2019 ජුනි 15 වන සෙනසුරාදා

සාහිත්‍යය නැති නිසා භාෂාව නන්නත්තාර වෙලා

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 178

විශ්‍රාමික පොලිස් පරීක්ෂක ලයනල් මුණසිංහ ශ්‍රී ලංකාවේ උතුර ඇතුළු විවිධ ප්‍රදේශවල පොලිස් නිලධාරියකු වශයෙන් ලද රාජකාරි අත්දැකීම් ඇතුළත් කොට ලියූ පොලිස් නිලධාරියකුගේ මතක සටහන් පොත පසුගියදා නිකුත් විය. මෙම කෘතිය මරදාන සූරිය ප්‍රකාශනයකි. තම මතක සටහන් කෘතිය ගැන කතුවරයා සමඟ කළ සංවාදයකි මේ. 

ඔබේ කෘතියට ලැබුණු පාඨක ප්‍රතිචාර කෙසේද?

පොලිස් නිලධාරියකුගේ මතක සටහන් බැලූ හැම දෙනෙක්ම ඒ ගැන ප්‍රසංශා කළා. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි ගුණවර්ධන මහතා පොත ගැන ගොඩාක් සතුට පළකළ කෙනෙක්. ඔහු ලංකාවේ සිටි විශිෂ්ට පොලිස් නිලධාරියෙක්. උසස් පොලිස් නිලධාරින් කිහිපදෙනෙක්ම පොත ගැන අගය කර තිබෙනවා. ඔවුන් මට කිව්වේ මෙය පොලිසියට එක්වන නවකයන්ට වඩාත් වටිනා කෘතියක් බවයි. විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරි ලතීන් මහතාත් මේ පොත ගැන ලොකු ලැදියාවකින් කතා කළා.

අද සාහිත්‍යය ඔබ දකින්නේ කෙසේද?

කියන්නත් කනගාටුයි. සාහිත්‍ය නැති නිසා භාෂාව නන්නත්තාර වෙලා. රූපවාහිනියේ, ගුවන් විදුලියේ, පුවත්පත්වල භාෂාව දිහා බලන්න. අද පළවෙන පොත් බහුතරයක භාෂා වැරදි තිබෙනවා. අපට සාහිත්‍යය ඉගැන්වූයේ සරම ඇඳලා කෝට් එක දාගත්ත ගුරැවරැ. පාලි, සිංහල, සංස්කෘතිය වගේ සාහිත්‍යය ගැන පළල් දැනුමක් ඔවුන්ට තිබුණා.

අද බහුතරයක් ලේඛකයන්ට සම්භාව්‍ය සාහිත්‍යය ගැන දැනුමක් නැහැ නේද?

ඒ බව ඔවුන්ගේ කෘති නිරීක්ෂණය කරන විට පේනවා. එළු අත්තගලු වංශය, දාඨා වංශය, දීපවංශය වගේ පොත් අපි හැදෑරැවා. ඒ දැනුම අපි යමක් ලියන විටත් මතුවෙනවා. මම පොලිසියට බැඳෙන විට ලිඛිත පරීක්ෂණයට දුන්නේ එළු අත්තනගලු වංශයේ කොටසක්. ඒ කාලේ පොලීසියට බැඳෙන්නටත් සාහිත්‍ය දැනුම බැලුවා.

සාහිත්‍ය සේවනය පොලිස් නිලධාරියෙකුට බලපාන්නේ කෙසේද?

දැන් නම් පොලිසියේ සාහිත්‍ය සේවනයක් නෑ. ලැබෙන පොඩි විවේකයත් ස්මාට් ෆෝන් එකේනේ. අපේ කාලේ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ටත් හොඳ භාෂා සාහිත්‍ය දැනුමක් තිබුණා. එම දැනුම රාජකාරී ජීවිතය සමබරව ගෙනයාමටත් උදව් වුණා. භාෂාව හැසිරවීමේත් කලාවක් තිබෙනවනේ. මම මේ මතක සටහන් ලිවීමේදීත් පුළුවන් තරම් රිද්මයක් රඳවා ගැනීමට උත්සාහ කළා.

ලෝකයේ ආරක්ෂක සාහිත්‍ය ජනප්‍රිය සාහිත්‍යාංගයක්. අප රටේ එය දකින්න ලැබෙන්නේ නෑ නේද?

අප රටේ ආරක්ෂක අත්දැකීම් පිළිබඳව පොත් අතේ ඇඟිලි ගණනටත් අඩුයි. නමුත් බටහිර රටවල නම් එය පාඨකයන් වැඩිපුරම මිලදී ගන්නා කෘති සහිත සාහිත්‍යාංගයක්. ඒවායේ තිබෙන කුතුහලය දනවන සිද්ධි දැනගැනීමට පාඨකයන් කැමතියි. පොලිස් දෙපාර්තමේන්තුව විසින් කලකට පෙර පොලිස් සඟරාව පළ කළා. එහි ආරක්ෂක සාහිත්‍යය යම් තරමකට ඇතුළත් වුණා. දැන් නම් එය පළවන්නේ නැහැ වගේ.

