2019 මැයි 18 වන සෙනසුරාදා

පුත්තලමේ සාමයට හැමෝම කැපවෙලා

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 102

ශ්‍රී ලංකාව බොද්ධ රටක් බව ඇතැම් දේශපාලනඥයන් පිළිනොගත්ත ද කතෝලික දහම අදහන අයද පිළිගන්නා කරුණකි. එවන් පසුබිමක් තුළ බෞද්ධ රටකට ගැලපෙන ආකාරයට සකස් කර ඇති නීති වෙනස් කිරීමට කතෝලික භක්තිකයින් කිසිවිටකත් කටයුතු නොකිරීම නිසාම බෞද්ධයන් සහ කතෝලිකයන් තුළ ආගමික සංහිඳියාව පවතී.

මුස්ලිම් අන්තවාදීන් ආගම විකෘති කරමින් අරාබියේ පවතින ආගමික නීතිය ශ්‍රී ලංකාවේ පොදු නීතිය යටපත් කරමින් කටයුතු කිරීමට යෑම හේතුවෙන් ගැටුම් නිර්මාණය වෙමින් පවතී. රටක පවතින ආගම ඇදහීම, විවාහ සිදුවීම, වැරදිවලට දඬුවම්, අධිකරණය ආගම් අනුව ක්‍රියාත්මක කරන්නේ නම් රටේ පොදු නීතිය ක්‍රියාත්මක වෙනවාද යන්න ගැටලුවකි.

එවැනි අපැහැදිලි කාරණා හේතුවෙන් සිංහල, දෙමළ, බෞද්ධ, කතෝලික ජනතාව අතර මුස්ලිම් කාන්තාවන් කෙරේ විශේෂ අවධානයක් යොමුවී ඇත. ඉන් එක් ප්‍රතිපලයක් ලෙස පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයෝ 13 වැනි දින ලෙඩ නිවාඩු දමමින් සේවයට වාර්තා නොකළහ. ඔවුන් ඉල්ලා ඇත්තේ රාජ්‍ය ආයතනයක පවතින නීතිය අනුව කාර්යාලයේ සේවය කරන මුස්ලිම් කාන්තාවන්ද සාරි ඇඳිය යුතු බවයි.

පුත්තලම ප්‍රදේශය සාමකාමීව පැවතිය ද පාසල්වලට ළමුන් පැමිණීම ඉතාම පහළ මට්ටමක පවතී. පාසල්වලට ආරක්ෂාව යොදවා තිබුණද, වැඩි ආරක්ෂාවක් සැපයීමට පාසල් කාලය නිමවනතුරු මව්පියෝ පාසල්වලම රැඳී සිටිති. කවුරුන් කොහොම කීවත් පුත්තලමේ ජනතාවට තවමත් ආරක්ෂාව තහවුරු වී නොමැති බව පාසල්වලට පැමිණෙන දරුවන්ගේ සංඛ්‍යාව හා බැලීමේදී  තහවුරු වෙයි. වරින්වර ඇඳිරි නීතිය පැන වුවද පසුගිය 13 සහා 14 වන දින ඇඳිරි නීතිය පැනවීමත් සමඟ ජනතාවගේ දෛනික කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ගියේය.

ව්‍යාපාරිකයන්ට පාඩු සිදුවී ඇත. තැනින් තැන හටගන්නා සුළු ප්‍රශ්නයකදී වුවද ඇඳිරි නීතිය යෙදීම තුළින් ජනතාවගේ ආර්ථිකයට මරු පහරක් එල්ල වී ඇත.

