2019 ජුනි 08 වන සෙනසුරාදා

අම්මලා තාත්තලා පාසල් මුර කිරීම

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 106

මේ වසරේ දෙවැනි පාසල් වාරය ඇරඹීම දිනකට පෙර අප්‍රෙල් 21 ප්‍රහාරය එල්ල කෙරිණ. හදිසියේ උද්ගත වූ අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් දෙවැනි පාසල් වාරයේ ආරම්භය දින නියමයක් නොමැතිව කල් තබනු ලැබීය. දින ගණනකට පසුව කටකතා, අර්බුද හා අනාරක්ෂිත බව මැද නව පාසල් වාරය ආරම්භ වූයේ මැයි 21 වැනිදාය. ඒ වෙනුවෙන් ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් මෙන්ම යුද හමුදාපතිවරයා විසින්ද මාධ්‍ය මගින් ජනතාව දැනුම්වත් කොට ආරක්ෂාව තහවුරු කර ඇති බවට ප්‍රකාශ කෙරිණි. කෙසේ නමුත් එදා පටන් අද දක්වාම පාසල් අසල ආරක්ෂක අංශ නිලධාරීන් හා දෙමාපියෝ ආරක්ෂක කමිටු ආරක්ෂාව සඳහා යොදවනු ලැබ සිටිති.

ආරක්ෂක අංශ නිලධාරීන්ට අමතරව දරු දැරියන්ගේ මව්පියන් පාසල් ආරක්ෂාව සඳහා යෙදවීම විවිධ ගැටලු රාශියකට හේතු වී තිබේ. විශේෂයෙන් එය ඔවුන්ගේ රැකියා රාජකාරි හා ආර්ථිකය පිළිබඳ ගැටලුවලට මග පෑදීමකි. මේ අතර පාසල් අසල දෙමාපිය ආරක්ෂාව සැපයීම විදුහල්පති සහ මව්පියන් විසින් තීරණය කළ යුතුව ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

දශක තුනක් පුරා පැවති එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත තර්ජන හේතුවෙන් මේ ආකාරයට අවස්ථා ගණනාවකදී පාසල්වල ආරක්ෂාව සඳහා මව්පියෝ යොදවනු ලැබ සිටියහ. එහෙත් පැවති යුද වාතාවරණය අවසන් වී දැනට වසර දහයකි. ඊට වසරකට පෙරාතුව පමණ සිට මහජනතාව ඉලක්ක කොට බෝම්බ හෝ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල වූයේ නැත. දස වසරක් පුරාවට රටේ ජනතාවට අනිසි යුද බියක් හෝ ත්‍රස්ත තර්ජනයක් පිළිබඳ හෝඩුවාවක් හෝ දැනුණේ නැත. එහෙත් හදිසියේ එල්ල වූ පාස්කු ඉරිදා ප්‍රහාරය මෙරට ජනතාවට ත්‍රස්ත බිය සමඟ මරබියක් ඇතිකර තිබේ. ඒ සමඟම රටේ අනාරක්ෂිත තත්ත්වයක් ඇතැයි යන සිතුවිල්ල ඇතිවී තිබේ.

පාස්කු ප්‍රහාරයට පසුදින පාසල් වාරය ආරම්භ කිරීමට නියමිතව පැවතියත් දින නියමයකින් තොරව එය කල් දැමුණේ ත්‍රස්ත තර්ජන හේතුවෙනි. පිළියම් වශයෙන් ආරක්ෂක අංශ හා දෙමාපියන් එක්ව පාසල්වල ආරක්ෂාව සඳහා වැඩපිළිවෙළ දියත් කළත් ඇතැමුන් එයින් සෑහීමකට පත්ව නැත. පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් පාසල් දරුවන් භාවිතයට ගන්නා බෑග් විනිවිද පෙනෙන ලෙස පැවතිය යුතු බවට ඇතැම් පාසල් මගින් යෝජනා කර ඇත. ඒවා විවිධ මාදිලිවලින් නිර්මාණය කර තිබෙන අතර රුපියල් 600-3850 අතර වූ අධික මිලකට අලෙවි කිරීම නිසා මව්පියෝ ආර්ථික වශයෙන් ගැටලුවලට මුහුණදී සිටිති. කෙසේ නමුත් මෙවැනි පාසල් බෑග් අනිවාර්ය කර නැති බව අධ්‍යාපන බලධාරීහු ප්‍රකාශ කර සිටිති.

කෙසේ වෙතත් පාසල්වල ආරක්ෂාව සඳහා මව්පියන්ගේ සහාය ලබාගැනීම පිළිබඳව විවිධ පාර්ශ්ව විවිධ අදහස් පළ කරයි. මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර, ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ සහ ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපති මොහාන් වීරසිංහ අදහස් දැක්වූහ.

ආරක්ෂක අංශවලින් සහතිකයක් ඕනෑ
මහින්ද ජයසිංහ - ලංකා ගුරුසේවා සංගමයේ ලේකම්

මේ වෙද්දී රටේ ආරක්ෂාව තහවුරු වෙලා රට සාමාන්‍ය තත්ත්වයේ තිබෙන බව පෙනෙනවා. ආරක්ෂක අංශ විසින් ඒ බව ප්‍රකාශ කරලත් තියෙනවා. අර්බුදය පැවති දිනවලදී ආරක්ෂක අංශවලින් යොදවපු නිලධාරීන්ගේ ප්‍රමාණය දැන් අඩුයි. ඒ නිසා එම හමුදාවේ හෝ පොලීසියේ නිලධාරීන් පාසල්වල ආරක්ෂාවට යෙදවීමට හැකි විය යුතුයි. දැනටත් පාසල් ආරක්ෂාව සඳහා එම නිලධාරීන් කටයුතු කරනවා. ඒ වගේම දෙමාපිය ආරක්ෂක කමිටු ඒ සඳහා කටයුතු කරනවා. එතනදී රැකියා කරන, ස්වයං රැකියා කරන හෝ කුලී රස්සා කරන මව්පියවරුන්ට මේවායේ යෙදීමේ අවස්ථාව නැතිවෙනවා. එය රැකියාව පැත්තෙන් වගේම ආදායම පැත්තෙන් ගැටලුවක්. හමුදාව හෝ පොලීසිය මේ සඳහා යොදවන්නේ නම් මව්පියන් එතැනින් නිදහස් කළ හැකියි. කොහොමත් මේ තත්ත්වය දිගටම පවත්වාගෙන යාම අපහසුයි. තවදුරටත් ආරක්ෂාව සැපයීම අවශ්‍යද කියන කාරණය පිළිබඳව ආරක්ෂක අංශ මගින් සහතිකයක් ලබාදිය යුතුයි.

එක්වරම මවුපියන් ඉවත් කරන්න හොඳ නෑ
මොහාන් වීරසිංහ - සභාපති, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය

