2019 ජුනි 01 වන සෙනසුරාදා

ෂාපි දොස්තරගේ සැත්කම් විජ්ජාව

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:31 452

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු ෂියාබ්දීන් මොහොමඩ් ෂාෆි විසින් සිදුකළ සිසේරියන් සැත්කම්වලදී මව්වරු අනවසරයෙන් වඳභාවයට පත්කර ඇතැයි බරපතළ චෝදනාවක් එල්ල වී තිබේ. 

සැත්කම්වලින් පසුව දරුඵල අහිමි වූ බව කියන මව්වරු 240කට අධික පිරිසක් ඉකුත් 29 වැනිදා වනවිට කුරුණෑගල හා දඹුල්ල රෝහල් වෙත පැමිණ පැමිණිලි ඉදිරිපත් කර සිටියහ. සැකකාර වෛද්‍යවරයාට එරෙහිව පසුගිය අප්‍රේල් මාසයේ උපන් ගැහැනු දරුවකු ඇගේ මව නොවන වෙනත් කාන්තාවකට අනවසරයෙන් ලබාදීමට කළ උත්සාහයක් සම්බන්ධයෙන්ද පැමිණිල්ලක් ලැබී ඇතැයිද සඳහන්ය.

සැක කටයුතු අන්දමින් රුපියල් කෝටි 40කට අධික වත්කම් උපයාගෙන ඇතැයි චෝදනාව සම්බන්ධයෙන් වෛද්‍ය මොහොමඩ් ෂාෆි අත්අඩංගුවට ගනු ලබන්නේ පසුගිය 24 වැනිදා කුරුණෑගල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය මගිනි. සැකකාර වෛද්‍යවරයාට එරෙහිව එල්ලවී තිබූ පැමිණිලි ගණනාවක් සම්බන්ධයෙන් විමර්ශනය සඳහා අත්අඩංගුවට ගනු ලැබූ ඔහු දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවාගෙන සිටියි.

සැකකාර වෛද්‍යවරයා විසින් උපයාගෙන ඇතැයි කියන දේපල අතර කුරුණෑගල ශික්ෂණ රෝහල අසල මහල් 5ක ගොඩනැගිල්ල, ගැට්ටුවාන වීරසිංහ මාවත සුඛෝපභෝගී නිවෙස, කුරුණෑගල මැදලන්දවත්ත ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවෙස සහ කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි පර්චස් 15ක ඉඩමක්ද වන බව වාර්තා වේ.

මෙම දේපල උපයාගෙන තිබෙන ආකාරය සැකසහිත බවත් ඒ සඳහා ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ හෝ වෙනත් අන්තවාදී කල්ලියක මූල්‍ය අනුග්‍රහය ලැබී ඇත්දැයි සැකයක් පවතින බවත් සඳහන්ය. මාසයක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත සැකකාර මොහොමඩ් ෂාෆි සිය රාජකාරි අතරතුර සිසේරියන් සැත්කම් 8000ක් සිදුකර ඇති බවට පිළිගෙන ඇතැයි කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබුණේ සැකකාර ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයා සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසුව කිසියම් ශාරීරික හානියක් සිදුව ඇතැයි සැක කරන කාන්තාවන් සිටී නම් වහාම රෝහලට පැමිණ තොරතුරු ලබාදෙන ලෙසය.

මේ අතර එල්ලවන චෝදනාව සම්බන්ධයෙන් සෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් විශේෂ කමිටුවක් පත්කළ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කීය. කෙසේ වෙතත් වෛද්‍යවරයාට එරෙහි චෝදනාව සම්බන්ධයෙන් දේශපාලන මැදිහත් වීමකින් තොරව සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෘත්තීය සමිති එකමුතුව කියා සිටියේය. අදාළ චෝදනාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මතය මාධ්‍ය හරහා ප්‍රකාශ වීමෙන් පසුව ඇමැතිගේ උපදෙස් මත ක්‍රියාත්මක කමිටුවක තීරණ පිළිගත නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් විමර්ශනය සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත්කළ යුතු යැයි තමන් ඉල්ලා සිටි බවය. මෙම චෝදනාවට එරෙහිව ඉකුත් 27 වැනිදා තෙක්ම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට කිසිදු පැමිණිල්ලක් ලැබී නැති බවද වාර්තා වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පත්කළ විමර්ශන කමිටුවට විරෝධය පළ කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානය පසුගිය 29දා විරෝධතාවයක් සිදුකළ අතර සැකකාර වෛද්‍යවරයාට එරෙහිව විමර්ශන සිදුකරමින් සිටි කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයාට සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් එල්ල වූ බලපෑම්වලට එරෙහිව ප්‍රදේශයේ ආගමික නායකයන්, දේශපාලන නියෝජිතයන්, මව්වරුන් ඇතුළු ව්‍යාපාරික සංගම් එක්ව මහා විරෝධතාවයක් සංවිධානය කර තිබිණි.

