2019 මැයි 24 වන සිකුරාදා

බෝම්බ පිපිරීමෙන් යටගිය රට කැළඹූ ප්‍රශ්න

 2019 මැයි 24 වන සිකුරාදා, ප.ව. 12:31 36

අප්‍රේල් 21දා පාස්කු ඉරිදා සිදුවූ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වී මේ වනවිට මාසයකට අධික කාලයක් ගතවී ඇත. මේ වනවිට රට සෙමෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබේ. එහෙත් තවමත් බොහෝ විද්‍යුත් මාධ්‍ය මෙන්ම මුද්‍රිත මාධ්‍යයන් තුළද ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල මෙන්ම වෙනත් ප්‍රවෘත්ති තුළින්ද කියැවෙන්නේ මෙම ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ කරුණු කාරණාය. අප්‍රේල් 21 වැනිදාට පෙර දේශපාලනයේ මෙන්ම සමාජයේ කතාබහට ලක්වී තිබූ ප්‍රධාන ප්‍රවෘත්ති පිළිබඳව මේ වනවිට කිසිදු සඳහනක් නොමැත. එසේ කියවුණද කියැවෙන්නේ තැනින් තැන අල්ප වශයෙනි.

මුළු මහත් රටම භීතියෙන් මුසපත් කරමින් සිටි මාකඳුරේ මධූෂ් ගැන 21වැනිදාට පෙර මහ ඉහළින්ම කියැවිණි. පසුගිය පෙබරවාරි 04 වැනිදා ඩුබායිහි සුපිරි හෝටලයක උපන්දින සාදයක් අතරතුර මධූෂ් සහ ඔහුගේ ගෝලබාලයන් 31 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටියහ. ඉන් අනතුරුව සෑම දිනකම මධූෂ් ගැන කියැවිණි. මධූෂ්ට සම්බන්ධ මෙරට ඔහුගේ ගෝලයන් මෙන්ම ඔහුගේ ආයුධ ගැනද සෑමදිනකම මෙරට මාධ්‍ය වාර්තා කළේය. නමුත් පසුගිය 21 වැනිදා සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් පසුව මධූෂ් ගැන සිදුවීම යටපත් වී ගියේය. පසුගිය මැයි මස 05 වැනිදා ඔහු ඩුබායි රාජ්‍යයෙන් ලංකාවට පිටුවහල් කෙරුණේ බෝම්බ පිපිරීමේ උණුසුම තිබියදීමය. 21 වැනිදාට පෙර සමාජයේ ඔහු ගැන තිබූ කතාබහ ඒ වනවිටත් අමතකව ගොස් තිබිණි. ඒ අනුව මාස දෙකක පමණ කාලයක් රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබූ මාකඳුරේ මධූෂ් ගැන කතාබහ මේ වනවිට යටපත් වී ඇත.


ජාතික දේශපාලනයේ මෙන්ම සමාජයේද බොහේ තැන්වල ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබූ පළාත් සභා ඡන්දය පිළිබඳව මේ වනවිට කිසිදු තොරතුරක් හෝ නොමැත. පසුගිය අප්‍රේල් මාසය වනවිට සබරගමුව, උතුරුමැද, නැගෙනහිර පළාත් සභාවල නිල කාලය ඉක්මවා වසරකුත් මාස 04ක් ගතවී තිබිණි. මධ්‍යම, උතුර සහ වයඹ පළාත් සභාවල කාලය ඉක්මවා මාස හතරක් ගතවී තිබූ අතර අප්‍රේල් මාසයේදී බස්නාහිර සහ දකුණු පළාත් සභාවල නිල කාලයද අවසන් විය. බොහෝ පළාත්වල වැඩකටයුතු මෙම පළාත් සභාවල නිල කාලය අවසන් වීමත් සමගම අතරමඟ ඇණහිට තිබූ අතර එය අප්‍රේල් මාසයට පෙර දේශපාලන වේදිකා තුළ උණුසුම් මාතෘකාවක් බවට පත්වී තිබුණි. එහෙත් තවමත් මේ වනවිටත් පළාත් සභා මැතිවරණයක් පැවැත්වෙන දිනයක් පිළිබඳ හෝ පළාත් සභා මැතිවරණයක් පිළිබඳව පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් මෙන්ම සමාජය තුළද කතාබහක් නැත.


අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ භාවිත කරමින් ඉන්දීය සාගරයේ ඇති සිය යුද නැව්වලට උපකරණ සැපයීමේ මෙහෙයුම ආරම්භ කර ඇති බව පසුගිය කාලයේදී මාධ්‍ය ගණනාවක් වාර්තා කර තිබිණි. පසුගිය 2018 වසරේ අගෝස්තු මස 28දා කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා රජය අතර ඇතිවූ එකඟතාව මත ඇමෙරිකානු නාවික හමුදාවේ යානාවලට ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් වූ කටුනායක වෙත පැමිණීමේ අවසරය ලබාදී ඇති බව මෙම ගිවිසුමෙන් එකඟවන බවද මාධ්‍ය වාර්තා පළවිය. විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂ නායකයෝ අවස්ථා ගණනකදීම මාධ්‍ය හමු පවත්වමින් මේ පිළිබඳව විරෝධය පළ කළහ. එමෙන්ම සිංගප්පූරුව සමඟ මෙරට ඇතිකර ගත් ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම පිළිබඳවද අවස්ථා ගණනාවකදී කතාබහට ලක්වූ මාතෘකාවක් විය. මේ පිළිබඳව සොයාබැලීමට ජනපතිවරයා පත්කළ ස්වාධීන කමිටුවට මන්ත්‍රීවරුන් රැසක් කරුණු දැක්වූහ. නමුත් කාලයක් මුළුල්ලේ කතාබහට ලක්වී තිබූ එම මාතෘකාව මේ වනවිට යටපත් වී ගොසිනි. කාලයෙන් කාලයට සමාජයේ බොහෝ දෙනාද තැනින් තැන කතාබහට ලක්වන මෙම මාතෘකා අද වනවිට කාගේත් කතාබහට ලක්වන්නේ නැත.

පාර්ලිමේන්තුව තුළත්, ජාතික දේශපාලනයේ වේදිකා තුළත්, සමාජයේත්, සිවිල් සංවිධානවලත් කතාබහට ලක්වූ මහ බැංකු බැඳුම්කර සිදුවීම ගැන මේ වනවිට කිසිදු මාධ්‍යයක පළනොවේ. ඒවා සමාජය තුළින් සැඟවී ගොස් තිබේ. එවකට මුදල් අමාත්‍යවරයාව සිට රවි කරුණානායක මහතාට සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට පවා මෙම මහ බැංකු බැඳුම්කර සිද්ධිය හේතු විය. 2015 වසරේ පෙබරවාරි මස 27 වැනි දින සිදුවූ එම මූල්‍ය වංචාව සම්පූර්ණයෙන්ම මෙරට ආර්ථිකය කනපිට හැරවීමට තරම් ප්‍රබල විය. මෙම ගනුදෙනුව සොයාබැලීමට ජනාධිපතිවරයා විමර්ශන කොමිසමකට බාර දීමෙන් පසුවද මේ ගැන කතාබහ සිදුවිය. පාර්ලිමේන්තුවේ විවිධ අවස්ථා ගණනකදීම මේ ගැන විවාදයට ලක්විය. නමුත් ඉඳහිට හෝ මාධ්‍ය මගින් වාර්තා කෙරුණු මහ බැංකු බැඳුම්කර සිදුවීම පසුගිය අප්‍රේල් මස 21 වැනිදා සිදුවූ පාස්කු ප්‍රහාරයත් සමඟම යටපත් වී ගියේය.

මහ බැංකු බැඳුම්කර සිදුවීමත් සමඟම කියවුණු තවත් නමක් වූ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ නමද මෙරට ජනතාවට නුහුරු නමක් නොවීය. ඒ තරමටම පහුගිය කාලය පුරාවට හිටපු මහ බැංකු අධිපතිවරයාගේ නම සඳහන් වූයේ මෙරට සිදුවූ බැඳුම්කර වංචාවේ ප්‍රධාන වගඋත්තරකරුවකු වශයෙනි. සිංගප්පූරු පුරවැසියකු වන අර්ජුන මහේන්ද්‍රන් මෙම සිදුවීමත් සමඟම සිංගප්පූරුවට ආපසු ගොස් තිබූ අතර ඔහුව ගෙන්වා ගැනීම සඳහා මෙරට විපක්ෂය පසුගිය කාලය පුරාවට මහත් හඬක් නැගීය. විටින් විට දේශපාලනයේ කරළියට පැමිණි හිටපු මහ බැංකු අධිපතිවරයා ලංකාවට ගෙන්වා ගැනීම පිළිබඳ මාතෘකාවද මේ වනවිටත් දේශපාලන වේදිකාවෙන් හඬක් නොගැගෙන කාරණාවක් බවට පත්වී තිබේ.

වර්තමාන රජය බලයට පත්වූ දා සිටම විපක්ෂය නිරතුරුවම නැගූ චෝදනාවක් වූයේ මෙරට ආර්ථිකය කඩා වැටෙන බවය. දිගින් දිගටම මාධ්‍ය හමු පවත්වමින් මෙරට ආර්ථිකය කඩා වැටීම සහ ජනතාව මත බදුබර පැටවීම ගැන ඔවුහු රජයට එරෙහිව චෝදනා නැගූහ. නමුත් මේ වනවිට රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව පසුගිය කාලය පුරාවට කතාවුණු කිසිවක් කථාවන්නේ නැත. ජීවන වියදම ඉතාමත් ඉහළ යැයි හඬ නැගූ පිරිස් අද වනවිට මෙම බදු ක්‍රමය සහ ආර්ථිකය ගැන කිසිදු කතාවක් නොකරති. එමෙන්ම පෙර තිබූ සංවර්ධන කටයුතු මේ වනවිට යම්තාක් දුරට පමා වී ඇති අයුරුද බොහෝ තැන්වල අපට දැකගත හැකිය.

පසුගිය අප්‍රේල් 21 වැනිදා එල්ල කළ ප්‍රහාරයත් සමගම මෙතෙක් රටේ කථා වූ මෙම මාතෘකා කතාබහ කිරීම තාවකාලිකව නැවතී ගොස් ඇත්තේ මේ ආකාරයටය. කෙසේ වෙතත් යළිත් මැතිවරණයක සේයාවක් අත ළඟට පැමිණුන විටම මෙලෙස යටපත්ව තිබූ මෙම මාතෘකා යළිත් සමාජය අතරට පැමිණෙනු ඇත.

►සටහන - හසිත් අංජන