2019 මැයි 18 වන සෙනසුරාදා

අහස බලාගෙන වැස්ස ගැන කියන ධීවරයෝ

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 854

වර්තමානය ඔස්සේ අපි අතීතයට පිවිසෙමු. අද ධීවර කර්මාන්තය සහ කාලගුණය අතර විද්‍යාත්මක බැඳීමක් ගොඩනැගී තිබේ. සයුර බලා පිටත්වන්නට කලියෙන්ම අද ධීවරයෝ කාලගුණය පිළිබඳ දැන සිටිති. බහුදින ධීවර යාත්‍රාවල ධීවරයෝ මුහුදු යාමට පෙර ඈත සාගරයේ කර්මාන්තයේ නියුතුව සිටින ධීවරයන්ගෙන් රේඩියෝ මගින් කාලගුණ තත්ත්වය දැනගනිති. තවද කාලගුණ වාර්තා නිතර ඔවුන්ගේ අවධානයට යොමුවේ. ඈත සාගරයට ගියවිටද ඔවුන් සතුව ඇති චන්ද්‍රිකා (සැටලයිට්) උපකරණ හරහා වළාකුළුවල තත්වය සුළං හමන අත ආදීය දැන ගැනීමට හැකිය. මෙම හේතුවෙන් පාරම්පරිකව රැගෙන ආ බොහෝ දැනුම අද වියැකී යමින් තිබේ.

අපගේ මේ කතාවට විෂය වන්නේ දිවයිනේ නැගෙනහිර සහ බටහිර වෙරළ තීරයේ කාලගුණය පිළිබඳ දැනුමයි. අදද වාරකන් සමයේ බේරුවල වෙල්මාව (ප්‍රදීපාගාරය) ඉහළින් කළු වළාවක් මෝදු වනවිට බේරුවල වෙරළ තීරයේ ගම්මානවල ජනයා රෙදි වැල්වල ඇති රෙදි ගෙට ගනිති. ගතවන්නේ ඇසිල්ලකි, මහා වරුසාවක් කඩා වැටේ. මෙය පැරැණි විශ්වාස මත සිදුවන සත්‍යයකි.

තවද මෙම ප්‍රදේශවල ජනයා තුළ පවතින විශ්වාසයක් නම් සිංහල අලුත් අවුරුද්ද ගතවී දින 45ක් යනවිට කෝඩයක් එන බවයි. කෝඩයක් යනු සුළඟක්ය. එය අද සැබෑවට සිදුවන්නකි. පැරැන්නන් කියන ලෙසින් එය එදා ඉතා නිවැරදිව සිදුව තිබේ. එහෙත් අද මෙම කෝඩය එන දින ටික එහා මෙහා වී ඇත. කෙසේ නමුත් මේ නිරිතදිග මෝසම සක්‍රීය වීම පිළිබඳ කතාව විය යුතුය.

දැනට පරම්පරා දෙකකට පමණ ඉහත ජීවත් වූ ධීවර කර්මාන්තය ජීවිකාව කොටගත් පැරැන්නන් කාලගුණ අනාවැකි කීවේ අත්දැකීම් අනුව බව මෙම ප්‍රදේශවල බොහෝ දෙනා පවසති. සිය අත ඇස් මට්ටමින් තබා අහස දෙස බලා වැසි පිළිබඳ නිශ්චිත අනාවැකි කියන්නට හැකියාවක් ඔවුනට තිබුණු බව කියැවේ. මෙය එකල හඳුන්වා ඇත්තේ ඉයත්තු බැලීම ලෙසයි. ධීවර ව්‍යවහාරයේදී ඉයත්තුව යනු කාලගුණය හැඳින්වීමට යොදාගත් තවත් පදයකි.