 සමන්ත විල්තෙර

සෞඛ්‍ය ඇමැති පත් කරන කමිටුවලින් සාධාරණය ඉටුවෙන්නෙ නෑ
වෛද්‍ය හරිත අලුත්ගේ - ලේකම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

ප්‍රසව හා නාරි වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි චෝදනාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මතය පැහැදිලියි. එතුමාගේ උපදෙස් අනුව මොන කමිටුවක් හරහා පරීක්ෂණ සිදුකළත් සාධාරණය ඉෂ්ට වෙයි කියලා රටේ ජනතාවට විශ්වාසයක් නෑ. කමිටුවේ වාර්තාව වෛද්‍යවරයාට වාසි වුණත් අවාසි වුණත් ඒ සඳහා රටේ ජනතාවගේ පිළිගැනීමක් ලැබෙන්නෙ නෑ. ඒ නිසා වෙනත් මුස්ලිම් වෛද්‍යවරයකු ඉදිරියට සිංහල ජාතිකයන් යාමට පවා බිය වෙනවා. ඒක බැරෑරුම් තත්ත්වයක්. ඊට හේතු සපයන කතා රාශියක් එළියට එනවා. මේ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවා මේ පිළිබඳව එතුමාගේ මට්ටමින් කමිටුවක් පත් කරලා පරීක්ෂණයක් කරලා විසඳුමක් දෙන්න කියලා. එහෙම වුණොත් මිනිසුන්ට බය නැතුව ඇවිත් සහතිකයක් දෙන්න පුළුවන්. ඇමැතිවරයාගේ ක්‍රියාමාර්ග ගැලපෙන්නෙ නෑ. කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයාට තර්ජනය කරලා තියෙනවා. තවත් පිරිසක් ප්‍රවෘත්ති සාකච්ඡා තියලා කාරණය සාධාරණීකරණය කරනවා. මේ හරහා සිංහල මුස්ලිම් බෙදීමක් ඇතිකරන්නට ඇමැතිවරයා හදනවා. සැකකාර වෛද්‍යවරයා නිවැරදිද වැරදිද කියලා තාම දන්නේ නෑ. වෛද්‍යවරයාගේ පාර්ශ්වයත් ජනතාවගේ පාර්ශ්වයත් දෙපැත්තටම සාධාරණය ඉෂ්ට වෙන්න නම් ඇමැතිවරයා මේකට මැදිහත් වීම වැරදියි. එතුමා යම් මතයක කියලා දැන් සමාජයට නිරාවරණය වෙලා ඉවරයි.

ඇතැම් වෛද්‍යවරු අදහස් ප්‍රකාශ කරලා තිබෙනවා මේ සැත්කම කළ හැකියි කියලා. තවත් පිරිසක් කියනවා එහෙම කරන්න බෑ. අදාළ මොහොතේ තවත් කණ්ඩායමක් ඉන්නවා. කෙනකුට නොපෙනී එය සිදුකරන්න බෑ කියනවා. දැනට අම්මලා පිරිසක් කටඋත්තර දීලා තියෙනවා. එතකොට නියදියක් ඉන්නවා. වෛද්‍ය හා තාක්ෂණික ඥානය භාවිත කරලා අපක්ෂපාතී කමිටුවකින් තීරණය ගන්න පුළුවන්.

මේ කාරණයේදී මහජනතාවට දිය යුතු පණිවුඩය තමයි ජාතිවාදී විදිහට නොහිතමු. ජාති ආගම්වලට එකිනෙක නීති ක්‍රියාත්මක නොකරමු. හැමෝටම පොදු නීතියක් අවශ්‍ය බව හිතමු කියන එක. මෙතනදී ප්‍රමාණය අදාළ නෑ. එකක් හෝ අනිසි සැත්කමක් කළා නම් ඔහු වැරදියි. එහෙනම් නීතියෙන් හා වෛද්‍ය ආචාරධර්ම අනුව දඬුවම් ලැබිය යුතුයි. ඒ නිසා කරුණු දන්නා අම්මා කෙනෙක් ඉන්නවා නම් ඉදිරියට ඇවිත් තොරතුරු හෙළිකරන්න කියලා ඉල්ලා සිටිනවා.”

වසර ගණනක් තිස්සේ කළ පැමිණිලි නොසලකා හැරියා
රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන

මේ වගේ සිදුවීම් වසර ගණනාවක පටන් සිදුවෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබිලත් තිබෙනවා. ඇතැම් වෛද්‍යවරු සහ හෙද නිලධාරීන් ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙලා කතා කරලා තිබුණා. නමුත් ඒ කරුණු නොසලකා හැර තිබෙනවා ඉහළට යද්දී විවිධ මට්ටම්වලදී. ඇතැම් ප්‍රදේශවල මෙවැනි පැමිණිලි ලැබුණු පසුව අදාළ වෛද්‍ය නිලධාරීන් එම රෝහල් අතහැරලා ගිය බව වාර්තා වෙනවා. ඒකට උදාහරණයක් පසුගියදා එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. පේරාදෙණිය රෝහලේදී එවැනි සැත්කමක් කරලා අනාවරණය වුණාට පසුව ඊට සම්බන්ධ වෛද්‍යවරිය ලංකාව හැර ගියා කියලා. 

