය අඩුවීයයි නමුත් මේ වසරේ කඩින් කඩ ඇඳහැලෙන වර්ෂාව සමඟ වර්ෂාපතනයේ පැහැදිලි අඩුවක් දක්නට නොමැත. දිවයිනේ නිරිතදිග කොටසේ තත්ත්වය එසේ වුවද අනුරාධපුර, අම්පාර වැනි ප්‍රදේශවලට තවමත් පවතින්නේ වියළි කාලගුණික තත්ත්වයකි. එම ප්‍රදේශවල වැස්ස තවමත් අඩුය.

2019 වසරේදී වැඩිම කාලගුණික අවදානමක් ඇති ලෝකයේ දෙවැනි රට බවට ශ්‍රී ලංකාව පත්වී ඇති බව “ජර්මන් වොච්” ආයතනය නිකුත් කළ 2019 වර්ෂය සඳහා වූ ලෝක කාලගුණික අවදානම් දර්ශකයෙන් පෙන්වා දී ඇත.

මේ දිනවල විටින් විට ඇදහැලෙන වර්ෂාව සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අපි විමසුවෙමු. එහිදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (අනාවැකි) කාලගුණ විද්‍යාඥ අනූෂා වර්ණසූරිය මහත්මිය පැවසුවේ මෙය අසාමාන්‍ය තත්ත්වයක් නොවන බවය. මෙය සාමාන්‍ය මෝසම් ස්භාවය ලෙස ඒ මහත්මිය හැඳින් වූ අතර 2016, 2017, 2018 වැනි ගෙවුණු වසර කිහිපයේදී ද වෙනස් වූ කාලගුණික සාධක මත නිරිතදිග මෝසම් තරමක වෙනස් ස්භාවයක් ගත්තද මෙවර මෝසම් සාමාන්‍යය ස්වභාවයෙන් පවතින බව සඳහන් කළේය. එමෙන්ම මෙම වැසි සහිත මෝසම් තත්ත්වය විවිධ කාලගුණික පාදක මත විටින් විට ඉහළ පහළ යාමේ හැකියාවක් ඇති බවද පැවසේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනූෂා වර්ණසූරිය මහත්මිය:- 
පොඩි කාලේ අපි ඉගෙන ගත්ත දෙයක් තමයි අපි ඉර වටේ යනවා අංශක 23.5 ඇලවෙලා. ඒ විදිහට ඇලවෙලා යනකොට කාලෙකට දකුණු අර්ධගෝලයට ඉර එළිය වැඩියි. තවත් කාලෙකට උතුරු අර්ධගෝලයට ඉර එළිය වැඩියි. එතකොට එක් අර්ධගෝලයකට වැඩියෙන් ශක්තිය ලැබෙනවා. මෙහෙම වෙනකොට නිතරම පෘථිවියේ එක කොටසක් උණුසුම වැඩියි. අනිත් කොටස උණුසුම අඩුයි. උණුසුම වැඩිවෙනකොට කොටසේ වාතය සැහැල්ලුවෙලා ඉහළ යනවා. එතකොට තෙත අඩු පීඩන තත්ත්වයක් ඇතිවෙනවා. එහෙම වෙද්දී වැඩි පීඩනයේ ඉඳලා අඩු පීඩනය දෙසට සුළං හමාගෙන යනවා. එතකොට තමයි නිරිතදිග මෝසම් ඇතිවෙන්නේ කොහොම වුණත් මේ කාලගුණ තත්ත්වයේ වෙනස් වීමක් තියනවා.

හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂක හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය කේ.ආර්. අබේසිංහ :-
ඇත්ත වශයෙන්ම දැන් කාලගුණ තත්ත්වයේ යම් වෙනසක් තියනවා. මේ තත්ත්වයට හේතුව වශයෙන් හඳුන්වන ගෝලීය උණුසුම, මිහිකත උණුසුම වගේ වචන භාවිත කරනවා. මේක අද ඊයේ පටන්ගත්ත එකක් නෙවෙයි කාර්මික යුගය ආරම්භ වෙලා අද වෙද්දී මේ තත්ත්වය උග්‍රවෙලා තියෙනවා. ගෝලීය උණුසුම හරහා සිද්ධවෙන්නේ උෂ්ණත්වය වැඩිවීම හරහා කාලගුණයට බලපාන පීඩන ව්‍යාප්තියේ වෙනස් වීම. අද වෙද්දී පීඩන ව්‍යාප්තිය ගොඩාක් දුරට විකෘතිවෙලා. ඒක බලපාලා තියනවා ලෝක කාලගුණයටත්. වැස්සේ ත්‍රීව්රතාවය වැඩි වෙන්නත් මේ කාරණාව බලපානවා. ඉස්සර මිලි ලීටර් 50ක් වැස්ස නම් දැන් එක පාර මිලිලීටර් 100ක් වහිනවා. නමුත් දවසට හරි මාසෙකට හරි අදාළ වර්ෂාපතනයේ ලොකු වෙනසක් සිදුවෙන්නේ නැහැ.

► හසිත් අංජන

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00