2019 මැයි 18 වන සෙනසුරාදා

යටින් හිල් වූ පොහොර සහන උරය

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 125

2016 වසරේ සිට වී ගොවියන්ට පොහොර ලබාදීම වෙනුවට සහනාධාරයක් ලෙස මුදල් ගෙවීමට කටයුතු කිරීමේදී රුපියල් මිලියන 1266.73ක් හා නියමිත කාලය තුළ ගෙවා නොතිබූ රුපියල් මිලියන 5475.65 සම්බන්ධයෙන් හා සාමාන්‍ය වෙළඳ පොළ මිල ඉක්මවා රුපියල් මිලියන 516ක් වැඩිපුර ගෙවීම පිළිබඳ රාජකාරි කටයුතු කළ නිලධාරින් වගකිව යුතුයැයි විගණකාධිපතිවරයා ස්වකීය විශේෂ වාර්තාව ඉදිරිපත් කරමින් කියා සිටි. මේ පිළිබඳ තීරණය කළ, ගෙවිම් අනුමත කළ හා වියදම සහතික කළ සියලුම නිලධාරින් වගකිව යුතුයැයි ඔහු ප්‍රකාශ කරයි.

විගණකාධිපතිවරයා ස්වකීය වාර්තාවෙන් දක්වා ඇත්තේ 2016 වසරේදී ශ්‍රී ලංකාවේ මුළු සේවා නියුක්තියෙන් කෘෂි කේෂත්‍රයට ලැබී ඇති දායකත්වය සියයට 27ක් වන අතර ජාතික ආදායම සඳහා කාෂි අංශයෙන් දායකත්වය සියයට 7.5ක් බවය. එසේම රටේ කෘෂි බිම් ප්‍රමාණයෙන් 13.5ක ප්‍රමාණයක් වී වගාව සඳහා වෙන්වී ඇති බවද සඳහන් කරයි.

එසේ වුවද විගණකාධිපතිවරයා පවසන්නේ වී ගොවිතැන පිළිබඳ මෑත කාලයේදී මතුව ඇති ගැටලු හේතුවෙන් ගොවීන්ගේ ජීවන තත්ත්වය පහළ මට්ටමකට වැටී ඇති බවය. මේ නිසා ගොවීන් ක්‍රමයෙන් වගාවෙන් ඉවත්වීමේ ප්‍රවණතාවක් උද්ගත ඇති නිසා වී වගාවට අවශ්‍ය ජලය සහ සිටියලු පහසුකම් සැපයීම මෙන්ම කර්මාන්තය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම පිළිබඳ රජයේ අවධානය යොමුවිය යුතුයැයි ඔහු පෙන්වා දෙයි.

2006 වසරේ සිට 2015 දක්වා ගොවියාට පොහොර හොණ්ඩරයක් රුපියල් 350 බැගින් සැපයීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පැවතුණි. එහෙත් 2016 සිට සහනාධාර පදනමින් පොහොර ලබාදීම වෙනුවට මුදල් සහනාධාරයක් ගොවියාට ලබාදීමට කටයුතු කර තිබුණි. එමගින් බලාපොරොත්තු වී ඇත්තේ සහනාධාර ලබාදීම වඩාකාර්යක්ෂම කිරීමය. එසේ වුවද මෙම සහනාධාර වැඩසටහන මගින් අපේක්ෂා කර තිබූ අස්වැන්න වැඩි කිරීම, වගාබිම් ප්‍රමාණය වැඩි කිරීම, සහල් ආනයනය අඩු කිරීම හා ගොවීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම ආදි අපේක්ෂා ඉටුකර ගැනීමට නොහැකි වූ බව විගණකාධිපති පෙන්වා දෙයි.

2016 වසර වනවිට පොහොර සහනාධාරය සඳහා රජය වැය කළ මුදල් ප්‍රතිපාදනය රුපියල් මිලියන 24,254ක් වූ අතර එය මුළු රාජ්‍ය වියදමින් සියයට 1ක් විය. 2016 දී පොහොර සහනාධාර වැඩපිළිවෙළ වෙනස් වී පොහොර දීම වෙනුවට මුදල් ලබාදීමේ වැඩසටහන සම්බන්ධව පරීක්ෂා කිරීමේදී ඌණතා රැසක් අනාවරණය වූ බවද විගණකාධිපති කියයි. ඒ අතර සහනාධාර ලැබීමට හිමිකම් ඇති ගොවීන්ට සහනාධාර ලබානොදීම සහ ඇතැම් අවස්ථාවල ලබාදිය හැකි උපරිම සහනාධාරය ඉක්මවමින් මුදල් ගෙවා ඇති බවද අනාවරණය කරගෙන තිබේ.

