2019 ජුනි 15 වන සෙනසුරාදා

හිමාලයෙන් ගෙන ආ ඇත් දළ මිටක් ඉස්සූ බොල්තුඹේ දෙවොලේ මහ සොරකම

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 182

දෙතනගල කඳුවැටිය පාමුල වෙල්යායක් ඉස්මත්තේ උස්බිමක පිහිටි බොල්තුඹේ සමන් දේවාලය මෙරට ඉපැරණි දේවාලවලින් එකකි. සමනළකන්ද කේන්ද්‍ර කොටගත් ප්‍රධාන සමන් දේවාල අතුරින් සුවිශේෂී බොල්තුඹේ දෙවොලට අයත් කෞතුකාගාරයේ දොර ජනේල කඩා ඇතුල් වූ පිරිසක් එහි තිබූ පෞරාණික භාණ්ඩ රැසක් සොරාගෙන ගොස් ඇතැයි වාර්තා විය.

ඉන්දියාවේ හිමාල අඩවියෙන් රැගෙන ආ බවට විශ්වාස කරන රාවණා යුගයේ සෙමරයක කැටයම් සහිත ඇත්දළ මිටක්, පෞරාණික මුදු දෙකක් පෞරාණික ඔටුන්නක කරඬුව සහ වසර දහසකට වඩා පැරණි මකර තොරණක තිබූ ඉපැරැණි බුදු පිළිම දෙකක් සොරාගෙන ඇති බවට පැමිණිල්ලක් පින්නවල පොලිස්ථානය වෙත ඉදිරිපත් කෙරුණේ එම දේවාලයේ බස්නායක ජිතේන්ද්‍ර පරණගම මහතා අතිනි.

සෑම සෙනසුරාදා දිනයකදීම සබරගමු ඓතිහාසික බොල්තුඹේ මහා සමන් දේවාලයේ පූජා කටයුතු සිදුකරයි. ඉකුත් සෙනසුරාදා (08) පෙරවරුවේ මෙම දේවාලයේ ප්‍රධාන දොරටුව විවෘත කිරීමට මත්තෙන් එතැනට පැමිණි කපු මහතා අවට පරීක්ෂාකර බැලීය. එය ඔහුගේ පුරුද්දකි. මෙදින ඔහු හදිසියේම දැක තිබුණේ දේවාලයේ ජනේලයක් විවෘතව ඇති බවකි. ඒ පිළිබඳව අවධානයෙන් සිට දේවාලයේ දොර විවෘත කර ඇතුළට ගොස් නිරීක්ෂණය කිරීමේදී වටිනා පෞරාණික භාණ්ඩ කීපයක් අස්ථාන ගතව ඇති බව දැක තිබේ. කුමක් හෝ සොරකමක් සිදුව තිබෙන බවට සැක කළ කපු මහතා තමා දුටු සිදුවීම වහාම දේවාලය බාර බස්නායක නිලමේ ජිතේන්ද්‍ර පරණගම මහතාට දැනුම් දී තිබුණි. අනතුරුව එහි පැමිණි බස්නායක නිලමේවරයා අදාළ සිදුවීම පිළිබඳව පින්නවල පොලීසිය දැනුම්වත් කර පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

ඒ පිළිබඳව අදහස් දැක්වූ බස්නායක නිලමේ සිසිර ජිතේන්ද්‍ර පරණගම මහතා,
“සබරගමුව ඓතිහාසික බොල්තුඹේ මහා සමන් දේවාලය ලංකාවේ තියෙන පැරැණිම දේවාලය විදිහට සැලකෙනවා. යම්කිසි පිරිසක් දේවාලයේ දොර අගුළු කඩලා රිංගලා කෞතුකාගාරයේ තිබුණු පෞරාණික මිල කළ නොහැකි බඩු භාණ්ඩ කීපයක් සොරකම් කරලා තියෙනවා. මෙම දේවාලයේ සෑම සෙනසුරාදාවකම පූජාවන් පවත්වනවා. කපු මහත්තයා උදේ එතැනට ආවම තමයි සිදුවීම දැකලා තිබුණේ. අපි විශ්වාස කරනවා ඊට දවසකට දෙකකට කලින් සමහරවිට කරන්න ඇති කියලා.

