2019 ජුනි 15 වන සෙනසුරාදා

මාධ්‍ය මගින් දේශපාලනඥයකුට බරපතළ චෝදනා

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 90

ග්‍රහ මණ්ඩලයේ සියුම් බුද්ධියට හිමිකරු වූ බුධ ග්‍රහයා තමාට සතුරු රාශි භවනක් වන සඳුට අයත් කටක රාශියට 2019 ජුනි 21 වන කිවි දින පාන්දර 2 පසුවී විනාඩි 31ට පිවිසේ. බ්‍රහස්පතිට අයත් පුනාවාස නැකතේ 4 වන පාදයෙන් සෙනසුරැට අයත් පුෂ නැකතේ සම්පූර්ණවත් බුධට අයත් අස්ලිය නැකත් සම්පූර්ණවත් ගමනින් යමින් හා 2019 ජුලි 8 වන දින වක්‍ර වෙමින් ද ගොස් 2019 ජුලි 30 වන බුධ දින දහවල් 1.41 දක්වා කටක රාශියෙහි ගමන් කරනු ඇත. බුධ ග්‍රහයා මෙම වක්‍ර ගමන් නවතමින් 2019 අගෝස්තු මස 3 වන ශනි දින නැවත කටක රාශි ගතව 2019 අගෝස්තු 26 වන සඳු දින දින දහවල් 2 පසුවී විනාඩි 7 දක්වාම සතුරැ රාශි භවන වූ කටක රාශියෙහි ගමන් කරනු ඇත. 

මෙම ග්‍රහ ගමන් පිළිබඳ අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී ව්‍යාජ ලෙස සකස් කරන ලද ලියවිලි පිළිබඳ අනාවරණයක් සිදුවීම නිසා යම් යම් පාර්ශව වෙත විරෝධතා ඇතිවනු ඇත. ව්‍යාපාරික කටයුතුවලට අහිතකර අශුභ සිදුවීම් වාර්තාවන අතර ව්‍යාපාරික ස්ථාන වෙත සතුරැ උපද්‍රව ඇතිවීම් වර්ධනය වන කාලයකි. මහජනයා බුද්ධියෙන් තොරව ක්‍රියාකරන සමයක් වන අතර යම් යම් පාර්ශව සමඟ වචන හුවමාරැවීම් දුරදිග යාමෙන් තැනින් තැන ගැටුම් සිද්ධ වීම් දක්වා වර්ධනය වේ. මෙය අධ්‍යාපනික කටයුතුවල නිරත දරැවන්ට මෙන්ම කුඩා දරුවන්ට ද අශුභ කාල සීමාවක් වන බැවින් දෙමාපියන් දූ දරැවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු කාලයක් ද වේ. රටෙහි ප්‍රසිද්ධ අයකුට හෝ දේශපාලන කේෂ්ත්‍රයේ අයකුට එරෙහිව ප්‍රසිද්ධව චෝදනා මාධ්‍ය මගින් ප්‍රකාශ කරන කාලයක් ද වේ.  

මේෂ - නිවස අලුත්වැඩියා 

ඔබට එතරම් අයහපත් වූ බලපෑමක් ඇති නොකරනු ඇත. ඔබ පදිංචි ස්ථානයේ අලුත්වැඩියාවක් කිරීමටත් නවීන උපකරණ මිලදී ගැනීමටත් කාලය යොදවනු ඇත. හිතේ සහනය අත්වන කාලයක් ද වේ.

වෘෂභ - අධ්‍යාපනයට හොඳයි

සන්නිවේදන හා ලේඛන කටයුතුවල මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලි අයට ශුභ ඵල අත්වනු ඇත. අධ්‍යාපනයේ නියැලි අයට ද යහපත් වනු ඇත. යම් යම් කටයුතු සඳහා නොබියව ඉදිරිපත් වන කාලයක් ද වේ.

මිථුන - වියදම් පාලනයට

 තම වචනයේ බලයට අන් අයව නම්මවා ගතහැකි වනු ඇත. ආර්ථික දුෂ්කරතා ඇතිවන බැවින් වියදම් පාලනය කරගත යුතු කාල සීමාවක් වේ. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල අත්වේ.

