2019 ජුනි 15 වන සෙනසුරාදා

පෝරුවට නැගිල්ල ප්‍රවේශමෙන්

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 458

යුග දිවියට පා තබන අවස්ථාවේදී පවත්නා ග්‍රහ තත්ත්වය වැඩිවශයෙන්ම බලපවත්වන්නේ කාන්තාවන් සඳහාය. මේ බව වඩාත් පැහැදිලිව වෘහත් සංගීතාවේ දක්වා ඇත. එබැවින් පෝරු මස්ථකාරෑඪ වන අවස්ථාවේදී පවතින ග්‍රහ තත්ත්වය සම්බන්ධයෙන් වැඩි අවධානයෙන් පසුවිය යුතුය. ඒ ඒ ග්‍රහයන් ලග්න කේන්ද්‍රයේ ගමන් කරන ආකාරය සම්බන්ධව පවත්නා ශුභාශුභ විමසා බලමු.

බ්‍රහස්පති, බුධ, සිකුරු යන ග්‍රහයන් ලග්නයේ ගමන් කරන විට චරිතවත්භාවය බෙහෙවින්ම වැඩිදියුණු කෙරේ. මෙම අවස්ථාවේදී ඉහත ග්‍රහයන් ස්වක්ෂෙත්‍ර හෝ උච්ච බලයෙන් යුක්ත නම් විවිධ සැප සම්පත් ලබාගැනීමට පිළිවන. චන්ද්‍රයා ලග්නගතව සිටී නම් ආයු බලය වර්ධනය කෙරේ. සෙනසුරැ නිසා දුගී බවද රාහුගෙන් දරුවන් සම්බන්ධ කරදරද ඇති කරයි. කේතු ලග්නගතව සිටින විට විවාහය දුක්බර වේ.

දෙවැන්න

දෙවැන්නේ රවි, රාහු, සෙනසුරැ, අඟහරැ යන ග්‍රහයන් තැන්පත්ව සිටීම දුගීභාවයට හේතුවකි. මෙම ස්ථානයේ බ්‍රහස්පති, සිකුරැ, බුධ යන ග්‍රහයන් තැන්පත්ව සිටී නම් ධනවත් වේ. චන්ද්‍රයා දෙවැන්න තුළ නම් වඩාත් උසස් මානසිකත්වයෙන් යුක්ත දරුවන් ලබාදීමට සමත් වේ.

තුන්වැන්න

රවි, චන්ද්‍ර, අඟහරු, බ්‍රහස්පති, සිකුරු, බුධ යන ග්‍රහයන් තුන්වැන්න තුළ තැන්පත්ව සිටීමෙන් ධන සම්පත් වැඩිදියුණු වන අතර වාසනාවන්ත දරැවන් ලබාගැනීමට පිළිවන. සෙනසුරැ මෙම ස්ථානයට අයහපත් නොවේ. එබැවින් සැමියාගේ ආදරය සෙනෙහස ලැබේ. රාහු තුන්වැන්න තුළ සිටින විට යම් යම් අපහසුකම් ඇති කරයි.

සිව්වැන්න

හතරවැන්න තුළ බුධ, බ්‍රහස්පති, සිකුරැ යන ග්‍රහයන් තැන්පත්ව සිටින විට නිරෝගීභාවය ඇති කරයි. අන්‍යයන්ගේ ප්‍රසාදය ලැබේ. මෙම ස්ථානයේ රවි සහ චන්ද්‍රයා තැන්පත් වීමෙන් සම්පත් ගිලිහී යන අතර සැමියාගේ ආදරය කරුණාව නොලැබී යයි. අඟහරැ හතරවැන්න තුළ සිටින විට ධන සම්පත සාමාන්‍ය තත්ත්වයෙන් ඇති කරයි. රාහු මෙම ස්ථානයට යහපත් නොවේ. යම් යම් කරදර ඇතිවේ.

පස්වැන්න

රවි, අඟහරු පස්වැන්න තුළ නම් දරුවන්ට අයහපත්ය. සමහරවිට දරුවන් නොලැබී යෑමටද ඉඩ ඇත. එහෙත් මෙම ස්ථානයේ බුධ, බ්‍රහස්පති, සිකුරු තැන්පත්ව සිටින විට වාසනාවන්ත දරුවන් ලැබේ. චන්ද්‍රයා ගැහැනු දරුවන් ඇති කරයි. සෙනසුරු හා රාහු දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල කරයි.