රාවණ යුගයේ සෙමරයක් තිබුණා. ඒකෙ ඇත්දළ කැටයම් මිටක් තිබුණේ. එම මිට සොරකම් කරලා. අපි විශ්වාස කරන්නේ එම සෙමර මිට හිමාලයෙන් රැගෙන ආ එකක් බවටයි. තව පෞරාණික මුදු කීපයක් සහ වසර දහසකට වැඩිය පැරණි මකර තොරණක තිබූ බුදුපිළිම දෙකක් ඇතුළුව භාණ්ඩ කීපයක් සොරකම් කරලා තිබෙනවා.” යැයි පැවසීය.

මීට කලකට ඉහතදී නිධන් සොරුන්ගේ තර්ජනයට ලක්ව තිබූ දේවාල භූමියේ ආරක්ෂාව සඳහා පොලිස් ආරක්ෂාව ලබාදෙන්නැයි කළ ඉල්ලීමකට පොලිස් නිලධාරීන් දෙදෙනකු සහිත මුර කුටියක් දේවාල භූමියේ ස්ථාපිත කර ඇත. කෙසේ වෙතත් වසරකට පමණ ඉහතදී එහි එක් නිලධාරියකු ඉවත්කර ඇති බවට බස්නායක නිලමේවරයා ප්‍රකාශ කරයි. ඒ අනුව එම ස්ථානයේ ආරක්ෂාව සඳහා එක් නිලධාරියකු පමණක් සිට ඇතැයි කියති.

කෙසේ වෙතත් අවසානයේ එහි යොදවා සිටි පොලිස් නිලධාරියා දේවාල පරිශ්‍රයේ ඇති පොතක අත්සන් තබා සිය සේවයේ නොසිට යන බවට තොරතුරු ඇතැයි වාර්තා වේ. ආරක්ෂාව සඳහා කිසිවෙක් නොසිටි අවස්ථාවක මෙම සොරකම සිදුකර ඇතැයි විශ්වාස කෙරේ. කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් පවසන්නේ දේවාල බිමේ පොලිස් මුරපොළක් තිබියදී අදාළ සොරකම සිදුවීම පුදුම සහගත බවය.

වැඩිදුරටත් අදහස් දක්වන බස්නායක නිලමේවරයා මෙසේ පැවසීය.
“දේවාලයට පොලිස් මුරපොළක් තියෙනවා. නමුත් සොරකම වෙද්දී නිලධාරීන් එතැන හිටියද නැද්ද දන්නේ නෑ. කොහොම නමුත් මීට පෙරදී ලංකාවේ බස්නායක නිලමේවරැ 31 දෙනෙක් විසින් ජනාධිපතිතුමාට ඉල්ලීමක් කළා අපට ආරක්ෂාව සලසන විදිහට. නමුත් ඒකත් ඉටුවුණේ නැහැ. මේ දේවාලයට වගේ අනෙක් දේවාලවලටත් මේ තර්ජනය තියෙන්න පුළුවන්. මේ වගේ සොර සතුරන් ඇවිත් දේවාල කඩලා පෞරාණික දේ සොරාගත්තාම අපේ සංස්කෘතිය නැතිවෙනවා. අපි කාලයක් තිස්සේ අමාරැවෙන් ආරක්ෂා කරපු දේ විනාශ වෙනවා. ඒ නිසා මේ අපරාධය කරපු අය නීතියේ රුහැනට කොටුකර ගත යුතුයි. ඒ සඳහා පොලීසිය විශේෂ විමර්ශනයක් සිදුකරන බව දන්වලා තිබෙනවා.”

බලන්ගොඩ හැටන් පාරේ පිහිටි බොල්තුඹේ සමන් දේවාලයේ සොරකම පිළිබඳව විමර්ශනය කරන පින්නවල පොලීසිය රත්නපුර පොලිස් නිල සුනඛ අංශයේ “බැටී” සුනඛයා යොදවා දේවාල පරිශ්‍රය පරීක්ෂා කරවා ඇත. එහිදී විශේෂ යමක් හෙළිදරව් වී නොමැති නමුත් සිද්ධිය පිළිබඳව පින්නවල පොලීසියේ නිලධාරීහු වැඩිදුර විමර්ශන පවත්වති.

► කතාව හා සේයාරූ: සමන්ත ප්‍රදීප් විල්තෙර
පසුබිම් වාර්තා: බලන්ගොඩ රෝහණ වසන්ත