2019 ජුනි 08 වන සෙනසුරාදා

ග්‍රහයා නීච වුණාට බිය වෙන්න එපා

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 2360

නරක විපත්ති කාලයක් උදාවී දුක්ගැහැට විඳින්නට සිදුවන විට එවැනි අය පවසන්නේ මගේ ග්‍රහයා නීචවෙලා කියලාය. ග්‍රහයා නීච වූ සෑම අවස්ථාවකදීම එවැනි අයහපත් ප්‍රතිඵල ලැබේද යන්න සාකච්ඡාවට බඳුන් කළ යුතු කරැණකි. එසේම නිචවූ ග්‍රහයාගෙන් සැමවිටම පුද්ගලයාට හානි සිදුවේද යන්න ද ගැටලුවකි. කෙනෙකුගේ කේන්ද්‍රයේ කුමන ග්‍රහයා නීචවීමෙන් මෙවැනි ප්‍රතිඵල ලැබේද යන්න මෙන්ම එම දෝෂ දුරු කරගැනීමට ගතයුතු පියවර කවරේද යන්නද සලකා බැලීම යෝග්‍යවේ. 

මෙහිදී පැවසිය යුත්තේ නීච වූ ග්‍රහයකුගෙන් සැමවිටම විෂම ප්‍රතිඵල අත්නොවන බවය. ඇතැම් අවස්ථාවල සුවිශේෂ වූ යහපත් ප්‍රතිඵල ගෙන දීමට ද නීච වූ ග්‍රහයා කටයුතු කරනවා ඇත. එය හරියට සෑම වළාකුළකම රිදී රේඛාවක් ඇත. යන්න සනාථ කිරීම වැනිය.

ග්‍රහයා නීච වෙනවායැයි කියන්නේ එම ග්‍රහයාගේ විපරිත හැසිරීමය. එහි ප්‍රකෘති තත්ත්වය වෙනස් වීමයි. එය වෙනත් ශුභ ග්‍රහයකුගේ බල බිඳීමට හේතුවේ. මෙහිදී බොහෝ දෙනා ප්‍රකාශ කරන ආකාරයේ අශුභ ප්‍රතිඵල මෙන්ම සුවිශේෂ වූ ශුභ ඵලද ලැබීමට ඉඩ තිබේ. එසේ ශුභ ඵල ලැබෙන්නේ එම නීච වූ ග්‍රහයා තුළින් නීච භංග රාජයෝගයක් නිර්මාණය වීම නිසාය. එහිදී නීචව දුබලව සිටි ග්‍රහයා ක්ෂණිකව ප්‍රබල බවකට පරිවර්ථනය වේ.

අප රටේ පහල වූ ජනප්‍රිය චරිතවල කේන්ද්‍ර සටහන් බැලීමේදී එවැනි පුද්ගලයන්ට නීචභංග රාජයෝග උදාව තිබූ අයුරු පැහැදිලිවේ. බැලූ බැල්මට නරක ලෙස පෙනුනද නීච ග්‍රහබලය ඇති කේන්ද්‍රයක් පිළිබඳ ගැඹුරට සලකා බැලීමේදී මෙවැනි නීච බලය භංගවන යෝග ඇතිව ඇති අවස්ථා දැකිය හැකිය.

කේන්ද්‍රය නීචභංග රාජයෝග උදාවීමට පහත සඳහන් පිහිටීම් තිබිය යුතුවෙයි. මෙම අවස්ථා සියල්ලම තිබීම අවශ්‍ය නොමැති අතර එක් පිහිටීමකින් හෝ නීචය බිඳී රාජයෝගය උදාවිය හැකි බව කිවයුතුයි.