පාසල් ආරක්ෂාවෙන් මව්පියන් ඉවත් කිරීම ගැටලුවක්. ආරක්ෂක අංශ නිලධාරීන්ගෙනුත් මනා සේවයක් ඉටුවෙනවා. නමුත් එකපාරම මව්පියන් ඉවත් නොකරනවා නම් හොඳයි. අන්තවාදී පිරිසකගෙන් එල්ල වූ තර්ජනය ගැන බැලුවාම ඔවුන් සංවිධානයකට අයිති නෑ. තනි පුද්ගලයන් විදිහට ඇවිත් තමයි ඔවුන් බෝම්බ ප්‍රහාර එල්ල කළේ. ඒ වගේම එම පිරිස් සමාජයේ ඉහළ පන්තියක උගත් කොටසක්. සංවිධානයක් හෝ නිලඇඳුමක් නැති ඔවුන්ට යළිත් ප්‍රහාරයක් එල්ල කිරීමට අවස්ථාව ඇතැයි කියන සැකය තියෙනවා. ඒ නිසා පවතින ආරක්ෂක ක්‍රමවේදය ඉදිරියට පවත්වා ගැනීම සුදුසුයි. මේ ආරක්ෂක වැඩපිළිවෙළ නිසා පාසලට රැගෙන නොයා යුතු නීති විරෝධී ද්‍රව්‍ය හා සන්නිවේදන උපකරණ රැගෙන යාම පාලනය වෙලා තිබෙනවා. ඒකෙන් විවිධ විෂමාධාර අඩුවෙලා තියෙනවා. එය ආරක්ෂක ක්‍රමවේදයේ ගුණාත්මක බවක් විදියට එය සලකනවා. ඒ වගේම බුර්කාව තහනම් කිරීමේදී සමහර මුස්ලිම් පිරිස් ඊට විරුද්ධ වුණා. එවැනි පිරිස් ඉන්න විට ආරක්ෂාව තහවුරු කර ගැනීම අසීරු වෙනවා. මව්පියන්ගේ රැකියාව හා ව්‍යාපාර සමඟ පාසල් මුරකිරීම ගැටලුවක් බව දන්නවා. නමුත් ඒකට විකල්ප හෝ විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි. යුද්ධයට පස්සෙ බුද්ධි අංශ අඩපණ වුණාම විවිධ තර්ජන හා අර්බුද ඇතිවුණා. ඒ වගේ මේ අවස්ථාවේ පාසල් ආරක්ෂාව අතහැරියොත් අනාගතයේ විවිධ අර්බුද ඇතිවෙන්න අවස්ථාව වැඩියි. කොහොම නමුත් පාසල් වාරයකට දවසක් දෙකක් ළමයි වෙනුවෙන් මව්පියන් පාසලට පැමිණීම සුදුසුයි. දරුවන්ගේ අනාගතයට එය ගුණාත්මකව බලපානවා.


අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර

අවශ්‍යතාව මත පොලීසි, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බළකාය මගින් පාසල්වලට ආරක්ෂාව සපයනවා. ඇතැම් තෝරාගත් පාසල් සඳහා ස්ථානීය ආරක්ෂාව සපයනවා. ජංගම සංචාර ක්‍රියාත්මක කරනවා. ඒ වගේම යතුරුපැදි සංචාර ක්‍රියාත්මකයි. ඊට අමතරව පාසල් අවට විශේෂ සෝදිසි මෙහෙයුම් සිදුකරනවා. පාසලේ ආරක්ෂාව සඳහා දෙමාපිය ආරක්ෂක කමිටු, ආදි ශිෂ්‍ය සංගම්වල හා සිසු සිසුවියන්ගේ සහාය ලැබෙනවා. ඇතැම්විට අසත්‍ය තොරතුරු හා කටකතා පැතිරෙනවා. එවැනි තොරතුරුවලට රැවටෙන්න එපා. ආරක්ෂක අංශ මගින් නිකුත් කරන ප්‍රකාශ පිළිබඳව විශ්වාසය තබන්න. අවුරුදු එකොළහකට පමණ පසුව ත්‍රස්ත තර්ජනයක් ඇතිවුණාම ජනතාව බියට පත් වුණා. දැනට ජනතාව තුළ පවතින මානසික බිය පහවෙලා යයි. ආරක්ෂක අංශ මගින් අවශ්‍ය ආරක්ෂාව ලබාදෙනවා. ජනතාවගේ මානසික බිය පහවුණාම ඔවුන්ම කියයි දැන් අපිට ආරක්ෂාව අවශ්‍ය නෑ කියලා. ඒ වෙනකම් හෝ ආරක්ෂක අංශ නිලධාරීන්ගේ සේවය ලැබෙනවා. නමුත් පැහැදිලිව කිව යුතුයි අනවශ්‍ය බියක් ඇතිකරගන්න එපා කියලා.

► සමන්ත ප්‍රදීප් විල්තෙර