හයවැන්න

හයවැන්න තුළ සෙනසුරු, රාහු, බ්‍රහස්පති, අඟහරැ යන ග්‍රහයන් යම් යම් ශුභ ඵලයන් ඇති කරයි. සැමියාගේ පමණක් නොව නැදිමයිලනුවන්ගේ ආදරය සෙනෙහස ලැබේ. බුධ හයවැන්න තුළ ධන සම්පත් ඇති කරයි. සිකුරැගෙන් කිසි ශුභ ඵලයක් නොලැබේ.

හත්වැන්න

හත්වැන්න තුළ කුමන ග්‍රහයකු තැන්පත් වුවද එමගින් බලවත් ශුභ ඵලයක් ඇති නොකරන අතර විවාහය යහපත් ආකාරයෙන් පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදා කරයි.

අටවැන්න

අටවැන්නට සෙනසුරු හැර වෙනත් ග්‍රහයන්ගෙන් යහපත් භාවයක් ඇති නොවේ. බ්‍රහස්පති හා බුධ අටවැන්න තුළ නම් විවාහයේ පැවැත්ම කෙටි කරයි. රාහු හා රවි අටවැන්න තුළ නම් විවාහයේ රසවත් හා හරවත්භාවය දුරැ කරයි. කරදර ඇති කෙරේ.

නවවැන්න

රාහු සෙනසුරු ග්‍රහයන් නවවැන්න තුළ ශුභ ඵලයක් ගත කරනවා පමණක් නොව දරු උපත් සම්බන්ධයෙන් යම් යම් ගැටලු ඇති කරයි. අඟහරැ, සිකුරු, බ්‍රහස්පති මෙම නවවැන්න තුළ තැන්පත්ව සිටී නම් ආගම ධර්මය කෙරේ හිත යොමු කරවයි. චන්ද්‍රයා නවවැන්නට වඩාත් උසස් ශුභ ඵලයන් ඇතිකරන අතර ගැහැනු දරුවන් වැඩි වශයෙන්ම ලැබේ. බුධ යම් යම් රෝග පීඩාවන් ගෙන දෙනු ඇත.

දහවැන්න

දහවැන්නේ බුධ, බ්‍රහස්පති, සිකුරු තැන්පත්ව ඇත්නම් ධන සම්පත්වලින් ආඪ්‍ය වේ. එහෙත් සැමියාගේ ආදරය දිනාගැනීමට අපහසුය. රාහු විවාහයේ පැවැත්මට යහපත් නොවන අතර රවි, සෙනසුරු, අඟහරු යන ග්‍රහයන් නිසා පාපතර සිතිවිලි ඇති කරයි. හිතේ සතුට ප්‍රීතිය අඩුවේ. චන්ද්‍රයා යම් පහසුකම් ලබාදෙනු ඇත.

එකොළොස්වැන්න

එකොළොස්වැන්නට නව ග්‍රහයන්ගෙන් බලවත් අයහපත්භාවයන් ඇති නොකරයි. මෙම ස්ථානයේ තැන්පත් රවි හා අඟහරුගෙන් දරුසම්පත් වැඩිකෙරෙන අතර පිරිමි දරැවන් වැඩි වශයෙන්ම ලැබේ. චන්ද්‍රයා හා බුධ තැන්පත්ව සිටින විට ධන සම්පත් සමඟ වෙනත් පහසුකම් ඇති කරයි. රාහු එකොළොස්වැන්නට වඩාත් යහපත් වන අතර ආයු බලය වැඩි කෙරේ. සෙනසුරුගෙන් යහපත් ප්‍රතිඵල ඇතිකෙරෙන අතර භූමිය ආශ්‍රිත දේවල්වලින් ධනලාභ ලැබේ.

දොළොස්වැන්න

දොළොස්වැන්න තුළ සෙනසුරු හා අඟහරු සමහර අවස්ථාවලදී දුසිරිතට යොමු කරයි. බ්‍රහස්පති ධනය ලබාදෙන අතර රවි දුප්පත්භාවයට පමුණුවයි. බුධගෙන් දරුසම්පත් දියුණු කෙරේ. රාහු මෙම ස්ථානයේ තැන්පත් වූ විට චරිතය කෙළෙසා ගනී. එහෙත් සිකුරැ දොළොස්වැන්නේ නම් සැමියාගේ ආදරයට කරැණාවට ලක් කෙරේ. චන්ද්‍රයා දොළොස්වැන්න තුළ තැන්පත්ව සිටින විට අනවශ්‍ය වියදම් වැඩි කරයි.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී
ප්‍රේමදාස කළුතන්ත්‍රී

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00