2019 ජුනි 15 වන සෙනසුරාදා

වැස්සෙන් උපන් සීමිත ඕවර ක්‍රිකට්

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:31 111

වැස්ස වලාහක දෙවියෝ 2019 ලෝක කුසලානයේ ක්‍රිකට් තරග තුනක් නවතා දැමුවෝය. ක්‍රිකට් තරගයක් ජීවිතයට දැක තිබුණේ නැති පැරණි අප්‍රිකානු ගෝත්‍රිකයෙක් පළමු වරට ක්‍රිකට් තරගයක් ආරම්භ වන සැටි දුටුවේය. ඔහු සිතාගත්තේ එය වැස්ස වලාහක දෙවියන්ගේ පිහිට ඉල්ලා කරන යාතුකර්මයක් ලෙසයි. තමන්ගේ රටේ ඉඩෝර කාලයකදී එම යාතුකර්මය කරන ලෙස ඉල්ලමින් ඔහු තමා දුටු දේ විස්තර කළේ මෙසේය.

“මේ වගේම ඉඩෝර කාලෙක තමයි ඒක කළේ. ඔන්න සුදු කෝට් දාගෙන කළු කලිසං ඇඳගත්තු දෙන්නෙක් පිට්ටනිය මැදට ආවා. පිට්ටනිය මැද්දෑවෙ ලී කූරු තුන ගාණෙ තැන් දෙකක හිටෝල තිබුණා. ඊට පස්සෙ සුදු වතින් සැරසුණු එකොළොස් දෙනෙක් පිට්ටනියට ආවා. ඊට පස්සෙ කකුල්වල මොනවාදෝ බැඳගත්තු දෙන්නෙක් අර ලී කූරු ළඟට ආවා. එයාලගෙ අතේ දොදොල් පත්ත දෙකක් තිබුණා. එයින් එක්කෙනෙක් කූරු තුනක් ඉස්සරහ පාත්වෙලා උන්නා. අනෙක් පැත්තෙ එක්කෙනෙක් උන්දැට බෝලෙකින් දමල ගැහුවා. ඒ වෙලාවෙම අහස කළු කරා, වැහිපොද වැටෙන්න ගත්තා. අහස ගිගුරුවා. වහින එක වහිනව කියලා දැනගත්තම උන්දල ඔක්කොම ගෙට ආවා. එදා හොඳටෝම වැස්ස. හැම ඉඩෝරෙකටම එයාල ඕක කරනවා ඇති. අං කෙළිය හරියන්නෙ නෑ. මේ පාර ඕක කරමු.”

මේ ක්‍රිකට් ක්‍රීඩා සාහිත්‍යයේ එන ප්‍රබන්ධ කතාවකි. ක්‍රිකට් තරගවලට කොතරම් වැස්ස හරස් වී තිබේදැයි මේ කතාවෙන් ඇඟවේ.

කාලයක් නවසීලන්ත ක්‍රිකට් පිල ලංකාවට එන වාරයක් පාසා වැස්ස හරස් වූයේය. එක් ක්‍රිකට් ක්‍රීඩා විචාරකයකු කීවේ ලංකාවේ ඉඩෝර කාලයට නවසීලන්ත ක්‍රිකට් පිල ගෙන්වීම සුදුසුය කියාය. නවසීලන්තය රතිඤ්ඤාවක් හෝ පත්තු නොවෙන සන්සුන් රටක් බව මෑතක සිදුවූ වෙඩි තැබීම් සිද්ධියේදී බොහෝ අය කීහ. අපේ රටේ අතීත බෝම්බ පිපිරීම් සිද්ධි රාශියක්ද නවසීලන්ත තරගවලට හරස් වූයේය. 1987 පිටකොටුවේ බෝම්බ පිපිරීම එකකි. 1992 ගාලු මුවදොරදී එකල හිටපු නාවික හමුදාපතිවරයා මරුමුවට පත් කළ බෝම්බයද පුපුරා ගියේ නවසීලන්ත පිල මෙරට ඉන්නා විටයි. ඒ හැම අවස්ථාවකම තරගාවලියම අත්හිටුවන්නට සිදුවිය.

සීමිත ඕවර තරග විධිමත් ලෙස ඉන්දියාවේ කේරළයේ ත්‍රිප්පුනිකූර් (Thrippunithur) හිදී 1951 පූජා ක්‍රිකට් තරගාවලිය උදෙසා මුලින්ම ඉවහල් කරගත් බව ක්‍රිකට් වාර්තාවල දැක්වේ. එවකට කේරළ ක්‍රිකට් සංගමයේ ලේකම්වරයා වූත්, ඉන් පෙර ක්‍රිකට් ක්‍රීඩකයකු වූත් කෙලප්පන් තම්ප්‍රරාන්ගේ අදහසක් අනුව එය ආරම්භ කළ බවද සඳහන්ය. 1962 එංගලන්තයේ Midlands knock out cup සහ 1969 එංගලන්තයේ සන්ඩේ ලීග් තරගවලදීද සීමිත ඕවර තරග යොදා ගැනිණි.

කරුණු මෙසේ වුවද මුල්වරට අන්තර්ජාතික වශයෙන් සීමිත ඕවර තරගයක් පවත්වන්නට හේතු වන්නේද වර්ෂාවයි. (එම නිසා මෙවර ලෝක ක්‍රිකට් ශූරතාවට බාධා කිරීම ගැන වැස්සට දොස් තැබීමද සාධාරණ නොවේ.) 1970-71 එංගලන්ත ඕස්ට්‍රේලියා අළුබඳුන තරගාවලියේ තුන්වැනි ටෙස්ට් තරගය එකදු පන්දුවක් හෝ නොයවා නවතා දමන්නට සිදු වූයේය. මුල් දින තුනට නොකඩවා වැසි ඇද හැලුණේය. මෙල්බර්න් බලධාරීන්ට (එය පැවැත්වූයේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් පිටියේය) පවුම් 80,000ක පාඩුවක් විඳින්නට සිදුවිය. එහිදී අමතර හත්වැනි තරගයක් පවත්වන්නට යෝජනා කළ විට දින 40ක් තුළ ටෙස්ට් තරග 4ක් පැවැත්වීම උගහට බව කියමින් එංගලන්ත ක්‍රීඩකයෝ නහයෙන් ඇඬූහ. පාඩුව අවම කිරීම සඳහාත් නරඹන්නන් රඳවාගැනීම පිණිසත් ඕවර 40 තරගයක් පැවැත්විය යුතු බවට යෝජනා විය. තරගයේ 5 වැනි දවස මේ සඳහා යොදා ගැනුණේය. Rothmans නම් දුම්කොළ සමාගම තරගයට අනුග්‍රහය දැක්වූයේය. තරගයේ වීරයාට පිරිනැමුණේ පවුම් 90කි. පන්දු අටේ ඕවර 40 බැගින් යැවීමට තීරණය විය. එංගලන්තය ඕවර 39.4කදී සියල්ලන් දැවී 190ක් ලබා ගත්තේය. ඕස්ට්‍රේලියාව මේ තරගය කඩුලු හයකින් ජය ගත්තේය. තරගය පැවැත්වෙන්නට පෙර සියලු ක්‍රීඩකයන් පේළියට බංකුවල හිඳුවා දොන් බ්‍රැඩ්මන් ඔවුන් ඇමතුවේය. “ඔබ මේ වනවිට ඉතිහාසය නිර්මාණය වෙනවා සියැසින් දැක හමාරයි.” ඔවුනට ස්තූති කරමින් දොන් බ්‍රැඩ්මන් පවසා ඇත. මෙකී ආකාරය සීමිත ඕවර තරග අන්තර්ජාතික තරගයක් බවට මුලින්ම පත්වෙන්නේ වැස්ස හේතුකොට ගෙනයි.

ඒ කාලයේ රේඩියෝවෙන් ජාත්‍යන්තර තරග විස්තර ප්‍රචාර ගෙන ආ තරග නිවේදකයන් හට විශේෂ කාර්යභාරයක් පැවැරැණේය. තරගය නොපැවැත්වෙන වැසි දිනවල ඔවුහු බොහෝ වේලාවක් (තරගය නැති විටදී පවා) ක්‍රිකට්ලෝලී අසන්නන් රඳවාගත යුතු වූයේය. BBC ක්‍රීඩා විචාරක John Arlott, බ්‍රිතාන්‍ය ක්‍රීඩා විචාරක Brian Johnston වැන්නෝ මෙම කාර්යභාරය මැනවින් ඉටු කළහ. ඔවුන් ක්‍රීඩාවෙන් ඔබ්බට ගිය බොහෝ දෑ පිළිබඳ දැන උගත් අය වීම ඊට හේතු විය. John Arlott කවියෙකි. එසේම වයින් රස තීරණය කිරීම පිළිබඳ විශේෂඥයෙකි. ඔහු බොහෝවිට කාව්‍යමය වදන්වලින් සිය ක්‍රිකට් විස්තර පණපොවා ලූයේය. නිල්වන් අහස, දෙපසට ලෙළදෙන කොණ්ඩයෙන් යුතුව ලිලී පන්දු යවන්නට එනයුරු ඔහු කවි බසින් විස්තර කළේය. අපේ සිංහල ක්‍රිකට් විස්තර විචාරවලටද එම ආභාෂය ලැබිණි. Brian Johnston ද රචකයෙකි. රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකි. තරගය නොපැවැත්වෙන අවස්ථාවල අසන්නන් ඇද බැඳ තබාගන්නා විචාරාත්මක දේ කීමට ඔවුහු හපන්නු වූහ. Christopher Martin Jenkins ද එවැනිම අග්‍රගණ්‍ය බී.බී.සී. ක්‍රිකට් විස්තර විචාරකයෙක් විය. ඔහු පසුව පුවත්පත්වලද ක්‍රිකට් තීරු රචකයෙක් ලෙස කටයුතු කළේය.

ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ක්‍රිකට් තරගයකදී මුල්වරට (වැහිපොද වැටෙද්දී) කුඩයක් ඉහළාගෙන පන්දු රැක්කේ එංගලන්ත පිලේ ඩෙරික් රැන්ඩල්ය. 1997 ආසන්නයේ එංගලන්ත පිල ශ්‍රී ලංකාවට පැමිණි වේලේ මුහුණදුන් තරගයකදී වැහිපොද වැටෙන්නට ගත්තේය. ක්‍රීඩා පිටියේදී කවුරුත් ඇද බැඳගන්නා ලෙස විහිලු කිරීමට සමතකු වූ ඩෙරික් රැන්ඩල් නරඹන්නකුගේ කුඩයක් ඉල්ලාගෙන එය ඉහළාගෙන ටික වේලාවක් පන්දු රැක්කේය.

ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ඉන්දියාව සමඟ පැවති ටෙස්ට් තරගයකදී ඔහු ක්‍රීඩාපිටිය මුරකළ භටයකුගේ තොප්පිය සහ තුවක්කුවත් ඉල්ලාගෙන, තොප්පිය දමාගෙන, තුවක්කුව අතට ගෙන නරඹන්නන් කුල්මත් කළේය. ක්‍රීඩකයන්ට කෑකෝ ගසමින් කරදර කරන ඉන්දියානු ප්‍රේක්ෂකයන් ඒ මගින් හොඳින් දමනය කර ගන්නට රැන්ඩල්ට හැකි වූයේය. ඉන්පසු ඉන්දියානු ක්‍රිකට්ලෝලීන් එංගලන්ත ක්‍රීඩකයන් හට බොහෝ සෙයින් ආදරය කරන්නට ගත් බවද සැලවේ. එවකට එංගලන්ත නායකයා වූ ටෝනි ග්‍රේග් පොඩි විහිලුවක් දෙකක් කරන්නට යැයි ඔහුට උපදෙස් දුන් බවද පසුව දැනගන්නට ලැබුණේය.

පන්දු රකින අතරතුර විහිලු කළද, ඔහු කණ්ඩායම තුළ කලක් රැඳී සිටියේ ඔහුගේ පන්දු රැකීමේ දක්ෂතාවය නිසාමය. ඔහු පිටියේදී අකුණුසැරයක ආකාරයෙන් පන්දු රැකි බව විචාරකයෝ පැවසූහ. එහෙත් ටෙස්ට් තරගාවලියේදී ඩෙරික් රැන්ඩල් ලබාගෙන තිබුණේ 2,4,0,10,16,22 වැනි ඉතාමත් අඩු ලකුණුය.