කඩේ, පිලේ, ඇලේ, දොළේ, වැවේ, ගමේ, නගරයේ කොතැනට ගියත් අසන්නට ලැබෙන්නේ එක හා සමාන වදන්ය. ‘ත්‍රිවිල් වලට හයර් නැහැ, කඩවල බිස්නස් නැහැ, සුළු පිරිසක් කරපු ජරා නින්දිත වැඩේ නිසා අපිට තමයි කරදර. ආයෙ නම් මේ එකකටවත් ඡන්දය දෙන්නේ නැහැ. නිදහසක් නැති රටක් මොකටද? යුද්ධය ඉවර වෙලා වසර දහයයි දැන් වැසිකිළියට යන්නත් හැඳුනුම්පත ඕනෑවෙලා. රාජ්‍ය ආයතනයකට වැඩක් කරගන්න ගියාම වැඩේ කරගන්න පෝලිමේ යනවා වගේම කාර්යාලයට ඇතුළු වෙන්න වෙනම පෝලිමක යන්න ඕනෑ. රට රකින්න බැරි ආණ්ඩුවකින් ජනතාවට වෙන සෙත මොකක්ද? හැමතැනක ආයුධ හම්බවෙනවා ඇයි ඒවා තියාගෙන හිටියෙ. දැන් සෝදිසි මෙහෙයුම් කරද්දී නීති විරෝධීව ආයුධ ළඟ තියාගෙන හිටපු අය අහුවෙනවා. මොකක්ද ඒවට දෙන දඬුවම්. ඔය හම්බවෙච්ච කඩු, කිනිසි, ආයුධ, පතුරොම් සේරම දේශපාලනඥයන්ට සම්බන්ධ ඒවා. සාමාන්‍ය ජනතාවට ලයිසන් එකක් නැතුව ෆුට් සයිකලයක් ළඟ තියා ගන්නත් බැරිකොට කොහොමද මේ ගිනිඅවි ළඟ තියාගෙන ඉන්නෙ?”

දේශපාලන හයියක් නැති සාමාන්‍ය ජනයා අතර එවැනි අදහස් ප්‍රකාශ වෙයි.

රට ආපස්සට ගොස් ඇති බව ජනතා අදහස් තුළින් පැහැදිලිය. අධ්‍යාපනය අඩාල වී ඇත. දරුවන් පාසල් යැවීමට බියෙන් බොහෝ මව්පියෝ දරුවන් පාසල් නොයවති. යුද සමයේ මායිම් ගම්මානවල මෙන් දරුවන් පාසල් යවා ආරක්ෂාවට මව්පියන්ට රැඳී සිටීමට සිදුවී ඇත. ත්‍රිවිධ හමුදාව, පොලීසිය, විශේෂ කාර්ය බළකාය නිරන්තරයෙන් මෙහෙයුම් සිදුකරමින් සිටී. අනන්‍යතාවයක් නොමැති මුස්ලිම් ජාතිකයෝ පුත්තලම දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල ජීවත් වෙති. වසර තිහක යුද සමයේදී අවතැන් වී තාවකාලික කඳවුරවල ජීවත් වූ පිරිසක් වර්තමානය වනවිට ස්ථිර නිවාස තනා ජීවත් වෙති. එසේ වුවද ඔවුන් පුත්තලමේ ලියාපදිංචිකරුවන් නොව නාමිකව පමණක් අවතැන් වූවන් බවට පත්වී ඇත. අනාථයිනට ලැබෙන සියලු වරප්‍රසාද ලබාගැනීමද ඔවුහු සිදුකරති.

නැවත පදිංචිකිරීමේ අමාත්‍යංශය හරහා විල්පත්තුව වනාන්තරය විනාශ කරමින් අවතැන් වූවන් පදිංචි කර වූවද අවතැන් වූවන් බහුතර පිරිසක් සිටින්නේ පුත්තලම සහා කල්පිටියේය. ඔවුන්ගේ ලියාපදිංචිය මන්නාරමේය.