මෙම කෘතියෙන් අපට පේනවා ඔබ සමහර අවස්ථාවලදී නීතියෙන් බේරීයාමට වැරදිකරැවන්ට අවස්ථාව ලබාදෙන අන්දම..?

මම රාජකාරියේදී හුඟාක් තැන්වලදී මිනිසුන්ට අනුකම්පා කළා. මානුෂිකත්වයෙන් ඔවුන් දෙස බැලුවා. දුප්පත් මිනිසුන්ට දඩගහලා තවත් අමාරැවේ දාන්න මම උත්සාහ කළේ නැහැ. ලංකාව කියන්නේ මහා පරිමාණ හොරු ඉන්න රටක්. නැව්වලින් කුඩු එන්නේ කන්ටේනර්වලින් මධ්‍යසාර ස්ප්‍රිතු බෙදා හරින්නේ. නමුත් අහිංසකයෙක් දරුපවුල ජීවත් කරවන්න කසිප්පු ටිකක් පෙරාගත්තාම අල්ලා ගන්නවා. මම ඒ වගේ අයට කාට හරි කියලා රස්සාවක් හොයාදුන්න අවස්ථාවත් තිබුණා.

ඔබ මෙවැනි මතක සටහන් කෘතියක් ලිව්වේ මොන වගේ අරමුණකින්ද?

අර චීන කියමනක් තියෙන්නේ කෙනෙකුගේ ජීවිතයක් සාර්ථක වීමට නම් පුතෙක් හැදීමත්, ගහක් සිටුවීමත්, පොතක් ලිවීමත් කළ යුතු බව. ඒක අපට ඉගැන්වූ ගුරුවරුන්ගෙන් දැනගැනීමට ලැබුණා. මම තරැණ කාලේ ඉඳන්ම පොත් කියවන පොත් එකතු කරන කෙනෙක්. ඒවා කියවන විට සිතුණා මගේ රාජකාරී අත්දැකීම් සටහන් කර තැබීමෙන් අලුත් පරම්පරාවේ පොලිස් නිලධාරින්ට වගේම සාමාන්‍ය පාඨකයන්ටත් ප්‍රයෝජනයක් ලැබේවී කියලා. මේ පොතේ පොලිස් පරීක්ෂණ සිද්ධි 40ක් ගැන විස්තර කර තිබෙනවා. පොලීසිය, විශේෂ කාර්ය බලකාය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යන තැන්වල මම වැඩ කළා. ඒ අත්දැකීම් තමයි මෙයට ඇතුළත් වන්නේ.

තව නොලියූ අපරාධ පරීක්ෂණ සිද්ධි රාශියක් ඇති නේද?

ඔව්.. ගොඩාක් තිබෙනවා. ඒ අතරින් තෝරාගත් සිද්ධි ගැන තව පොතක් ලිවීමටත් අදහසක් තිබෙනවා.

පොලිස් අත්දැකීම් ලියන පොලිස් නිලධාරින් ලංකාවේ හිඟයි. ඔබ මෙම කෘතිය ලිවීම සඳහා පොතපත කියවීමෙන් අමතර දැනුම ලබාගත්තාද?

ඔව්... නමුත් කියවීම සඳහා කාලය යොදාගන්නේ හරිම අමාරුවෙන්. මම පොලිසියේ ගොඩාක් දුක්විඳපු කෙනෙක්. පොලිස් විමර්ශන සඳහා තමයි මම වඩාත් උනන්දු වුණේ. උසාවියේදී නඩුවලට ඉදිරිපත්වීමට නඩු වාර්තා, පොත් කියවලා විස්තර ලබාගත්තා. කැපකිරීම තුළින් මම ලොකු දැනුමක් ලබාගත්තා. ඒ දැනුම මේ පොතේ ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ පොතේ සඳහන් වන අයුරින් 1960 – 70 දශකවල පොලිස් විමර්ශන සඳහා නිලධාරින්ගේ සියුම් බුද්ධිය තමයි ඉවහල් වුණේ.. අද තාක්ෂණයත් පොලිසියට අයත්. නමුත් අපරාධවල අඩුවක් නෑ...?

මොළය වෙහෙසවා සියුම් ලෙස අපරාධයක සුලමුල සොයායාමට අපට පුහුණුවක් ලබා දුන්නා. වරක් යාපනේ පුළුස්සපු මළ සිරැරක අපරාධකරැ සොයා ගැනීමට උදව් වුණේ සරමේ තිබුණු ඩෝබි සලකුණයි. 

අද තාක්ෂණය දියුණු වෙලා තිබුණත් ඉහළම පොලිස් බලධාරින්ගේ වගකීමක් නැති බව පේනවා. ඔවුන් පසුගිය අප්‍රේල් බෝම්බ ප්‍රහාරය ගැන කලින්ම දැන සිටියත්. කවුරුත් ක්‍රියාත්මක වෙලා නෑ. රටක නීතිය ‍හරියට නැත්නම් ජීවත් වීමත් අවදානම්.

 කුසුම්සිරි

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00