තවත් මෙවැනි තොරතුරු රාශියක් තියෙනවා. ඒවා වෛද්‍ය ප්‍රජාව අතරේ ප්‍රසිද්ධ රහස්. මෙවැනි සැත්කම් කළ හැකියි. ඒ පිළිබඳ වෛද්‍යවරු හා කණ්ඩායම් අදහස් දක්වලා තිබුණා. පැලෝපීය නාළ කියන්නේ ඉතා සියුම් ව්‍යුහයන් දෙකක්. සෙන්ටිමීටර් 10ක් පමණ දිගින් යුක්තයි. විශ්කම්භය සෙන්ටිමීටරයක් පමණ වෙනවා. සැත්කමක් අතරතුර මේ නාළවලට උපකරණ හෝ අත භාවිත කරලා යම් හානියක් කිරීමට හැකියි. එසේ නැතිනම් මේ ව්‍යුහයන්වලට හෝ ඩිම්බකෝෂවලට රුධිරය ගෙන යන රුධිර නාළ අවහිර කරන්න පුළුවන්. තවත් කරුණක් අනාවරණය වෙලා තිබෙනවා රුධිරය වහනය වීමට ඉඩ සලසලා අනතුරුව කොටසක් ඉවත් කරන්න කටයුතු කිරීම පිළිබඳව. ඒ වගේම ගර්භනී බව පරීක්ෂා කළ මුල් අවස්ථාවේදී තවදුරටත් ගර්භනී බව පවත්වාගෙන යාම නුසුදුසුයි කියලා එය ගබ්සා කිරීමට යෝජනා කළ අවස්ථා තිබෙනවා. මේ වගේ කාරණා ගණනාවක් ගැන පැමිණිලි ලැබිලා තියෙනවා. මේක සංවිධානගතව කළ එකක් බව පෙනී යනවා.

මේ සම්බන්ධයෙන් රජය ඈලි මෑලි ගතියෙන් කටයුතු කළේ. සෞඛ්‍ය අමාත්‍යවරයා කමිටුවක් පත් කළා. ඒ පිළිබඳ අපට කිසිදු විශ්වාසයක් නෑ. මෙය ලෝකයේ ජන වර්ගයකට විරුද්ධව ජනසංහාරය කරන තත්ත්වයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අර්ථ දක්වන ක්‍රියාවක්. මේ සඳහා පවතිනවාට හා ක්‍රියාත්මක වෙනවාට වඩා ප්‍රමුඛත්වයකින් රටේ බරපතළ ප්‍රශ්නයක් විදිහට සලකලා වහාම පරීක්ෂණ සිදුකළ යුතුයි. මේක විහිළුවට ලිස්සලා අරින්න පුළුවන් කරුණක් නොවේ.
මේක මේ රටේ නූපන් අයගේ පරපුරක ජීවත්වීමේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්. මේ සම්බන්ධයෙන් කතා නොකරන මැදිහත් නොවන සියලුම දේශපාලනඥයන් ගැන අනාගත ඉරණම ඉතා පැහැදිලියි. ඒ වගේම ඉතා පැහැදිලියි ඉදිරි දේශපාලනය තීරණය කරන්නේ මේ ප්‍රශ්නය. මෙතනදී පීඩාවට පත්වෙලා ඉන්න තරුණ මව්වරුන්ට ලෝකයේ තියෙන උසස්ම තාක්ෂණය භාවිත කරලා දරුවන් හැදීමට අවශ්‍ය අවස්ථාව ලබාදෙන්න අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ආණ්ඩුව විසින්ල
බාදිය යුතුයි.

දිනපතා පැමිණිලි ගලාගෙන එනවා
වෛද්‍ය සරත් වීරබණ්ඩාර - අධ්‍යක්ෂ කුරුණෑගල ශික්ෂණ රෝහල

සිසේරියන් සහ නාරිවේද සැත්කම්වලින් පසුව යම්කිසි ශාරීරික හානියක් සිදුව ඇත්නම් හෝ එවැනි සැකයක් තිබේ නම් වහාම පැමිණිලි කරන්න කියලා ඉල්ලීමක් කළා. දැනට යම් පිරිසක් පැමිණිලි බාරදීලා තිබෙනවා. දිනපතාම එවැනි පැමිණිලි ලැබෙනවා. එම පරීක්ෂණ සිදුකෙරෙනවා. තවමත් පරීක්ෂණ මූලික අදියරේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ සම්බන්ධයෙන් තවමත් නිගමනයකට එළඹෙන්න බෑ. ඇතැම් අසත්‍ය මාධ්‍ය වාර්තා මේ සම්බන්ධයෙන් පළවෙනවා. ඇතැම් පාර්ශ්වවලින් නිලධාරීන්ට බලපෑම් එල්ලවන බවකුත් දකින්න ලැබෙනවා.