කටක - මුදල් පාඩු

විශාල අන්දමෙන් ධනය වියදම් කිරීමේදී පරිස්සම් විය යුතු අතර මුදල් පාඩුවකට හසුවන කාලයකි. පැවතියා වූ ප්‍රශ්නවලින් මිදීමට හැකිවුවද නීතිමය ගැටලුවකට මැදිවිය හැකි බැවින් කල්පනාකාරීවන්න.

සිංහ - වැඩවලට බාධා

තම කටයුතුවලට විවිධ වූ පාර්ශවවලින් බාධා ඇති වන කාල සීමාවක් වේ. නොයෙක් පුද්ගලයින් අලුතින් ඇසුරු කිරීමට අවකාශ ලැබෙන කාලයක් වේ. මුදල් හිඟවීම් ඇති වන කාලයක් ද වේ.

කන්‍යා - උදව් උපකාර

ඔබට යහපත් කාලයක් වන අතර හිත මිතුරන්ගෙන් උදව් උපකාර අත්වනු ඇත. යම් යම් විසිතුරු භාණ්ඩ මිලදී ගැනීම් කරන්නාවූත් කාලයක් වන අතර අධ්‍යාපන කටයුතුවල නිරත අයට ශුභ ඵල වර්ධනය වන කාලයක් ද වේ.

තුලා - ගැටලු මඟහැරේ

භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට වටිනා සම්පත් අත්වන කාලයක් වේ. සේවා ස්ථානයේ. පැවති ප්‍රශ්න මඟහැරී යන අතරේ අනෙකුත් සේවකයන් සමඟ බැඳීම් වර්ධනය කරගත හැකිවෙයි. නව රැකියාවක් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ද ඉෂ්ඨ වනු ඇත.

වෘශ්චික - නව නිර්මාණ

ඔබට ද යහපත් ඵල අත්වන අතර ලේඛන කටයුතුවල නිරත වී සිටින අයට නව නිර්මාණ බිහි කිරීමට අවකාශ අත්වනු ඇත. කෙටි ගමන් වැඩි වන කාලයකි. අධ්‍යාපන කටයුතුවල නිරත අයට තම දැනුම වර්ධනය කරගත හැකිවෙයි.

ධනු - සේවා ස්ථාන ගැටලු

සේවා ස්ථානයේ යම් යම් ප්‍රශ්න මතුවන කාල සීමාවක් බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. තම කාලත්‍රයාට හදිසි ශරීර පීඩාවක් ද ඇතිවනු ඇත. ඔබගේ කටයුතුවලට යම් යම් අය විසින් බාධාවන් ඇති කරනු ඇත. 

මකර - උදර රෝග

ඔබගේ කටයුතුවලට බාධා ඇති වන කාලයක් වන අතර විශාල අන්දමෙන් මුදල් යෙදවීම් කිරීමේදී පරිස්සම් විය යුතුය. විශාල පාඩුවක් ලැබිය හැකි කාලයකි. උදරය ආශ්‍රිත පීඩාවක් ගෙනදෙනු ඇත.

කුම්භ - සතුන්ගෙන් පීඩා

ගමන්වලදී හදිසි ශරීර පීඩා ඇතිවිය හැකි බැවින් ප්‍රවේසම් විය යුතු අතර විශේෂයෙන් සතෙකුගෙන් යම්කිසි පීඩාවක් ඇති විය හැක. තමාගේ කටයුතු සඳහා ද විවිධ වූ අයගෙන් බාධා ඇතිවන්නාවූත් කාලයක් ද වේ. වෛරස් රෝගයක් වැළඳීමේ හැකියාව ඇත.

මීන - අධ්‍යාපනයට හොඳයි

පවුල් දිවියේ සමගිය ඇතිවන අතර විරුද්ධ ලිංගික බැඳීම් ද අධික වන කාලයක්ද වේ. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් වූ ඵල අත්වනු ඇත. හිත මිතුරන්ගෙන් උදව් උපකාර තමා වෙත ලැබෙන කාලයක් ද වේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල