2019 ජුනි 01 වන සෙනසුරාදා

එදා මෙදාතුර ක්‍රිකට් ලෝකය වෙනස් වූ හැටි

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:31 263

අවුරුදු දෙසීයකටත් වඩා පැරණි ක්‍රිකට් ක්‍රීඩාව පසුගිය දශක පහ ඇතුළත අපේ ජීවිත කාලයේදී වෙන කවර යුගයකටත් වඩා සීඝ්‍රයෙන් වෙනස් විය. මෙරටත් අනෙක් රටවලත් ඊට ඇති ජනප්‍රිය බවද මෙම නවීකරණත් සමඟ වැඩිවන්නට ගත්තේය.

ඉස්සර ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ලෙස අපට තිබුණේ කොළඹ වනාතමුල්ලේ ඕවල් ක්‍රීඩාංගණය (දැන් සරවනමුත්තු ක්‍රීඩාංගණය) පමණකි. දැන් අන්තර්ජාතික මට්ටමේ ක්‍රිකට් තරග පැවැත්විය හැකි ක්‍රීඩාංගණ ගණනාවක් අප සතුව ඇත. අප රටේ ක්‍රිකට් ක්‍රීඩාංගණ අලුතෙන් ඉදිවෙමින්, තිබුණු ක්‍රිකට් පිටි නවීකරණය වූයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නවීකරණය සිදුවෙමින් එය දිනෙන් දින ජනප්‍රිය වෙද්දීය.

කුඩා කාලයේ අප දුටු කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණය වටා දැන් තිබෙන ආකාරයේ විශාල කළුගල් පවුරක් තිබුණේ නැත. ඒ වෙනුවට පිටිය වටා තිබුණේ ලා කොළ හා තද කොළ පැහැති පත්‍ර ඇති වැඩිය උස් නොවූ ගස්ය. ඒ දකින අපට ඒ කාලයේ මතක් වූයේ අපි පින්තූරවලින් දැක තිබුණු එංගලන්තයේ ගම්බද ක්‍රිකට් පිට්ටනියකි. 

ඒ කාලයේ නරඹන්නන්ට පිටිය පෙනෙන්නට බෑවුමක් සහිත ටෙරස ගොඩනගා නොතිබුණේය. එදා තිබුණේ මැද හරිය මෙන්ම පැතලි පොළොවකි. 

Sight Screen දෙක තනා තිබුණේ සුදු පැහැති කොන්ඩියුට් බටවලින්ය. ක්‍රීඩාගාරය හැටියට තිබුණේ තනි සුදුපාට දෙමහල් ගොඩනැගිල්ලක් පමණකි. නැරඹුම් මැදිරිය (පැවිලියන් එක) තිබුණේ එම ගොඩනැගිල්ලේ ඉහළ මාලයේය. බාල වයසේ පසුවූ අපට පවා එහි ගොස් තරග නරඹන්නට කිසිදු තහංචියක් නොවීය. තණතිල්ල කෙළින් අතට පැවිලියන් එක තිබුණු නිසා පන්දුව දඟ කැවෙන ආකාරයද එහි සිට බලන අයකුට මැනවින් පෙනුණේය. එහි ගොඩනැගිල්ල පිටුපස අවන්හලකි. ලොකු මාමලා, අයියලා ඒ තුළ රන්පාට බියර් වීදුරු තොලගානු අපට පෙනුණේය.

කල්යත්ම නරඹන්නන්ට හිඳින්නට ටෙරස ඉදිකිරීම සඳහා ක්‍රීඩාංගණය වටා කඳු ගැසෙමින් පොළොව ඉස්සුණේය. බොහෝවිට පෞද්ගලික සමාගමක අපතේ යන රබර් බෝල කැබලි, රබර් කැබලි වලින් පිටිය වටා පොළොව ඉස්සුණේය. ඒ මත සිට ගත් විට පොළොව බම්ප් වනු දෙපයට දැනුණේය. පිටිය වටා කළුගල් පවුරද ඉදිවුණි. හතරේ සීමාව වටා කෙටි තාප්ප ඉදිවී ඒවායේ වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය විය. පිටිය වටා ලස්සනට තිබූ ගස් නොපෙනී ගියේය. මුල් කාලයේ අන්තර්ජාතික තරග පැවැත්වෙද්දී ටෙරසවලට ඉහළින් පොල් අතු සෙවිලි කොට තාවකාලික වහළයක් ඉදිවිය. පිටිය වටා ඇතැම් තැනෙක ස්ථීර නැරඹුම් සෙවණ ඉදිවූයේ ඉන් අනතුරුවයි.

අපේ එස්.එස්.සී. පිටිය එසේ නවීකරණය වෙද්දී ලෝක ක්‍රිකට් ක්‍රීඩාවද ඊට සමාන්තරව අප අත්දුටු සමයේ නවීකරණය වූයේය.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවට නරඹන්නන් ආකර්ෂණය කර ගැනීමට සීමිත ඕවර තරග ක්‍රිකට්වලට හඳුන්වා දෙනු ලැබීය. ඒ අනුව අන්තර්ජාතික ක්‍රිකට් ලෝක කුසලානය 1975 දී ඇරඹුණේය. 1992 ලෝක ක්‍රිකට් කුසලාන තරගාවලිය දක්වාම, එනම් 1975, 1979, 1983, 1987 තරගාවලි 4ටම ක්‍රීඩකයන් සහභාගි වූයේ සම්ප්‍රදායක සුදුවතින් සැරසිලාය. එක් එක් කණ්ඩායම්වලට වෙන්වූ වර්ණවත් ඇඳුම් උපයෝගී කර ගත්තේ 1992 ලෝක ක්‍රිකට් කුසලානයේ පටන්ය.
ඇත්තෙන්ම මෙම නවීකරණය ක්‍රිකට් ක්‍රීඩාවට ආයේ ඊට අවුරුදු 14කට පෙරය. ඒ කෙරී පැකර් විසින් (Kerry Packer) අනුග්‍රහය දැක්වූ World Series Cricket (WSC) 1977-79 තරගාවලියේදීය. මාධ්‍ය ආයතන හිමි ධන කුවේරයකු වූ කෙරී පැකර් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ ඇති කරගත් විකාශන ආරවුලක් හේතුවෙන්  ලොව ප්‍රධාන ධාරාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනතක හැරවූයේය. ඕස්ට්‍රේලියාවේ රූපවාහිනි ජාලය වූ Nine Network ආයතනයත්, විශාලතම ප්‍රකාශන සමාගම්ද ඔහුට හිමිව තිබිණි.

වර්තමාන ආකාරයට වර්ණ ජර්සි ඇඳගෙන පැවැත්වූ පළමු දිවා රෑ තරගය බටහිර ඉන්දීය කොදෙව් (WSC) පිලත්, ඕස්ට්‍රේලියානු (WSC) පිලත් අතර පැවැත්වූවකි. එහිදී 1978 නොවැ.28 දින පැවැත්වූ එම තරගයේදී බටහිර ඉන්දීය පිල රෝස පැහැයට හුරු ඇඳුම්වලින්ද, ඕස්ට්‍රේලියානු පිල රන් පැහැයට හුරු ඇඳුම්වලින්ද සැරසී සිටියහ. ඒ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය. කළුපාට දර්ශන පථ (Sight Screen) උපයෝගී කර ගැනීමත් සුදු පාට පන්දුව භාවිත කිරීමත් ඇරඹුණේ මෙම තරගාවලි වලිනි. කෙරී පැකර්ගේ ක්‍රිකට් තරගාවලි නිමාවුවද ඔහු එකතු කළ අංග ලෝක ක්‍රිකට් ක්‍රිඩාව තුළ ස්ථාපිත වූයේය.

ලෝක ක්‍රිකට් කුසලාන 1975, 1979, 1983 තරගාවලිවලදී එක් පිලකට යැවීමට නියමිත වූ පන්දුවාර සංඛ්‍යාව 50 නොව 60කි. ඕවර 50කට සීමාවූයේ 1987 තරගාවලියේ පටන්ය.

මේ වනවිට සීමිත ඕවර ලෝක කුසලාන තරග වර්ග 3ක් පවත්වා ඇත. ඒවා නම් ඕවර 60, ඕවර 50 සහ ඕවර 20 ලෝක කුසලාන තරගයි. මේ සියලුම වර්ගයේ ලෝක කුසලාන තරගාවලි ජයග්‍රහණය කොට ඇත්තේ ඉන්දියාව පමණකි. ඉන්දියාව 1983 ඕවර 60 ලෝක කුසලානයත්, 2011 ඕවර 50 ලෝක කුසලාන තරගාවලියත් සහ ක්‍රීඩාවට 2007 සිට අලුතෙන් එක්වූ ඕවර 20 ලෝක තරගාවලිය 2007 දීත් ජය ගත්තේය. 

ගෙවෙන හැම තත්ත්පරයක්ම ඉතිහාසයට එකතු වන්නා සේ මැයි 30 වැනිදා එංගලන්ත - දකුණු අප්‍රිකා තරගය ආරම්භයත් සමඟ ඇරඹෙන 2019 ලෝක කුසලාන සමයේදී ක්‍රිකට් ඉතිහාසයට අලුත් වාර්තා එක්වීම නොවැළැක්විය හැකිය. ඔබ මෙම ලිපිය කියවන සති අන්තය වනවිටත් ක්‍රිකට් ඉතිහාසයට අලුත් වාර්තා එකතු කිරීමේ ප්‍රවණතාව ඇති අපේ ක්‍රීඩකයා වන්නේ ලසිත් මාලිංගය. අපේ මෙවර පළමු තරගය ජූනි පළමුවැනිදා නවසීලන්තයත් සමග පැවැත්වීමට නියමිතව තිබියදී මේ වනවිට මාලිංග ලෝක කුසලාන පන්දු යැවීම් පිළිබඳ දක්ෂතා වාර්තාවල හත්වැනි ස්ථානයේ පසුවේ. මේ වනවිට ඔහු ලබා ඇති කඩුලු සංඛ්‍යාව 43කි. එම ලේඛනයේ ඔහුට ඉහළින් ඉන්නා සෑම පන්දු යවන්නෙක්ම මේ වනවිට ලෝක කුසලාන තරගවලින් ඉවත්වී සිටිති. ඔහුට ඉහළින් ඉන්නා ක්‍රීඩකයන් (පන්දු යවන්නන් මෙසේය) මැක්ග්‍රාත් (කඩුලු 71) මුරලි (68) අක්‍රම් (55) වාස් (49) සහීර් ඛාන් (44) ශ්‍රීනාත් (44) මීළඟ පළමු තරගයේදී මාලිංග එක විකට්ටුවක් දවා ගත්තත් ඔහු මෙම ලේඛනයේ 5 වැනි ස්ථානය සම කරයි.

සමස්ත එක්දින තරගවල පන්දු යැවීම් දක්ෂතා ලේඛනයේ කඩුලු 322ක් දවාගෙන මාලිංග 11 වැනි ස්ථානයේ පසුවේ. දැනට කඩුලු 323ක් දවාගෙන 10 වැනි ස්ථානයේ පසුවන්නේ සනත් ජයසූරියයි. මාලිංග ලබාගන්න පළමු කඩුල්ලත් සමග ඔහු ලෝකයේ අති දක්ෂ එක්දින පන්දු යවන්නන් 10 දෙනා අතරට එක්වේ.

ලෝක කුසලාන තරග ඉතිහාසයේ මේ වනවිට පිට පිට පන්දු තුනකදී කඩුලු 3ක් බිඳ හෙළීමේ දස්කම් 2ක් ලබා ඉන්නා එකම ක්‍රීඩකයාත් එකපිට පන්දු 4කදී කඩුලු 4ක් දවාගෙන ඉන්නා එකම ක්‍රීඩකයාත් අපේ මාලිංගය. 2007 දකුණු අප්‍රිකා තරගයේදීත් 2011 කෙන්යා තරගයේදීත් ඔහු එම හැට්රික් වාර්තා එක් කළේය. දකුණු අප්‍රිකාව සමඟ 2007 එක දිගට යැවූ පන්දුවලින් ලබාගත් කඩුලු 4 ගැන විස්තර නොකියාම බැරිය. ඔහු එක් පන්දු ඕවරයක අවසාන පන්දු දෙකේ ග්‍රැහැම් පොලොක් සහ ඇන්ඩ_ හෙස්ල් ගේ විකට්ටු බිඳ දැමුවේය. ඊළඟට යැවූ පන්දු වාරයේ මුල් පන්දු දෙකේ ජැක් කලිස්ව සහ මැකායා එන්ටීනිව ක්‍රීඩාගාරයට යැව්වේය. එහෙත් එම තරගයේදී ශ්‍රී ලංකාව පරාජය විය.

ලෙහෙසියෙන් නොබිඳිය හැකි පිට පිට කඩුලු 3ක් දවාලීමේ වාර්තාවක් අපේ චමින්ද වාස් ලෝක කුසලානවල වාර්තා කරගෙන සිටී. එනම් තරගයේ පළමු පන්දු තුනෙන් කඩුලු තුනක් ලබා ගැනීමයි. 2003 වැලන්ටයින් දිනයේ බංග්ලාදේශ පිතිකරුවන්ට එල්ල කළ තරගයේ පළමු පන්දු තුනේදී චමින්ද වාස් මෙම විස්කම කළේය. එම තරඟයේදී ශ්‍රී ලංකාවට විශාල ජයක් අත්විය.

2011 අවසාන ලෝක ක්‍රිකට් ශූරතා තරගය සඳහා ඉන්දියාව සමඟ අපි පොරට වැටුණෙමු. ශ්‍රී ලංකා නායක සංගක්කාර සහ ඉන්දීය නායක දෝනි හට දෙවරක් කාසියේ වාසිය උරගා බලන්නට මුම්බායි, Wankhade ක්‍රීඩාංගණයේදී සිදුවූයේය. පළමුවර දෝනි කාසිය උඩ දමද්දී (හෙඩ්) ඉල්ලනු තරග තීරක ජෙෆ් ක්‍රෝ හට නෑසුනේ 42,000කගේ ඔල්වර හඬ නිසාය. දෙවැනි වතාවේද හෙඩ් ඉල්ලා සංගක්කාරද දෙවැනි වතාවටත් කාසියේ වාසිය එදා දිනා ගත්තේය. පන්දුවට මුලින්ම පහර දීම තෝරාගෙන 274ක් අප රැස්කළත් අපට තරගය දිනාගත හැකි නොවීය. ඒ ක්‍රිකට් වල හැටිය.

එහෙත් 1996 ලෝක කුසලානය දිනූ ආඩම්බරය තවමත් අප සිත්වලින් ඉවත් වී නැත. ඒ සඳහා පැවති තරග හයේදීම පිත්තෙන්, පන්දුවෙන් පිළිමළුන්ට රිදෙන්නට බැටදී ඒවා ජයග්‍රහණය කළෙමු. එම ජය අප ලබා ගත්තේ කුරිරු යුද්ධයකට මුහුණ දෙමින් සිටියදීය. ඕස්ට්‍රේලියාවත්, බටහිර ඉන්දීය කොදෙව්වෝත් යුද්දය නිසා මෙරටට එවර නොආවෝය. සනත් පිත්තෙන් බැට දෙන විටත් තරගවලදී මුරලි විකට් ලබාගන්නා විටත් රටේ සියලු වැසියෝ තුටු වූහ. අවසාන තරගය දිනාගත් දා LTTE සාමාජිකයන් අහසට වෙඩි තබා ජයග්‍රහණය සැමරූ ආකාරය එවකට ඔවුන්ගේ කඳවුරක අත්අඩංගුවේ පසු වූ පොලිස් නිලධාරියෙක් පසුව කියා තිබුණේය. ක්‍රීඩාව සතුරන් පමණක් නොව නේක ජාතීන් පවා එකට එක් කරන්නකි.

දකුණු අප්‍රිකාව තම රට තුළ පැවැති සුදු කළු භේදය (අපාතයිඩ් වර්ණ ප්‍රතිපත්ති) පැරදී නෙල්සන් මැන්ඩෙලාට බලය ලැබීමෙන් පසුද එරට ක්‍රිකට් ක්‍රීඩා ඉහළ මට්ටමක තිබිණි. ඔවුන් වසර 21ක් එම හේතුව නිසා ලෝක ක්‍රිකට් ක්‍රීඩාවෙන් නෙරපා හරිනු ලැබ සිටියද ඊට පෙර දකුණු අප්‍රිකාව ලෝකයේ ප්‍රබල ටෙස්ට් ක්‍රිකට් පිලක් විය. ඔවුන් ලෝක කුසලාන තරගාවලියට ප්‍රථම වරට සහභාගි වූයේ 1992 දීය. එවකට එරට රගර් ක්‍රීඩාවේ යෙදුණේ සුදු ජාතිකයන් නිසා කළු ජාතිකයෝ එම ක්‍රීඩාව එතරම් ප්‍රිය නොකළහ. මැන්ඩෙලා රට තුළ කළු සුදු විරසකය තුරන් කරන්නට (රගර්) ක්‍රීඩාව යොදා ගත්තේය. ඒ වනවිට ලෝක රගර් ශූරතාව දිනාගන්නට හිතලාවත් නොතිබුණු අලුත් දකුණු අප්‍රිකාව මැන්ඩෙලාගේ මග පෙන්වීම අනුව ක්‍රියාකොට ලෝක රගර් ශූරතාව දිනාගත්තේය. ක්ලින්ට් ඊස්ට්‍වුඩ් අධ්‍යක්ෂණය කළ (ඉන්ජස්ටිස්) නම් චිත්‍රපටයේ මුළුමනින්ම ඇත්තේ එම මැන්ඩෙලාගේ කතාවයි. දකුණු අප්‍රිකාව එවර ලෝක රග්බි කුසලානය දිනාගත් ආකාරයයි.

අපේ ක්‍රිකට් ක්‍රීඩාවද රට තුළ සියලු ජාතීන්, සියලු ආගම්, සියලු සංස්කෘතීන් එක් කළ ක්‍රීඩාවකි. අප රට තුළ ජාතීන් හා ආගම් අතර මේ වනවිට තාවකාලිකව පැන නැගී ඇති මේ නොපැහැදිලි බව තුරන් කළ හැකි හොඳම අවස්ථාවකි. 2019 ක්‍රිකට් ලෝක කුසලානය සියලු අසමගිකම් දුරලා ජාතියක් ලෙස ඉදිරි ක්‍රිකට් ලෝක කුසලානය රස විඳ ගැනීමට දැන් අපට අවස්ථාව පෑදී තිබේ. ක්‍රීඩාවෙන් ජාතික හැඟීම් පුබුදුවාලිය හැකි බව නෙල්සන් මැන්ඩෙලාත්, ලෝක ප්‍රජාවත් මේ වනවිට සනාථ කර තිබේ.

 සමන් පුෂ්ප ලියනගේ

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00