මැතිවරණ සමයේදී ඡන්දය ලබාගැනීම සඳහා මුදල් වියදම් කර වාහන, ආහාරපාන ලබාදෙන දේශපාලනඥයෝ පුත්තලමේ සිට ජනතාව මන්නාරම රැගෙන යාම සිදුකර ඡන්ද ගොඩ වැඩිකර ගැනීමට කටයුතු කරති. එවන් තත්ත්වයක් තුළ මුස්ලිම් ජනතාව දස දහසකට වැඩි පිරිසක් දැඩි ලෙස පීඩාවට පත්වී සිටින්නේ ඔවුන් පදිංචි වී සිටින ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවලට සහ ආරක්ෂක අංශවලට ඔවුන්ගේ අනන්‍යතාවය පිළිබඳ තහවුරු කිරීමට නොහැකිවයි.

අනන්‍යතාවක් නොමැති පිරිස් සිටීම හේතුවෙන් ආරක්ෂක අංශවලට සහ රාජ්‍ය ආයතනවලට රාජකාරි කිරීමේදී ගැටලු මතුවී ඇති සේම එවැනි ජනතාවට අන්‍යතාවය ඔප්පු කිරීමට මන්නාරමට ගොස් ලියාපදිංචි සහතික පුත්තලමට රැගෙන ඒමට සිදුවී ඇත. දේශපාලනඥයෝ තමන්ගේ වාසියට සිදුකර ඇති ඇතැම් ක්‍රියා නිසා සමස්ත රාජ්‍ය සේවා ස්ථාන ගැටලුකාරී තත්ත්වයකට මුහුණදී සිටිනවා මෙන්ම ජාතික ආරක්ෂාවට බලපෑමක් ඇතිවී තිබේ.

සෑම දිනකම ආරක්ෂක අංශ සිදුකරන පරික්ෂා කිරීම් හමුවේ බියට පත්වූ නීති විරෝධී වැඩකරන පිරිසද තමන් නිති විරෝධී ලෙස භාවිත කළ ඇතැම් ආයුධ තැන් තැන්වල දමා යාමට කටයුතු කර ඇත. කඩු කිනිසි, ගිනි අවි, වෙනත් උපකරණ ඇතැමුන් සතුව තිබියදී ආරක්ෂක අංශවලට හසුවිය. ටී. 56 ගිනි අවි දෙකක් පුත්තලම පොලීසිය පිටුපස දමා ගොස් තිබියදී පොලීසිය සොයාගෙන තිබුණි. මුන්දලම තොඩුවාව ප්‍රදේශයේ පාලමක් යට දමා තිබූ ආයුධ, දුරදක්න, පතුරොම්, දුරකථන, අංක තහඩු, අධි තාක්ෂණ දුරකථන උපාංග, පිහි, කඩු සොයා ගැනුණි.
පුත්තලම මුස්ලිම් නායකයෝ සාමය ආරක්ෂා කර ගැනීමට වෙහෙසක් දරමින් සිටිති. රටේ පවතින නීතිය අනුව ජීවත්විය යුතු බව කියමින් පුත්තලමේ උපන් පුත්තලමට ආදරය කරන පුත්තලම සිංහල ජනතාව සමග සහයෝගයෙන් සහෝදරත්වයෙන් කටයුතු කරන පුත්තලම නගරාධිපති කේ.ඒ. බායිස් ඇතුළු ඇතැම් දේශපාලනඥයෝ කටයුතු කරති. ඔවුන් එසේ කිරීම නිසා පුත්තලම ප්‍රදේශයේ සාමය ආරක්ෂා වී ඇත.

පුත්තලමට ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව පොලීසිය විශේෂ කාර්ය බලකාය යොදවා ඇත. එකම රටක එකම නීතියක් ක්‍රියාත්මක කර මුස්ලිම් සිංහල දමිළ, කතෝලික බෞද්ධ හින්දු යැයි වර්ගීකරණය නොකර ශ්‍රී ලාංකික ජනතාවක් හැටියට එක ධජයක් යට එක නීතියක් ක්‍රියාත්මක කිරීමෙන් සාමය පවත්වාගෙන යෑමට හැකි වේ.

► රෝවන් පෙරේරා - පුත්තලම