සුළඟ පිළිබඳ පැරැණි ධීවර ප්‍රජාව තුළ මනා දැනුමක් තිබුණු බව කියැවේ. ශාරීරිකව සුළඟ දැනෙන ආකාරය, එහි සීත උණුසුම් බව පිළිබඳව ඔවුන්ගේ මනා අවධානයට ලක්ව තිබේ. බොහෝ අපූරු අනාවැකිවලට පදනම වී ඇත්තේ සුළඟ පිළිබඳ දැනීමයි. වර්තමානයේ බහුදින ධීවර යාත්‍රාවල ගමන් කරන ධීවරයන් අතරද සුළඟ පිළිබඳ යම් අවබෝධයක් වෙයි. සුළං අත ඔවුනට ඉතා වැදගත්ය. ඊට අමතරව දියවැල් පිළිබඳවද ඔවුහු අවධානයක් දක්වති. මුහුදේදී දියවැල් අතරින් මතුවන කුඩා ජෙලි ෆිෂ් වර්ගයකි. මේ සලකුණ ඉදිරියේදී කාලගුණ විපර්යාසයක් ඇති බවයි.

වළාල මාස අවසානයේ වාරකන් සමය ඇරඹීමට පෙරාතුව මෙම ප්‍රදේශය සිදුවන අපූරු සිදුවීමකි. පොළොවෙන් මෙරූන් මතුවෙයි. පියාපත් ලද වේයන් මෙරු ලෙසින් හඳුවන්වනු ලබයි. මෙලෙස මේරු මතු වනවිට ගම්මුන් කීවේ ඔන්න පොඩි මාලු අහුවෙන්න පටන්ගන්න කාලේ එනවා කියාය. සත්‍ය වශයෙන්ම අතීතයේදී බග්ගු සාලයන් වැනි පොඩි මාළුන් මේ කාලයට ඕනෑ තරම් හසුවෙයි.

සාමාන්‍යයෙන් ධීවර කර්මාන්තයේ ප්‍රධාන කාල දෙකකි. වළාල මාස සහ වාරකන් මාස යනු ඒවාය. සිංහල අවුරුදු අවසානයේ දින හතළිස් පහකින් එන කෝඩය වාරකන් සමයේ ආරම්භයයි. වෙසක් පොසොන් ඇසළ යනු වාරකන් සමයේ දරුණුම මාස තුනයි. මුහුද වළාල වෙන්නේ කතරගම දිය කැපූවිට බව මේ ප්‍රදේශවල ධීවර විශ්වාසයයි. පැරැන්නන්ට අනුව හොඳින් මාළු හසුවන්නේ මෙම දිය කැපීමේ මංගල්‍ය නිමා වූ විට දීය.

නොවැම්බරයේ සිට සිංහල අවුරුදු වෙනතෙක්  යළි පැමිණෙන්නේ ගොඩවරුසා සමයයි. ගොඩ කෝඩ මුහුදට පවා යන බව ධීවරයෝ පවසති. මේ සංවහන වැස්ස විය යුතුය. බක් මහේදී ගොඩ කෝඩ බෙහෝ සෙයින් රළුවෙයි. අතීත ඔරු පන්න ධීවරයන් මෙම ගොඩ කෝඩවලට ඉතා බිය වී තිබේ. මහ මුහුදට ගියවිට දර්ශන පරාසය විශාලවේ. ඈත වසින වැසි ධීවරයෝ වළාකුළුවලින් හඳුනා ගනිති. ගොඩ කෝඩවලින් මිදී වර්ෂාවෙන් ගැලවී සිටීමට ඈත වළාකුළු කියැවීමේ ක්‍රමය ඔවුනට උපකාර වී ඇත.

ධීවරයන් ධීවර කටයුතුවල නිරතවීමට අදිමදි කරන මාසය වෙසක් මාසයයි. කුණාටු ගැසීම නිසාවෙන් දකුණේ සහ නිරිතදිග වෙරළේ ධීවරයෝ මේ සමයේ ධීවර කටයුතු මගහරින්නට උත්සාහ දරති. එමෙන්ම කතරගම දියකැපීමේ මංගල්ලයට සමගාමීව ඇතැම් වැල්ලවල්වල දේවදානයන් ලබාදීමද අතීතයේදී සිදුව තිබේ.

බොහෝ අනාවැකි සහ ඒවා කියූ උපක්‍රම අද වනවිට ධීවර ප්‍රජාව අතරින් මැකී ගොස් ඇත. ඒ පිළිබඳ විධිමත් ගවේෂණයක අවශ්‍යතාව මතුවෙමින් තිබේ. අරැම පුදුම දෙයක් ලෙස පෙනුණද මෙය පාරම්පරික ඥානයයි.

►චමිඳු නිසල්