1. නීච ග්‍රහයා ලග්නාධිපතියකුවීම.
2. නීච ග්‍රහයා උච්ච ග්‍රහයකුගේ නැකැතක හෝ නවාංශකයක පිහිටීම.
3. නීච ග්‍රහයා සමඟ අංශක 12-15 සමීපව උච්ච ග්‍රහයකු පිහිටීම.
4. නීච ග්‍රහයාට උච්ච ග්‍රහයකුගේ දෘෂ්ටිය වැටීම
5. නීච ග්‍රහයන් දෙදෙනකු මුහුණට මුහුණලා සිටි විට දෝෂ භංගවේ
6. නීච ග්‍රහයාගෙන් එම රාශියේ අධිපතියා ලග්නයේ හෝ චන්ද්‍රයාගේ කේන්දර ගතවීම ද හේතුවේ.
7. නීච ග්‍රහයා සිටින රාශි අධිපතියා කේන්ද්‍ර ස්ථානයක හෝ ත්‍රිකෝණ ස්ථානයක සිට නීචයාට දෘෂ්ටි හෙළිම යහපත්ය.
8. නීච ග්‍රහයා තැන්පත් රාශියේ අධිපතියා උච්ච හෝ ස්වකේෂත්‍ර බලයෙන් සිටීම.

මෙවැනි නීචභංග රාජයෝග නිර්මාණය වෙන අය හැමවිටම වීර චරිත නිරෑපණය කරන රටට ජාතියට ආගමට අතිශයයින් ආදරය කරන පුද්ගලයන් වෙයි. මොවුහු ජාතිමාමක ගති ලක්ෂණවලින් හෙබි සමාජයේ පිළිගැනීමට ලක්වන පියත්තු වෙති. එසේම පරහිතකාමී සැමට පිහිටවෙන ලක්ෂණවලින් යුක්ත අයවේ.

රට ජාතිය වෙනුවෙන් සටන් කළ කිසිදු බාධකයකින් නොසැලී ඉදිරියට ගිය ජාති හිතෛෂි වලිසිංහ හරිස්චන්ද්‍රයන්ගේ කේන්ද්‍රය ගෙන බලමු. මොහුගේ උපන් ලග්නය මිථුන වේ. 

මේ කේන්ද්‍රයේ කුජ ග්‍රහයා පිහිටා ඇත්තේ කටක රාශියේය. කුජ ග්‍රහයා කටක රාශියේදී නීචවී තිබීම සුවිශේෂ වේ. එහෙත් මෙහිදී කුජගේ නීචයභංග වී ඇත. එයට හේතුව චන්ද්‍රයාගේ 7 වැන්නේ කුජ පිහිටා තිබීමයි. සඳුගෙන් කේන්ද්‍ර ගතවී ඇති නිසා කුජගේ නීචභාවය භංගවී නීචභංග රාජයෝගයක් නිර්මාණය කෙරේ.

පහත පළවෙන්නේ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ කේන්ද්‍ර සටහනය.

මිථුන ලග්න හිමි මෙම කේන්ද්‍රයේ 4 වැන්නේ සිකුරු ග්‍රහයා කන්‍යා රාශියේ පිහිටා ඇත. මෙම පිහිටිමේදී සිකුරැ නීචවී තිබේ. එසේ වුවද මෙහිදී බුධ කන්‍යා රාශියේ උච්ච වී ඇති අතර ඒ හේතුවෙන් සිකුරැගේ නීචභාවය භංගවී නීචභංග රාජයෝගයක් නිර්මාණය වී තිබේ.

අනගාරික ධර්මපාලතුමා ඉන්දියාවේ බුද්ධගයාව බේරාගැනීමේ සටනේදී පෙරමුණ ගත් වීරවරයෙකි. ඔහු නොමැති වූවානම් ඉන්දියාවේ පැවැති බෞද්ධ වෙහෙර විහාර හා නෂ්ථාවශේෂ පරසතුරැ ආක්‍රමණයකට ගොදුරැ වෙනවා ඇත. ඉතිහාස පොතේ රන්අකුරෙන් ලියවුණු ජාතික වීරවරයා වන්නේ අනගාරික ධර්මපාලතුමා බව කුඩා ළමෝද දනිති.

 ජ්‍යොතිෂවේදී සමන් කළුආරච්චි
     හැඳල 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00