ඉහත කී සංචාරවලින් අනතුරැව (අප රටේදී කුඩය ඉහළාගෙන පන්දු රැකි) රැන්ඩල් 1977 ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවති එංගලන්ත-ඕස්ට්‍රේලියා 100 වැනි වසර සමරන අළුබදුන තරගාවලියට සහභාගි වූයේය. එය සැමරීම සඳහා පැවතියේ එකම ටෙස්ට් තරගයකි. පළමු ඉනිමේදී එංගලන්ත පිලේ සියල්ලන් ලකුණු 95කට දැවී යනවිට රැන්ඩල් ලබාගත්තේ ලකුණු 4කි. ඒ වනවිට ඕස්ට්‍රේලියාවද පළමු ඉනිම සඳහා සියල්ලන් ලකුණු 138කට දැවීගොස් තිබිණි. එසේ වුවද ඕස්ට්‍රේලියාව දෙවැනි ඉනිමේදී කඩුලු 8කට ලකුණු 419ක් ලබා ඉනිම අවසන් කළේය.

දෙවැනි ඉනිමට මුහුණ දෙද්දී රැන්ඩල්ව එවා තිබුණේ 3 වැනි ස්ථානයටයි. (වෙනදා ඔහුව එව්වේ 5 වැන්නා ලෙසයි.) එවකට ලොව සිටි හොඳම පන්දු යවන්නා වශයෙන් සැලකුණු ඩෙනිස් ලිලී ඔහු පිති හරඹයට ආ වේලේ පටන් පන්දුව එව්වේ ඔහුගේ ඔළුවටමය. ඒ කාලයේ බවුන්සර් පන්දු තහනම් නැත. හෙල්මට් භාවිතයක්ද නැත. පිත්ත අතට ගත් ඔහු ලිලීව ගණනකට නොගෙන ලිලීට ලෙලි යනතුරු පහර දුන්නේය. විහිලුකාරයා නිතරම විහිලු කරන්නකු නොවන බව පෙන්වමින්, රැන්ඩල් එම ඓතිහාසික තරගයේදී ලකුණු 174ක් රැස් කළේය. මෙම තරගයේ මි.මි. 16 චිත්‍රපටයක් ඒ කාලයේ එළිමහන්වල පෙන්වද්දී අපට රැන්ඩල්ගේ 174 දැකගත හැකි විය. එංගලන්තය 417ක් රැස් කළද, ඕස්ට්‍රේලියාව දෙවැනි ඉනිමේදී 419ක් රැස්කර තිබූ නිසා ලකුණු 45කින් එංගලන්ත පිල එම අළුබඳුන් සියවැනි තරගය ඕස්ට්‍රේලියාවට පැරදුණේය. දෛවෝපගත ලෙසින් දෙරට අතර මුලින්ම 1877 දී පැවැති ප්‍රථම ටෙස්ට් තරගයද එංගලන්තය පැරදී තිබුණේ ලකුණු 45කිනි. එය පවත්වා තිබුණේද 100 වැනි තරගය පැවැති ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේදීමය.
එංගලන්තයේදී පළමු ටෙස්ට් තරගය පවත්වා තිබුණේ 1880 දී නිසා එංගලන්තයේ සියවැනි අළුබඳුන තරගය සැමරීම ලෝඩ්ස් හිදී පැවැත්වූයේ 1980දීය. එම තරගයේද මුල් දින දෙක තුනටම වැස්සෙන් දැඩි ලෙස බාධා එල්ල වූයේය.
කෙසේ වුවද වැඩිම තරග ගණනකට වැස්සෙන් බාධා වූ පළමු ලෝක කුසලාන තරගාවලිය මෙයයි. සැප්තැම්බර් - අගෝස්තු පෑවිල්ලට බර කාලය අළුබඳුන ක්‍රිකට් තරගවලට ඉතිරි කරගෙන, යම්තම් වැස්සට බර ජූනි, ජූලි කාලය ලෝක ක්‍රිකට් තරගාවලියට යොදාගත් බවට ඇතැමුන් දැන් එංගලන්තයට එරෙහිව මැසිවිලි නගති. අළුබඳුන එංගලන්ත - ඕස්ට්‍රේලියා දෙරටට ලොකු වුණාට හැමෝටම ලෝක කුසලානය තරම් එය ලොකු නැති බව මෙම මැසිවිලිවලින් පෙනී යයි.

පොඩි කාලේ අප මිදුලේ සෙල්ලම් කරන විට වැස්සොත් අපි කළේ ඉස්තෝප්පුවට පැමිණ One bump ක්‍රිකට් ගහන එකය. සංගක්කාර ඇතුළු ක්‍රිකට් විචාරක පිරිස පසුගිය තරගයට වැස්ස හරස් වූ වේලේත් එසේ කරනු දකින අපේ සිත ඉබේම අතීතයට දිව යන්නේය.

 සමන් පුෂ්ප ලියනගේ