විගණකාධිපති විගණනනය කළ නියැදියට අනුව එසේ ගෙවා තිබූ අනාර්ථික ගෙවීම්වල වටිනාකම 2016 යල හා මහ කන්න සඳහා ද 2017 යලකන්නය සඳහා ද රුපියල් එකසිය විසිහය කෝටි හැටහත් ලක්ෂ තිස්තුන් දහස් අටසිය තිස් අටක් (1,266,733,838) වූ බව වාර්තා කර තිබේ. තවද අදාළ කන්නයට පෙර ලබාදිය යුතු සහනාධාර මුදල් නියමිත දිනට ප්‍රමාද වී ගෙවා ඇති අවස්ථා සොයාගෙන ඇති අතර, කන්න 03 සඳහාම එලෙස සිදුකළ ගෙවීම්වල වටිනාකම රුපියල් පන්සිය හතළිස් හත් කෝටි පනස් හය ලක්ෂ හතළිස් නම දහස් පන්සිය තිස්දෙකක් 5,475,649532ක් බවද පවසයි.

කලට වේලාවට ගොවීන්ට පොහොර ලබාදීමේ අවශ්‍යතාව පෙන්වා දෙන විගණකාධිපතිවරයා එසේ නොකිරීම නිසා හා ප්‍රසම්පාදන සැලැස්ම මත පොහොර මිලදී නොගැනීම නිසා 2017 වසරේ මහ කන්නයේ දැඩි පොහොර හිඟයකට මුහුණ දීමට සිදුව ඇති බවද පෙන්වා දෙයි. පොහොර ආනයනය උදෙසා ලබාදුන් අමාත්‍ය මණ්ඩල තීරණ විටින් විට වෙනස් කර ඇති අතර අමාත්‍ය මණ්ඩල සංදේශවල ඇතුළත් ඇතැම් කරුණු පදනම් විරහිත වූ වගද පෙන්වා දෙයි.

සමස්තයක් වශයෙන් ගත්කළ පොහොර සහනාධාර වැඩපිළිවෙළ මගින් අපේක්ෂා කළහැකිව තිබූ අරමුණු සතුටුදායක ලෙස ඉටුකර නොමැති අතර වී වගාව සඳහා බලපාන අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතු අතර පොහොර සහනාධාර ප්‍රතිපත්තිය තවදුරටත් විධිමත්ව ක්‍රියාත්මක කිරීම මෙන්ම කාබනික පොහොර වැඩපිළිවෙළ තවදුරටත් ප්‍රචලිත කිරීම් ප්‍රධානතම අවශ්‍යතාවක් බවද ඔහු පෙන්වා දී තිබේ.

පොහොර සහනාධාර වැඩසටහන යටතේ දේශීය වී නිෂ්පාදනයේ ඉහළ කාර්ය සාධන මට්ටමක් ළඟාකර ගැනීමට ඇති බාධා හඳුනාගෙන ඉහළ අස්වැන්නක් ලබාගැනීමට කටයුතු කළයුතු. අතර මෙහිදී අනෙකුත් යෙදවුම්වල පිරිවැය අඩු කිරීම, වාරි ක්‍රම ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ වී සඳහා සාධාරණ මිලක් ලබාදී ගොවියා කෘෂිකර්මාන්තය තුළ රඳවා තබාගැනීමේ අවශ්‍යතාවද විගණකාධිපති පෙන්වා දී තිබේ.

එසේම විගණකාධිපති පෙන්වා දෙන්නේ කුඹුරු ඉඩම් නාම ලේඛනය සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි ප්‍රතිශෝධනය කළ යුතු බවය. තවද පොහොර සහනාධාර හිමිවිය යුතු නිවැරදි ගොවීන් සංඛ්‍යාව පිළිබඳ විස්තර ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ලබාගත යුතු බවට ද නිර්දේශ කර තිබේ. පොහොර සහනාධාර මුදල් ගොවින් සඳහා බැංකු ගත කිරීමේදී සිදුව ඇති අඩුපාඩු පිළිබඳ එයට සම්බන්ධ වූ පරිගණක සේවා ආයතනයට එරෙහිව කටයුතු කර වැරදි නිවැරදි කළ යුතු බවද කියයි. තවද වැඩිපුර ගෙවා ඇති සියලුම සහනාධාර මුදල් ආපසු අයකර ගත යුතු බවටද නිර්දේශ කර ඇත.

සහනාධාර මුදල් ගොවීන්ගේ ගිණුම්වලට බැර කිරීමේදී ජාතික හැඳුනුම්පත් අංකය ප්‍රධාන සාධකය ලෙස යොදා ගත යුතු අතර ඒ පිළිබඳ මනා අධීක්ෂණයකින් යුතුව කටයුතු කළ යුතුවෙයි.

කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමේ වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන විගණකාධිපති සහනාධාර මුදල් ගොවිතැන් කටයුතු සඳහාම යොදවා ගන්නේද යන්න පිළිබඳ බිම් මට්ටමේ සිට අධික්ෂණය කළ යුතු බවද කියයි.

එසේම පොහොර ආනයනය පිළිබඳ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිවැරදිව අනුගමනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන යෝජනා පිළිබඳ ගැඹුරින් සලකා බැලීම වැදගත් අතර අමාත්‍ය මණ්ඩල තීරණ ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට වගබලා ගත යුතු බවද විගණකාධිපතිගේ නිර්දේශ අතර වෙයි.

එක්තරා සැපයුම්කාර ආයතනයක් විසින් සියල්ලන්ම නොමග යවමින් ව්‍යාජ රසායනාගාර වාර්තාවක් ඉදිරිපත් කර ඇතිබව නිරීක්ෂණය වූ අතර එම ආයතනය ඉදිරිපත් කර ඇති ලංසු සුරක්ෂණය නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර රාජසන්තක කිරීමට කිසියම් පියවර ගැනීමේ අවශ්‍යතාවද විගණකාධිපති පෙන්වා දී තිබේ.

පොහොර ආනයනයේදී පොහොරවල ප්‍රමිතිය පිළිබඳ විධිමත් අධ්‍යයනයක් සිදුකිරීමේ අවශ්‍යතාව විගණකාධිපති පෙන්වා දෙයි. ඉහළ ප්‍රමිතියෙන් යුතු පොහොර ආනයනය කළ යුතු අතර පාරිසරික ගැටලු අවම කරන හා පසේ වැඩි කාලයක් රැඳීපවතින පොහොර වර්ග ආනයනය කිරීම අවශ්‍ය වෙයි. මෙහිදී අඩු ප්‍රමාණයකින් පොහොර අවශ්‍යතාව සපුරාගත හැකිකම පිළිබඳ විශේෂ අවධානය යොමුකර එවැනි උසස් ප්‍රමිතියෙන් යුතු පොහොර වැඩි මිලකට වුවද මිලදී ගැනීම සුදුසු බවට නිර්දේශ කර ඇත.

විගණකාධිපති නිගමනය කර ඇත්තේ වී වගාව සඳහා කෘත්‍රීම පොහොර හැරුණුවිට කාබනික පොහොර භාවිත කිරීම පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමුකර නොමැති බවයි. අනාගතයේදී හෝ ස්වභාවික කාබනික පොහොර යොදා අඩු වියදමකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට පියවර ගැනීමේ අවශ්‍යතාවද පෙන්වා දී තිබේ. ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් රාජ්‍ය පොහොර සමාගම් දෙක වෙත පොහොර ආනයනික සැලැස්මක් ඉදිරිපත් කර නැති අතර ඔවුන්ගේ ප්‍රසම්පාදන සැලැස්ම ද නිසි ලෙස අධ්‍යයනය කර ඒ පිළිබඳ පසු විපරම් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නොමැති බව හෙළිවීයැයි විගණකාධිපති කියයි. මෙම දුර්වලතා නිසා 2017 මහ කන්නයේ සමස්ත පොහොර සහනාධාර වැඩසටහන අසාර්ථක වූ අතර ඵලදායිලෙස ක්‍රියාත්මක කිරීමට බලධරයන් අපොහොසත් වී ඇතැයි ද විගණකාධිපති නිගමනය කර තිබේ.

පොහොර හිඟයට දැඩි බලපෑමක් එල්ලවී ඇත්තේ ණයවර ලිපි විවෘත කිරීම මගින් ගෙවීමේ ක්‍රමවේදය. වෙනුවට ලියවිලි මත ගෙවීමේ ක්‍රමයක් අනුගමනය කිරීමය. මෙම ක්‍රමවේදය විධිමත් අධ්‍යයනයකින් තොරව සිදුකිරීම හේතුවෙන් පොහොර හිඟයක් ඇතිවීමට දැඩි බලපෑමක් සිදුවූ බව විගණකාධිපති නිගමනය කර ඇත.

ස්වකීය විගණනය අනුව විගණකාධිපති පෙන්වා දෙන්නේ සහනාධාර සඳහා අවිධිමත් ලෙස ගෙවන ලද රුපියල් මිලියන 1266.73ක් සහ නියමිත කාලසීමාව තුළදී ගෙවා නොතිබූ සහනාධාර රුපියල් මිලියන 5475.65ක් මෙන්ම අවශ්‍යතාවයට වැඩියෙන් ආනයනය කර සාමාන්‍ය වෙළඳ පොළ මිල ඉක්මවා ගෙවා ඇති. මිලියන 516ක් පිළිබඳ එම ගෙවීම් තීරණය කළ අනුමත කළ සහ වියදම් සහතික කළ නිලධාරින් වගකිවයුතුයැයි නිගමනය කරන බවය. එයට අතිරේක වශයෙන් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ සංදේශවල සාධාරණය කළනොහැකි යෝජනා ඇතුළත් කිරීමට කටයුතු කළ සහ අමාත්‍ය මණ්ඩල තීරණවල දැක්වෙන කරුණු ක්‍රියාත්මක නොකළ හා ප්‍රසම්පාදන කටයුතුවලදී තීරණ ගැනීමට සම්බන්ධ වූ පාර්ශවයන්ද වගකිව යුතුයැයි විගණකාධිපති කියයි.

විගණකාධිපති අවසන් වශයෙන් නිගමනය කර ඇත්තේ පොහොර සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම ආරම්භයේ සිටම ඒ මගින් අපේක්ෂා කළ අරමුණ ප්‍රමාණවත් පරිදි ඉටුවී නොමැති අතර මෙහි සමස්ත කාර්ය සාධනය අවම මට්ටමක තිබූ බවය.

►යසවර්ධන රුද්රිගු

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00