2019 මැයි 25 වන සෙනසුරාදා

සැමියා අල්ලේ නටවන බිරියෝ

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 566

යෝජනාවක් හෝ ප්‍රේම සම්බන්ධයක් පාදක කරගෙන යුවලක් විවාහ ජීවිතයට ඇතුළත් වන්නේ විවාහයේ ප්‍රීතිය, සතුට භුක්ති විඳීමටය. එහෙත් එම සැපත සතුට හැම කෙනකුටම භුක්ති විඳීමට අවස්ථාවක් ඇති නොවේ. යහපත් භාර්යාවක් ලැබුණහොත් එම සතුට සැප අත්පත් කර ගැනීමට අවස්ථාවක් ලැබේ. එහෙත් තමාගේ සිතුම් පැතුම්වලට අනුගත නොවූ භාර්යාවක්, ලැබීමේ හේතුවෙන් යුග දිවියේ මිහිරියාව වෙනුවට අපාදුක් විඳින ස්වාමිපුරැෂයන් ද අප අතර විරල නොවේ.

යුග දිවියට අවතීර්ණ වීමට පළමුව පංගුකාරියගේ කේන්ද්‍රය විධිමත් ආකාරයෙන් පරීක්ෂා කළහොත් ඇගේ චරිත ලක්ෂණ, ගති සිරිත් මැනැවින් අධ්‍යයනය කිරීමට හැකියාව ඇත. සමහර කාන්තාවන් ගහන ගහන පදයට නැටීමට සමහර විවාහක පුරුෂයන්ට සිදුවේ. එවැනි කාන්තාවන් කේන්ද්‍රය ඇසුරින් හඳුනාගත හැකිය.

කේන්ද්‍රයේ උත්පත්තියේ දී රවි උච්ච බලයට පත්වී සිටියහොත් ඇය ඇගේ මතය හැම අවස්ථාවකදීම ඉස්මතු කර දක්වයි. ඊට අනුකූලව කටයුතු නොකළහොත් ඇතිවන්නේ කලහයකි. රවි ලග්නයේ හෝ හතරවැන්න තුළ උච්ච තත්ත්වයට පත්වුවහොත් ඇගේ අදහස් බෙහෙවින්ම වේගවත් වන අතර ඔබේ අදහස්වලට එකඟතාවය පළකරනු ලබන්නේ කලාතුරකිනි. මෙම රවි සමඟ අඟහරැ සම්බන්ධ වුවහොත් දැඩි ගති බෙහෙවින්ම වැඩි කෙරේ.

මේෂ හෝ මකර ලග්නයෙන් උපන් කාන්තාවගේ රවි උච්ච තත්ත්වයට පත්වුවහොත් බොහෝ අවස්ථාවලදී සැමියා පාලනය කිරීමට වැඩි වෙහෙසක් ගනී. සියල්ල ඉටුකිරීමට සිදුවන්නේ ඇගේ අනුදැනුම ඇතිවය. රවි සමඟ අඟහරැ විවාහයට සම්බන්ධ හත, දෙක, අට යන ස්ථානයක තැන්පත් වුවහොත් ඇය හැම අවස්ථාවකදීම ඔබ පාලනය කරන අතර වේගවත් වචන කියන්නියකි. ඇය තුළ යම් යම් දක්ෂතා ඇතිවුවද ඔබට ජීවත් වීමට සිදුවන්නේ ඇයගේ අණසක යටතේය. ඔබ බිරියට කීකරුව කටයුතු කළහොත් විවාහය පවත්වාගෙන යෑමට හැකියාව ඇත. එහෙත් ඇයට විරැද්ධ වුවහොත් විවාහය එතැනින් කෙළවර වීමට ද පිළිවන.

මෙම උච්ච තත්ත්වයට පත් රවි සෙනසුරුගෙන් පීඩාවට ලක්වන විට නිතර ඇගේ ඇණුම් බැණුම්වලට ලක්වීමට සිදුවේ. ඇයගෙන් ප්‍රිය වචනයක් ඇසීමට ලැබෙන්නේ කලාතුරකිනි. අඟහරැ බලවත් තත්ත්වයට පත්ව ලග්නයේ හෝ හතරවැන්න තුළ තැන්පත්ව සිටී නම් ඔබ අපේක්ෂා කරන ආදරය සෙනෙහස ඇයගෙන් ලබාගැනීමට අපහසුය. මෙම ස්ථානයේ තැන්පත්ව සිටින අඟහරු සමඟ කුමන ආකාරයකින් හෝ රවි සම්බන්ධ වුවහොත් මුරණ්ඩු ස්වභාවය බෙහෙවින්ම වැඩි කෙරේ.

කාන්තා කේන්ද්‍රයක චන්ද්‍රයා නීච තත්ත්වයට පත්වීම වඩාත් අයහපත් වන අතර ඇගේ ලාලිත්‍යභාවය බෙහෙවින්ම අඩු කෙරේ. නිතර පිරිමියා කෙරේ සැකයෙන් බලයි. හැම කාරණයකදීම සැකයෙන් බලන හෙයින් බිරියගෙන් ඔබ අපේක්ෂා කරන දේවල් ලබාගැනීමට අපහසුය. මෙම නීච තත්ත්වයට පත් චන්ද්‍රයා ලග්නයේ හෝ හතරවැන්න තුළ තැන්පත්ව සිටී නම් පිරිමියා මානසික වශයෙන් අසහනකාරී තත්ත්වයන්ට පත් කරයි. හිතේ පවත්නා ප්‍රසන්නභාවය බෙහෙවින්ම අඩු කෙරේ.
මෙම නීච තත්ත්වයට පත් චන්ද්‍රයා සමඟ සෙනසුරැ සම්බන්ධ වුවහොත් ඇය පහසුවෙන් සතුටට පත් කිරීමට අපහසුය. කොපමණ සම්පත් ලබා දුන්නද එමගින් සතුටට පත් නොවේ. මෙම නීච තත්ත්වයට පත් චන්ද්‍රයා සමඟ අඟහරැ සම්බන්ධ වීම යහපත් කාරණයක් නොවේ. මෙවැනි තත්ත්වයක් පවත්නා විට බිරිය වෙනත් පුරැෂයන්ගේ පහස ලැබීමට වැඩි කැමැත්තක් දක්වයි.

රවි, බුධ, සෙනසුරු යන ග්‍රහයන් සමාන අංශක තුළ සංයෝග වී සිටින කාන්තාව කොපමණ සම්පත් ලැබුණද එමගින් සතුටට හෝ සෑහීමකට පත් නොවේ. ඔබට යම් සුවයක් සැපයක් ලබාගැනීමට අපහසු වේ. මෙම යෝගයෙන් ජනිත කාන්තාවක් විවාහ කර ගන්නා පුරැෂයාට විවාහයේ සැප සම්පත් ලබාගැනීමට අපහසුය. ජීවිතයේ විවිධ ප්‍රශ්න හා ගැටලු ඇති කරයි.

අඟහරැ සමඟ සෙනසුරැ සම්බන්ධ වූ විට හෝ සෙනසුරැගේ දෘෂ්ටියට අඟහරැ ලක්වන විට ශනි මංගල යෝගය ඇති කරයි. මෙම යෝගයෙන් උපන් කාන්තාව සමඟ වැඩි කාලයක් විවාහය යහපත් තත්ත්වයෙන් ගත කිරීමට අවස්ථාවන් ඇති නොවේ. මෙම යෝග ලග්නය, දෙවැන්න, හත්වැන්න, අටවැන්න යන ස්ථානයක යෙදී ඇත්නම් විවාහය තුළින් සැමියා අපේක්ෂා කරනු ලබන කිසිවක් ලබාගැනීමට අපහසුය. මෙම යෝගයට රාහු සම්බන්ධ වුවහොත් වඩාත් අයහපත් තත්ත්වයන් ඇති කරයි. කාලයක් ගතවන විට විවාහය බිඳවැටේ. කේතු සම්බන්ධ වුවහොත් යම් යම් අපහසුකම් වැනි දේවල් ඇති කරයි.

අඟහරැ, සිකුරැ සහ චන්ද්‍රයා සම්බන්ධ වී විවාහස්ථානයේ හෝ අටවැන්න තුළ තැන්පත්ව ඇත්නම් පහසුවෙන් සතුටට පත්වන කාන්තාවක් නොවන අතර වෙනත් පුරුෂයන්ගේ ඇසුරට පත් වේ. ඇය ලිංගික ජීවිතයට වැඩි කැමැත්තක් දක්වන අතර විවිධත්වය බෙහෙවින්ම ප්‍රිය කරයි.

සෙනසුරැ ලග්නයේ රවි පස්වැන්නේ හා අඟහරු නවවැන්න තුළ තැන්පත්ව ඇත්නම් ඇය කෙරෙන් යම් සහනදායී තත්ත්වයක් ඇති නොවේ. මෙය බලවත් විෂ කන්‍යා යෝගයක් බැවින් එවැන්නියක සමඟ යුග දිවියට පත් වුවහොත් වැඩි කාලයක් විවාහය පවත්වාගෙන යෑමට අපහසුය.

චන්ද්‍රයා සහ සිකුරු බෙහෙවින් දුර්වල තත්ත්වයෙන් හෝ නීච තත්ත්වයෙන් යුක්ත නම් ඇය කෙරෙන් ඔබේ සිතැඟි ඉටුකර ගැනීමට අවස්ථාවන් ඇති නොවේ. නිතර මනසට වද දෙන කාන්තාවකි.

ඔබ විවාහය අපේක්ෂාවෙන් සිටින්නේ නම් විවාහයට පළමුව ඔබ ලබන කාන්තාවගේ කේන්ද්‍රයේ ඉහත යෝග ඇද්දැයි පරීක්ෂා කළ යුතුය.

ජ්‍යොතිෂවේදී ප්‍රේමදාස කළුතන්තිරි
සර්වෝදය මාවත,
කැස්බෑව

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00