2017 මාර්තු 04 වන සෙනසුරාදා

ගිනි ගැනීම් පිපිරීම් බහුලවේ ( මේෂ,කටක,තුල,මකර ලග්නවලට පංච පුරුෂ යෝග බලයක් )

 2017 මාර්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 186

2017 මාර්තු මස 2 වන බ්‍රහස්පතින්දා පාන්දර දෙක පසුවී විනාඩි හතළිහට ග්‍රහලොව සෙන්පති තමාගේ ගෙදරක් වූ මේෂ රාශියට පිවිසෙනු ඇත. එම රාශියෙහි කේතුට අයත් අස්විද නැකතේ සම්පූර්ණවත් සිකුරුට අයත් බෙරණ නැකතේ සම්පූර්ණවත් රවිට අයත් කැති නැකතේ ප්‍රථම පාදයෙහි ගමන් කරයි. 2017 අප්‍රේල් 13 වන ගුරුදින පාන්දර 4, පසුවී විනාඩි 12 දක්වාම බලවත් වූ මෙම ගමන සිදුවේ.

මෙම කාලවකවානුව තුළ උත්පත්තිය ලබන්නා වූ මේෂ, කටක සහ තුලා යන ලග්න හිමි දරුවන්ටත් මකර ලග්නය හිමි දරුවන්ටත් පංච මහා පුරුෂ යෝග බලයක් වූ රුචක යෝග බලය හිමි වනු ඇත. හැඩි දැඩි සිරුරකට හිමිකම් කීමටත් බිය නොහදුනන ඉදිරිපත් වීමේ ගති ඇති ඉහළ තනතුරක් ලැබීමටත් ආරක්ෂක අංශවල ප්‍රධානීන් පාලකයන් බවට පත්වීමටත් වාසනාව උපතේ සිටම රැගෙන එනු ඇත.
ආරක්ෂක අංශයේ සේවය කරන අයට යහපත් වන්නා වූ කාලවකවානුවක් වන අතර ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලට ප්‍රශංසාත්මක අගැයීමක් අසන්නට ලැබේ. නීති කටයුතු පනත් ආශ්‍රිත වාද ඇතිවේ. නැවක් හෝ ඔරුවක් ගිනි ගැනීමක් හා දුම්රිය අනතුරක් ද වාර්තා වනු ඇත.

විදේශීය වශයෙන් සිදුවීම් පිළිබඳව අවධානය යොමු කිරීමේදී මහජනයා රැස්වන ස්ථාන ආශ්‍රිතව අශුභ සිදුවීම්, ගිනි ගැනීම්, පිපිරීම් වාර්තා වනු ඇත. භූ චලනයක් හේතුවෙන් ගොඩනැගිලි නිවාස මෙන්ම ජීවිත විනාශ වීමක් ද වාර්තා වනු ඇත.
මේෂ - නොබියව වැඩ
ඔබට පංච මහා පුරුෂ යෝග බලයක් වූ රුචක යෝගයේ බලය අත්වන අතර නොබියව ඕනෑම ක්‍රියාවකට ඉදිරිපත් වන්නා වූ කාලයකි. උරුම හිමිකම් අත්කර ගතහැකි වන අතර තමන්ට එරෙහි බලවේග පරාජය කිරීමට හැකි වේ.
වෘෂභ - හිතට වද
ඔබට එතරම් යහපත් නොවේ. යම් යම් අවස්ථාවලදී තම සිතට වද දෙන්නාවූ ප්‍රශ්න ගැටලු තමාට ඇති වනු ඇත. විවාහ ජීවිතයේ මතභේද ඇති වේ.
මිථුන - අතමිට සරුවේ
ඔබට යහපත් ඵල ලැබෙන අතර ව්‍යාපාරික කටයුතුවල නිරත අයට ලාබ අත්වෙයි. භූමිය ආශ්‍රිත කටයුතුවල නිරත අයට අතමිට සරැවන කාලයක්වේ. විරුද්ධ ලිංගික ආකර්ශනයද ලැබෙනු ඇත.
කටක - රැකියාවෙන් ඉහළට
ඔබට පංච මහා පුරුෂ යෝග බලයක් වූ රුචක යෝගයේ බලය අත් වනු ඇත. තම සේවා ස්ථානයේ පැවතියා වූ කරදර ප්‍රශ්න මගහැරී යනු ඇත. රැකියාවේ උසස් වීම් අපේක්ෂා කරන අයටත් නව රැකියා අපේක්ෂා කරන අයටත් ඉතා යහපත්ය.
සිංහ - වැඩකටයුතු සාර්ථකයි
තම උත්සාහයෙන් කටයුතු කිරීම හේතුවෙන් බොහෝ වැඩකටයුතු රාශියක් සාර්ථක කරගන්නාවූත් කාලවකවානුවක් වනු ඇත. තම සහෝදරයකු සමඟ මතභේදයක් දුර දිග යයි
කන්‍යා - විවිධ බාධා
ඔබට එතරම් යහපත් නොවේ. තම කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධා කිරීම් ඇතිවනු ඇත. තම හිතමිතුරන්ගෙන් ගැටලුවලට මුහුණ දීමට සිදුවනු ඇත.
තුලා - ගැලපෙන රැකියාවක්
ඔබටත් පංච මහා පුරුෂ යෝග බලයවූ රුචක යෝගයේ බලය හිමිය. තමන් කරන කටයුතුවල සාර්ථකත්වයක් දැකිය හැකිය. නව රුකියා අපේක්ෂා කරන අයට ගැලපෙන රැකියාවක් ලැබෙනු ඇත.
වෘෂ්චික - සතුරන් පරදී
තමාට එරෙහිව පැවතියාවූ යම් යම් උපද්‍රව සතුරු කරදර පරාජය කරගෙන ඉදිරියට ගමන් කිරීමට හැකිවනු ඇත. තමන්ගේම නෑදෑයකු තමාට එරෙහි වීමක් පෙන්නුම් කෙරේ. ආහාර ගැනීමේදී කල්පනාකාරී වන්න.
ධනු - අඬදබර ඇතිවේ
විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ශනයට ලක්වන්නාවූ කාල වකවානුවක් වන අතර නිතර සිත කේපයෙන් යුක්ත වීම හේතුවෙන් තම හිත මිතුරන් සමඟ අඬදබර ඇතිකර ගනී.

මකර - සියල්ල සාර්ථකයි
ඔබට ඉතා යහපත් වන අතර පංච මහා පුරුෂ යෝග බලයක් වූ රුචක යෝග බලය ඔබටත් හිමිවනු ඇත. ඔබගේ කටයුතු සාර්ථකත්වයට පත්වන අතර අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට පත්වේ. නව දේපළක් වාහනයක් මිලදී ගැනීමටද යහපත් කාල වකවානුවක් වේ.
කුම්භ - බලවේග හඳුනාගනී
තම උත්සාහයෙන් උපරිම ඵල අත්කර ගන්නාවූ කාල වකවානුවක් වන අතර තමන්ට එරෙහි සතුරු බලවේග හඳුනාගත හැකි වේ. නව රැකියා අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉටුවේ.
මීන - හදිසි ශරීර පීඩා
තම දේ රැකගෙන කටයුතු කිරීමට උත්සාහ දරණ කාල වකවානුවක් වේ. තමන් කිරීමට යන කටයුතු සඳහා විවිධ බාධා එල්ල වේ. හදිසි ශරීර පීඩා ඇතිවේ.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල