2019 මැයි 18 වන සෙනසුරාදා

කැලෑවේදි කොටු වූ මධූෂ්ගේ ගෝලයා ඇට ඉන්දික

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 158

ඇට ඉන්දික හෙවත් සුනිල් ප්‍රේමරත්න පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ හිටපු ගෝලයෙකි. ජීව අත්බෝම්බයක් සමඟ සැකකරු කොටුවී තිබුණේ කරන්දෙණිය පොලිසියේ නිලධාරින් පිරිසක් සිදුකළ හදිසි වැටලීමකදීය.

පසුගිය 8 වැනිදා අත්අඩංගුවට ගත් සැකකරු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබව 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරිණ.

මාකඳුරේ මධූෂ්ගේ මෙහෙයවීමෙන් දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයකු වූ ඩැනී හිත්තැටිය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන තිබුණේ ඇට ඉන්දික හෙවත් සුනිල් ප්‍රේමරත්නය. 38 වැනි වියේ සිටි සැකකරු පොලිසියට කොටුවන විටත් කරන්දෙණිය එගොඩවෙල ප්‍රදේශයේ කැලෑවක සැඟවී සිට ඇත. ඩැනී හිත්තැටිය ඝාතනය ඇතුළු මිනීමැරුම්, කොල්ලකෑම් හා හෙරොයින් සම්බන්ධයෙන් නඩු 13ක් සඳහා සැකකරු වරෙන්තු ලබා සිටින්නෙකි. කලක් රක්ෂිත බන්ධනාගාරගතව සිට මීට මාස තුනකට ඉහතදී ඇට ඉන්දික නිදහස්ව පැමිණ ඇති අතර මාස එකහමාරක් පමණ කිසිදු චෝදනාවක් නොමැතිව යහපත් කල්ක්‍රියාවෙන් වාසය කර ඇත.

ගෙවී ගිය සිංහල අවුරුද්දට දින කීපයකට පෙර කරන්දෙණිය පොලිස් බල ප්‍රදේශයේ බෙංවල ගමේ කාන්තාවන් පැළඳ සිටි ස්වර්ණා භරණ කොල්ලකෑමේ සිද්ධීන් කීපයක් සිදුව තිබිණි. ඒවා පොලිසියට පැමිණිලි කරන්නට ඇතැම් කාන්තාවෝ ඉදිරිපත් වූහ. සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකව තිබියදී යම් සැකකරැවකු පිළිබඳ තොරතුරක් වාර්තා වී ඇත. තොරතුරට අනුව කියවුණු එගොඩවෙල ප්‍රදේශයේ කැලෑවක් වැටලු පොලිසිය සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ අත්බෝම්බයක් සමඟය. පසුව අනාවරණය වූයේ සැකකරු ඇට ඉන්දික හෙවත් සුනිල් ප්‍රේමරත්න නැමැති මාකඳුරේ මධූෂ්ගේ සමීපතයෙකුව සිටි අයකු බවය.

කිරිවත්ත, උණගස්වල, කරන්දෙණිය ලිපිනයේ පදිංචිකරුවකු වූ ඇට ඉන්දික පාසල් සමයේදී වයස අවුරුදු 14ක්ව සිටියදී ප්‍රදේශයේ ගෙවත්තක තිබූ කෙසෙල් කැනක් සොරකම් කර හිමිකරුට හසුවී ඇතැයි කියති. සොරකමට දඬුවමක් වශයෙන් කෙසෙල් කැන් හිමිකරු ඇට ඉන්දිකගේ කමිසය ගලවා ගම වටේ ඇවිද්දවා තිබිණ. සිද්ධියෙන් ලජ්ජාවට පත් ඇට ඉන්දික එදා සිට ගෙදරින් පලාගොස් කැලෑව ආශ්‍රිතව සැඟවී සිට ඇත. කෙසේ වෙතත් තරුණ වියේදී යතුරුපැදි ධාවනයේ ශූරත්වයක් දැක්වූ ඇට ඉන්දික වෘත්තියක් වශයෙන් මාරක ළිඳේ යතුරුපැදි පැදවීම සිදුකර ඇත. ඒ සමයේ දිවයින පුරා පැවැත් වූ සැණකෙළි සඳහා සහභාගී වූ මොහු විවිධ කොල්ලකෑම් සඳහා ද යොමුව ඇතැයි කියති. එවැනි එක් සිදුවීමකට වරදකරු වූ ඔහු කලක් ගාල්ල බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටියේය.

පැහැපත් පෙනුමින් සහ ප්‍රියමනාප අයුරින් සිටි ඇට ඉන්දික මාකඳුරේ මධූෂ් හඳුනාගෙන තිබුණේ එම බන්ධනාගාරයේදීය. දෙදෙනා අතර සමීප සබඳතාව ගොඩනැගුණේ එහිදීය. බන්ධනාගාරයෙන් නිදහස්ව යන ඇට ඉන්දිකට මාකඳුරේ මධූෂ් වගකීමක් බාරදී තිබුණි. යතුරුපැදි ධාවනයේ ශුරත්වයක් ඇති ඔහුට තිබුණේ මධූෂ් හඳුන්වා දෙන පුද්ගලයා සමඟ අවශ්‍ය ස්ථානයට යතුරුපැදිය පැදවීමත් යළිත් ඔහු කියන ස්ථානයට ගොස් ආපසු බැස්සවීමත්ය. ඒ අනුව 2011 ජුනි 11 වැනිදා දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනී හිත්තැටිය වෙඩි තබා ඝාතනයට පැමිණි වෙඩික්කරු රැගෙන ආ යතුරුපැදිය පදවා තිබුණේ ඇට ඉන්දිකය. එමෙන්ම මධූෂ්ගේ උවමනාවට දේවාලයක් පවත්වාගන ගිය අයකු ඝාතනය කිරීම සඳහා කොස්ගොඩ රණා සහ බුස්ස උදේණි චන්දිමාල් නැමැත්තා ද යොදවාගෙන තිබුණි.

පසුකලෙක හෙරොයින් භාවිතයට ඇබ්බැහි වී සිටි ඇට ඉන්දික මධූෂ් සිය ආශ්‍රයෙන් ඉවත් කර ඇතැයි කියති. මේ නිසා විවිධ කොල්ලකෑම් සඳහා යොමු වූ ඇට ඉන්දික බන්ධනාගාරගතව සිටියදී නිදහස් වූ පසුව යළිත් කොල්ලකෑම්වල නිරතව ඇත්තේ හෙරොයින් පානය සඳහා මුදල් සෙවීමටය. දැඩි ලෙස හෙරොයින් භාවිතයට ඇබ්බැහිව සිටින ඇට ඉන්දික හෙරොයින් නිසාම බරපතළ රෝගී තත්ත්වයට පත්ව සිටින්නෙකි.

සහකාර පොලිස් අධිකාරි ඇල්පිටිය 1 මහේෂ් කුමාරසිංහ, ඇල්පිටිය කොට්ඨාස බාර පොලිස් අධිකාරි නිහාල් තල්දූව, ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත කරන්දෙණිය පොලිස් ස්ථානධිපති පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නදුන්, පොලිස් කොස්තාපල්වරුන් වන 58454 රන්ජිත්, 92601 මේනක, 92565 ගුණවර්ධන, 92594 උමයංග, 68085 දේවප්‍රිය, 67354 මධුරංග සහ රියදුරු 89947 රන්ජිත් යන අය වැටලීමට දායක වූහ.

සමන්ත ප්‍රදීප් විල්තෙර